ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Saturday, September 11, 2010

බටගම සීරිස් - කකුළුවන්ගේ කතාව

                             මම කලින් දාපු උණ ගහේ කතාවේ කොමෙන්ටුවකට අපේ පිස්සා අහලා තිබුණා මගේ ගම තුම්පනේද එහෙම නැත්නං හඳට පොලු ගහපු දිහාද කියලා... කෝ.. කෝ.. ඔය පිස්සා... අම්මපා මට අහුවුණොතින් උගෙ හතර හන්දි වලට පත්තු බන්දනවා. හැබැයි කවුරුත් පිස්සට එහෙම කියන්ඩ එපා මම එහෙම කිව්වා කියලා හො‍ඳේ.
                              කොහෙම වෙතත් මිනිහගේ උපකල්පනය හරි. බය නැතුව කෙලින්ම කියන්න පුළුවන් ‘මම බටගම පොරක්’ කියලා. කලින් දවසක අන්තිම පේලිය බ්ලොග් එකේ බටගම ගැන ‍කතාවක් දාලා තිබුණා. ඒකේ කියලා තිබුණු විදිහට ගම ගැන කියද්දි මට නම් මල පනින්නේ නැහැ. බටගම ගැන තියෙන ප්‍රධානම කතාව තමයි කොඩි ගහේ කතාව. මෙන්න මෙතනින් ඒක බලන්ඩ පුළුවන්. ඒ කතාවේ අඩුපාඩු මම කොමෙන්ට් එකකින් දාලා තියෙනවා. ඉතින් මේ කොඩි ගහේ කතාව පාදක කරගෙන බොහොමයක් නෝන්ඩි කතා ‘බටගම’ ගම ගැන ගොතලා තියෙනවා. හැබැයි කොඩි ගහේ කතාව හැර අනිත් කතා ඇත්ත නොවන බව නම් මම දන්නවා. ඒ වුණාට ඉතින් අපේ බ්ලොග් සගයන්ගේ ලේ පිරිසිඳු කිරීමේ යහපත් චේතනාව තකා ‘බටගම කතා’ කීපයක් අරගෙන එන්න මම තීරණය කළා. ඒත් මේ කතා විනෝදය සඳහා මිසක් අන්තිම පේළිය බ්ලොග් කරුවා ලියලා තිබුණ විදිහට කාවවත් පහත් කරන්න භාවිතා කරන්න එපා කියලා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා (මට නම් ඕන දෙයක් කිව්වට කාරි නැහැ). කාගේවත් හිත් නොරිද්දවීමේ අරමුණින් මගේ කතාවක් විදිහට කියලා දැම්මම ඉවරයිනේ.
(මගේ බ්ලොග් ලිවීමේ ආරම්භයට වගේම ‘බටගම කතා’ සීරිස් එක පලකිරීමටත් ‘පිස්සා’ වගකිව යුතු බව මගේ බ්ලොග් සගයෝ කරුණාවෙන් සලකත්වා)

- පළවෙනි බටගම කතාව : කොඩි ගහේ කතාව (අන්තිම පේලිය බ්ලොගය විසින් පල කරන ලදී)

