ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Wednesday, February 23, 2011

නොමැරී බේරුණු මෝටර් සයිකල් පැදිල්ල.......


ඊයේ අත්‍යාවශ්‍ය වැඩ ගොඩකට සිටි එකට ගිය ගමන් යාළුවෙක්වත් මුණ ගැහෙන්ඩ ගියා. තීරණය කර ගත්ත වැඩ ඔක්කොම ටික පිළිවෙලකට කරගන්න ඕනෙ හින්දා මුල්ම වැඩේ පටන් ගත්ත තැන ඉඳලා යාළුවාවව මුණ ගැහෙන තැන වෙනකල් පයින්මයි ගියේ. ගමනේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 8 ක් විතර වුණා. ගොඩක් වෙලාවට මගේ කාල ගණනය 90% කට වඩා හරියන හින්දා හවස 5.30 ට පටන් අරන් 8.30 වෙද්දි යාළුවාගේ ඔෆිස් එක ලඟ. මිනිහා තව දවස් දෙක තුනකින් ගම රට බලා යන්ඩයි ඉන්නේ. ඒ හින්දා දෙන්නත් එක්ක කොත්තු පාරක් එහෙම දාලා, කයියක් ගහලා ආගිය තොරතුරු.. ඕපදූප.. එහෙම කියවලා ආ‍වා.
ඔය වෙලාවේ අහම්බෙන් වගේ අපිට සෙට් වුණා යාළුවගේ තවත් යාළුවෙක් (දැනට අපි නමක් දා ගම්මු කමල් කියලා). දෙන්නත් එක්කම බස් නැවතුමට ආවා මාව ඇරලවන්න. ඔය බස් නැවතුම තියෙන්නේ ප්‍රධාන හතරමං හන්දියක් කිට්ටුව. ඔතන සංඥා ලාම්පු එහෙමත් තියෙනවා (ඒවා වලට සාමාන්‍යයෙන් කියන්නේ ‘සිග්නල් ලයිට්’ කියලා. මේ රටේ සිග්නල් ලයිට් ලඟ සාමාන්‍යයෙන් දකින්ඩ පුළුවන් කට්ටියක් තමයි ‘රේසින් බයිසිකල් කාරයෝ’ (සිංහල වචනේ මතක් වෙන්නේ නෑ).


සංඥා වලට වාහන නතර ‍කළහම වාහන පේලියේ ඉස්සරහටම ගිහින් කොල පාට පත්තුවුණු ගමන් මහා සද්දෙන් හිතන්ඩත් කලින් අතුරුදහන් වෙන කට්ටියක්. ඒ වගේම රජ වැඩ කාරයෝ. සිග්නල් එකෙන් ඉස්සරහට අද්දන්නේ තනි රෝදෙන්. ඊයෙත් ඔය වගේ දෙන්නෙක් හිටියා. උන් දෙන්නා වැඩ දානවා දැකලා කමල් කියපු කතාවක් මේ.


කමල් ලංකාවේ ඉන්න කාලේ දවසක් සවස අන්දකාර වැටෙන කිට්ටුව ‍‍සෙල්ලම් කරලා එන ගමන් මෝටර් බයිසිකලය කඩයක් ලඟින් නවත්තලා බීම එකක් බොන්ඩ. ඔය පැත්තෙත් ඉන්නවළු මේ විදිහට වැඩ දාන පොරක්. මිනිහගේ වැඩේ හවස් වරුවට තමුන්ගේ අධි වේගී බයිසිකල් එකත් අරන් පාර පුරා වැඩ දදා (තනියම) රේස් යන එකළු. මේ කියන දවසෙත් මේකා ඔතැනින් බොහොම සද්දෙට හයියෙන් ගිහින් තියෙනවා. ‍කොච්චර වැඩ කාරයෙක් වුණත් වරදින්ඩ මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ නොවැ..... (ඔච්චරම වැඩ දන්න මාරයාටත් වැරදුනු එකේ..)