- දෙවැනි බටගම කතාව : කකුළුවන්ගේ කතාව


                  අපේ සීයා ඒ දවස් වල බොහොම තරුණ කාලේ. අපේ ආච්චිවත් කරකාරෙට ගත්ත අලුත තමයි මේ සිද්දිය වෙලා තියෙන්නේ. කොහොමත් ඉතින් අලුත ගෙනා මනමාලිට හොඳට සලකන්නත් එපායෑ. තමුන්ගේ හස්බණ්ඩා තමුන්ට විශේෂ සැලකිලි දක්වනවට කොයි බිරිඳත් කැමතියිනේ. ඒ හින්දා අපේ සීයත් හැම වෙලාවෙම පොයින්ට්ස් දාගන්ඩ වැඩ කරන්ඩ ඇති මගෙ හිතේ. (මාත් සමහර වෙලාවට ඔහොමම කරනවා). කොහොමින් හරි අපේ ආච්චිට හිතිලා තියෙනවා කකුළුවෝ හොද්දක් කන්ඩ ඕනෑ කියලා. ගෑණුන්ට දොලදුක නැතත් කකුළුවෝ කන්ඩ ආසයි කියන එක මම අත්දැකීමෙන් දන්නවා. මොකද අපේ ගෙදරත් කකුළු පෙරේතියක් ඉන්න හන්දා.
                    ඔන්න ලකුණු දා ගන්ඩ තියෙන හොඳම පොට කියලා හිතලා දවසක් සීයත් මොකද කළේ, උදේ පාන්දරම පිටත් වුණා කකුළුවෝ ටිකක් ගේන්ඩ කියලා. හැබැයි ඉතින් හොඳ කකුළුවෝ ගන්නවා නං යන්ඩ තියෙන තැන තමයි මීගමුව. පොඩ්ඩක් විතර දුරයි තමයි. හැබැයි ඉතිං ඕන පදං මුහුදු කකුළුවෝ වගේම කලපු කකුළුවෝත් මීගමු වැල්ලෙන් හොයා ගත්තහැකි. ඒ දවස් වල දැන් කාලේ වගේ ගමට යන්ඩ එන්ඩ පාරවල් ගොඩක් තිබුණෙත් නැහැ. ගමට ඇතුල් වෙන්න තිබුණේ හතර පැත්තකින් විතරයි. මීගමු යනවනං ලේසියෙන්ම යන්ඩ තියෙන්නේ වැලිගම්පිටිය හරහා. එතනින් මීගමුවට බස් එකක් ගත්තහැකි. ඒත් ඉතිං පාරවල්වල දැන් වගේ විනාඩියෙන් විනාඩියට බස් යන්නේ නැහැ නේ. අපේ සීයත් මොකද කළේ පාන්දරම පිටත් වෙලා ඔය කියපු විදිහට වැලිගම්පිටියට පයින් ගිහින් එතනින් බස් ‍ඒකේ නැඟලා මීගමු ගිහින්.
                      සීයා සෑහෙන මහන්සි‍වෙලා තිබුණා ඉන්න හොඳම කකුළුවෝ ටික අරගන්ඩ. මම නං ඉතින් කකුළුවෝ ගැන වැඩිය දන්නේ නැහැ. ඒත් අපේ මීගමු යාළු දනුෂ්ක (ලංඩොං) කියන විදිහට නං කකුළුවෝ මැරිලා ගෙනත් උයපුවහම මස් දියවෙනවළු. අර කතාවකුත් තියෙන්නේ කකුළුවා දඟලන්නේ වතුර නටනකල් විතරයි කියලා. හැබැයි මම නං කවදාවත් දැකලා නැහැ අපේ ගෙදර පණ පිටින් කකුළුවෝ ගෙනත් උයනවා. කොහෙම හරි ඔය හේතුව ‍හින්දා වෙන්ඩත් ඇති අපේ සීයා හොඳට පණ තියෙන කකුළුවෝ ටිකක් අරගෙන ආපහු ඇවිත් තියෙනවා මුන් ටික මැරෙන්ඩ කලින් ගෙදර ගේන්ඩ.
                        සුපුරුදු විදිහට බස් එකෙන්ම ආයේ ඇවිත් වැලිගම්පිටියෙන් බැහැලා ගමට එන කරත්තෙකත් එල්ලිලා ගෙදර ඇවිත් අපේ ආච්චිට මේ කකුළුවෝ ටික දුන්නළු. දීලා කිව්වළු “මේරි නොනෝ.. මේං මං උඹට සෝක් කකුලුවෝ ටිකක් ගෙනාවා. උඹ ඉතිං කකුළුවෝ කන්ඩ ආසයි කියලා මම දන්නවා නෙව” කියලා.