පෑ......ං ගාගෙන ගිය සද්දේ ‘දඩිං....’ ගාලා සද්දෙකුත් එක්ක කමල් ඉන් තැනට මීටර 50 ක් විතර එහායින් ඇහුනළු. හිතා ගන්ඩ පුළුවන්නේ වෙච්චි දේ... ඒත් එක්කම  ‘අම්මෝ.... බෑ..... අම්මෝ....... බෑ.......’ කියලා කෙඳිරියත් ඇහිලා. මේක ඇහුනා විතරයි කමල්ටයි, එයත් එක්ක හිටපු යාළුවන්ටයි හිනාව නවත්ත ගන්ට බැරිවුණාළු. වැටුණු එකාට උදව් කරන්ඩ යන්ඩ හැදුවත් හිනාව නවතින්නේ නැති නිසා යන්ඩ බැරිළු.
ඔන්න ඒ ගමන කඩේ මුදලාලිට මල පැනලා “වේ...... පුතෝ, ගිහින් බලාපිය අර යකාට මොනව වෙලාද කියලා..” කෑ ගහලා. එතකොට තමයි මුන්ටත් හරි සිහිය ඇවිත් තියෙන්නේ. දුවලා ගිහින් බලද්දි වැඩ කාරයා කෙඳිරියක් එක්ක පතබෑවිලා. අතකුයි කකුලකුයි කඩාගෙන. පස්සේ බැලින්නම් වෙලා තියෙන්නේ මිනිහා ඇරු සොයිසා කියලා යද්දි වෙන වාහනයක් හරහට දාලා..... මේක අහපුවම මටත් මගේ අවුරුද්දක් විතර පරණ සිද්ධියක් මතක් වුණා....
.........................................................................

මටත් ටිකක් විතර ඔය උණේ තිබුණා. හැබැයි ගොඩාක් වෙලාවට කාටවත් වැඩ පෙන්නන්ඩ නෙමෙයි. බොහොම අඩු කාලයකින් වැඩ ගොඩක් කර ගන්ඩ තිබුණ වුවමනාවට. ඉඳ හිට වැඩ පෙන්නන්ඩත් පුළුවන්කම ලැබුණා. මගේ ලඟ තිබුණු ඩිස්කවරි 135 එකක්. ඒකෙන් පල්සර් 180 ත් එක්ක සමාන වේගෙන් එලවපු කාලයකුත් තිබුණා. මේ දවස්වල මං ලංකාවේ නැති හින්දා ඒකෙ අයිතිය මගේ අයියා සතුයි. කොච්චර වේගෙන් එලෙව්වත් ඒ අවශ්‍ය වෙලාවට විතරයි. නැත්නම් 60 - 70 තමයි සාමාන්‍ය වේගය. රෑට නැත්නම් පාන්දරට කොහෙ හරි යනවා නම් 80 – 100 අතර තමයි. මට මතක විදිහට මගේ හොඳම වේගය කිලෝ 6 ක විතර බරක් කරේ දාගෙන පාන්දර 5.00 ට පානදුරෙන් පිටත් වෙලා 5.40 ට ජා-ඇල ට ආපු ලමන තමයි........ කොහොම ගියත් මේ වෙනකල් වැටිලා නම් නැහැ. ඒත් එක දවසක් මැරෙන්ඩ ඔන්න මෙන්න තිබිලා බේරුණා. එදා හැප්පුනා නම් මායි, මගේ නෝනයි දෙන්නම ඉවරයි. මෙන්න ‍ඒ කතාව....
..............................................................................

දිනය : 2010 ජනවාරි 20, හරියටම මගේ උපන්දිනේ දවසේ.
ස්ථානය : මහබාගේ හන්දිය

මේ වෙනකොට බැඳලා මාසයයි, දවස් හතරයි. මගේ පදිංචිය වෙනස් කරලා පානදුරේට සැපත් වෙලා හිටියේ. ජනවාරි 20 කඳානේ පල්ලියේ මංගල්ලේ. පොඩි කාලේ ඉඳන්ම කඳානේ පල්ලියේ මංගල්ලෙයි මගේ උපන් දිනෙයි සැමරුවේ කඳානේ අපේ නැන්දලාගේ ගෙදර. මෙදා පාරත් ඒ ගමන යන්ඩ ඕනා හින්දා නෝනගේ අම්මයි තාත්තයි වෑන් එකේ යවලා අපි දෙන්නා මගේ ඩිස්කවරි එකේ ගියා. කොහොමත් මගේ නෝනා දන්නවා මම හයියෙන් යන්ඩ රුසියා කියලා. කැළණි පාලම පහු කරනවත් එක්කම වගේ වම් පැත්තට සිග්නල් දා ගත්තු බයිසිකලේක කො‍ල්ලෝ දෙන්නෙක් එනවා. මමත් දවල් වෙලා හින්දා පරක්කු වෙන එක වලක්වන්ඩ ටිකක් හයියෙන් ගියා. මුන් දෙන්නත් සිග්නල් ලයිට් නිවන්ඩත් මතක නැතුව මාත් එක්ක හරි හරියට එන්ඩ ගත්තා.


නෝනත් පිටිපස්සේ හින්දා වැඩක් දාන්ඩමයි හිතුණේ. ඉතිං මාත් අරුන් දෙන්නට යන්ඩ ඇරලා ආපහු ඉස්සර කරනවා. ආයෙම වේගේ අඩු කරලා උන් ඉස්සර වුණාට පස්සේ පිටි පස්සෙන් පන්නනවා. මේ ඔක්කොම කරන්නේ මහා වාහන පෝලිමක් මැද්දේ. නෝනට තේරුණා මේක. එක පාරක් කිව්වා “සුදූ.. ඔය සෙල්ලම නවත්තන්ඩ” කියලා. මමත් නෑහුණු ගානට මෙහෙම යනවා. නෝනා දැන ගත්තා මේ යකාට කිව්වට අහන එකෙක් නෙමෙයි කියලා. ඒ ගමන එයා මාව තව තදින් බදලා අල්ලා ගත්තා.


මට තේරුණා පර්මිෂන් හම්බවුණා කියලා. මටත් මොකෝ කියලා අරුන් දෙන්නට ඕන කෙහෙම්මලක් කරගනින් කියලා වේගේ වැඩි කළා. මේ වෙනකොට මහබාගේ හන්දියටඔන්න මෙන්න කියලා තිබුණේ. පාරේ මැද පේලියේ වාහන තිබුණේ නැහැ. ඒ හින්දා වේගේ වැඩි කරන ගමන් එහෙමම ආවා. මට මතක විදිහට මීටරේ 70 ට එහා. හරියටම මහබාගේ හන්දියේදී පාරේ අයිනේ ආපු තවත් ‍මෝටර් බයිසිකල් කාරයෙක් පාර හරහට දාලා නැවැත්තුවා. ඒකේ උන්නෙත් තරුණ ජෝඩුවක්. ඒ වෙනකොට බයිසිකල් දෙක අතර දුර මීටර් 10 – 15 ක් විතර වෙන්ඩ ඇති. හිතන්ඩවත් කාලයක් තිබුණේ නැහැ. එහෙමම කෙලින්වෙලා  හිටගෙන ඉස්සරහයි පිටිපස්සෙයි ‍තිරිංග (බ්‍රේක්) එක පාරම ඇල්ලුවා. සාමාන්‍යයෙන් ‍තිරිංග දෙකම සමානව වැදුණොත් බයිසිකලේ පෙරලෙන්නේ නැහැ කියලයි අහලා තියෙන්නේ. (කවුරු හරි හරියටම දන්නවා නම් කොමෙන්ට් කරන්ඩ. මාරයාගෙන් අහලා වැඩක් නැහැ. ඌත් ඊයේ පෙරේදා වැටුණු එකානේ..) මං හිතන්නේ මට තත්පරේකින් දශම ගානක වෙනස්කමක් වෙන්ඩ ඇති.... බයිසිකලේ ලිස්සලා ගිහින් පිටි පස්ස දෙපැත්තට පැද්දිලා හරියටම අර බයිසිකලේට අඟල් දෙක තුනක් තියෙද්දි නතර වුණා.


මගේ නෝනගේ තියෙන නුවණක්කාර කමට එයත් කලබලයක් නැතුව මාව එහෙමම තදකරලා අල්ලන් හිටියා. බයිසිකලේ නැවතුණු ගමන් කකුල් දෙක බිම තියලා පිටිපස්ස හැරිලා නෝනගේ ලස්සන දිලිසෙන මූණ දිහා බලලා තමයි මොනවද වුණේ කියලා කල්පනා කෙරුවේ. පොඩ්ඩක් විතර තරහා ගිය පාටක් පෙනුණට එච්චරම අවුලක් වුණේ නැහැ. පාරේ ටයර් පාර එහෙම ලස්සනට හිටලා.


වටේ පිටේ කට්ටියත් මුකුත් හිතාගන්නඩ බැරුවද කොහෙද පුදුමෙන් වගේ අපි දිහා බලන් ඉන්නවා. ඒ අස්සේ තර‍ඟෙට ආපු එකාත් කෝචෝක් එකට බලාගෙන ඉස්සර කරා. කොච්චර චණ්ඩියෙක් වගේ ඉන්ඩ හැදුවත් ‍වුණු දේ හිතාගන්ඩ බැරුව පපුව දෙතුන් ගුණයක් වේගෙන් හෙල්ලෙනවා. මොනවා කරන්ඩද..? මේ යකා පාර මැද්දට දාලා නවත්තනවයි කියලා මං දන්