                        ආච්චිටත් මාරම සන්තෝසයිළු. දැන් ඉතිං මේක උයන්ඩත් තියෙනවනේ. ඒකට කලමණා ටික ලැහැස්ති කර ගන්නකල් ආච්චි කරලා තියෙන්නේ මුන් ටිකව ටිකක් පැතලි වගේ හට්ටියකට දාලා පැත්තකින් තියලා. ආච්චිටත් ඉතින් එච්චර ගානක් නැහැල්ලු මුන් ටිකට තාම පණයි කියලා. පැය කාලකින් විතර ආච්චි කලමණා ටික ලැහැස්ති කරගෙන ආවළු මහා කකුළු සංහාරය ආරම්භ කරන්ඩ....
                        ඔක්කොම ටික ලැහැස්තියි. ම්හ්... පොඩි අවුලක් වගේ. ආච්චි බෙරහන් දෙන්ඩ ගත්තළු “පීටර් අයියේ.. පීටර් අයියේ.. මේ කකුළුවෝ ටික නැතෝ” කියලා. සීයත් ටක් ගාලා දුවගෙන ආවළු. හැබෑව නේන්නම්. ටික වෙලාවකට කලින් හැලියට දාපු කකුළුවෝ ටික අන්තරස්දාන වෙලා නේ....
                         බල බල ඉඳලා බැහැ. දැන ටිකක් වෙලාත් ගිහින් හින්දා මුන්ව හොයන්න පරක්කු කරන්ඩ බැහැ කියලා සීයා වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක වල්ලක් නිර්මාණය කරන්ඩ කටයුතු කෙරුවළු. සීයා අද හිටියනං ඔය යුද්දේ කාලේ දාපු ආරක්ෂක වළලු වලට සීයාගෙන් උපදෙස් ටිකක්වත් ගන්ඩ තිබුණා.
                         දැන් සීයට මල හොඳ එක. කරන්ඩ තියෙන්නේ එක දෙයයි.හොයා ගත්තළු දෙකේ දෙකේ පොල්ලක්. දෙන්නං අද මං උන්ට කියලා ගියාළු වැලිගම්පිටි හන්දියට. පොල්ලත් තියාගෙන රැකගෙන ඉන්නවළු වැලගම්පිටි හන්දියේ.
                         හදිසියෙන් ඔතනින් යන්ඩ ආපු සීයාගේ ගමේ සගයෙක් සීයගෙන් ඇහුවළු “මොකෝ පීටර් අයියා මේ පොල්ලකුත් තියාගෙන හන්දියේ කොරන්නේ. කා එක්ක හරි පටැලවිල්ලක් එහෙම ද” කියලා. ‍එහෙම අහලා තියෙන්නේ අපේ සීයා තරුණ කාලේ හොඳට වලි වලට එහෙම කර ගහපු ගැටයෙක් හින්දා වෙන්ඩ ඇති මගෙ හිතේ.මෙන්න සීයා දීපු උත්තරේ...
                         “නෑ බං.. මං උදේ මීගමුවෙන් පණ කකුළුවෝ වගයක් ගෙනාවා. මුන්ව හට්ටියේ දාලා තියෙද්දී පැනල ගිහිල්ලනේ. මං උදේ ඔවුන්ව ගෙනාවේ මෙන්න මේ පාරෙන්. උන් ටික මීගමුවට යන්ඩ දන්නේ මේ පාර විතර හින්දා ආයෙම යනවනම් එන්න ඕනා මෙතනින්නේ. දෙන්නංකෝ ඔවුන් ටිකගේ අඬු කැඩෙන්ඩම මෙදා පාර...”
--------------------------------------------------------------------------------------------------

ප.ලි. මගේ මේ කතා වලට අපේ මැරිච්ච සීයාවයි ආච්චිවයි ඈඳලා ගෙතීම හින්ඳා ඒ දෙන්නාට යම් අසාධරණයක් හෝ අපහාසයක් වේ නම් මගේ පවුලේ සියළු දෙනාගෙන් සමාව භජනය කරමි....

15 comments:

  1. කකුළුවෝ ටික කෙලින්ද දන්නැහැ මීගමු ගියේ???

    ReplyDelete
  2. ඔය ටික තමයි බන් මාත් මේ කල්පනා කරන්නේ...
    උනුත් අපි වගේම ඇදේට ගියාද දන්නේ නැහැ...

    ReplyDelete
  3. හික්ස්...කොහෙද බං ඔය බටගම තියෙන්නෙ?

    ReplyDelete
  4. තුම්පනෙටනම් මටත් සම්බන්ධයක් තියෙනවා... ඔය බටගම තියෙන්නේ කොයි පැත්තෙද...?

    ReplyDelete
  5. හරහටම ගිහිල්ල අමාරු නිසා කකුලුවො ටික බස් එකකවත් එල්ලුණාද දන්නේ නෑ මගින්?
    බටගම කතා නියමයි නේ.

    ReplyDelete
  6. @BLOG GADOL,
    මචන් බටගම තියෙන්නේ ජා-ඇල. කොටුවෙන් ගුවන්තොටුපල බස් එකක නැග්ගොත් කොන්දා කියන්නේ මෙහෙමයි..
    'පෑලියගොඩ, වත්තල, මාබෝලේ, මහබාගෙ, කඳාන, ජා-ඇල, සීදුව, එයාපෝට්.. එයාපෝට්.. එයාපෝට්...'

    ReplyDelete
  7. @හසී,
    ඉතුරු ටිකත් ඇවිත් බලන්නකෝ..

    ReplyDelete
  8. @ පුතා,
    ජා-ඇල පැත්තේ.. ඉස්සර දුටුගැමුණු රජතුමාගේ සේනා භටයෝ හිටපු ගමක් හින්දා භට+ගම = බටගම වුනා කියලත් කතාවක් තියෙනවා..
    මම නම් හරියටම දන්නේ නැහැ.

    ReplyDelete
  9. @Naදී,
    බස් එකට යන්ඩ නම් හම්බවෙලා නැහැ. මොකද සීයා පොල්ල තියන් ඉන්නේ එන එන එකාව මරන්නනේ... හැබැයි කකුළුවෝ ටික ඉඳලා තියෙන්නේ කුස්සියේ තිබුණු වළං ගොඩ අස්සේ..

    ReplyDelete
  10. උබ බට ගමද.. හි හි මම හිතුව පනංගල කියල හි හි. සීරිස් එක එළ බන්... මොන පත්තුද බන්.. මේ පත්තු උන හරිය මදිද පිස්සට....

    අනේ බන් උබ ඊයේ කතා කරද්දි මම අසිහියෙන් මදිවට නිදා ගෙන උන්නේ... මොනා කිව්වද මන්ද.. හොයල බැලුවට ස්තුතියි මචන්.. කතන්දරේ තාම පෙන්ඩින්...

    ReplyDelete
  11. ප්‍රශ්නයක් නැහැ කොල්ලෝ.. ඔය ලෙඩේ ඉවර කරගෙන ඉඳපන් මොනව කරන්නත්. හැබැයි අවුල් වෙන්ඩ එපා. කිසි දෙයක් කරගන්ඩ හම්බවෙන්නේ නැහැ මෝඩයෙක් වගේ වැඩ කළොත්...
    සීරිස් එක තවත් ටිකක් දිග අරින්ඩ හිතෙනවා බන් මේ යන විදිහට...

    ReplyDelete
  12. මේක නම් ඇත්තටම උඹලගේ සීයටම වෙච්චි වැඩක් ද කොහෙද . . හික්ස් . . කතාව නියමයි ආ . .

    ReplyDelete
  13. අඩේ අපෙ පැත්තේ පහලගමේ ඔය කතා සීරීස් එකම තියනවා
    http://www.thelastrow.net/archives/183
    හික්ස්. කොහෙ තිබ්බාම මොකෝ එකම මැටි වැඩ සෙට් එකනේ. ඔහෙ කට්ටියයි මෙහෙ කට්ටියයි නෑයොද දන්නෑ

    ReplyDelete
  14. @ TheLastRow,
    අන්තිම පේලියෙන් මම දැකලා තිබුණේ බටගම කොඩිගහේ කතාව විතරයි. කකුළු කතාවත් තියෙනවා කියලා දන්නේ මලයගේ ලින්ක් එක බැළුවම... සමාවෙන්ඩ ඕනා කලින් දාපු කතාවක් දැම්මට.... තව පහලගම කතා දාලා තියේ නම් කරුණාකරලා ලින්ක් එක දෙන්න. එතකොට මට ආයේ ඒවා නොදා හිටියහැකි...

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails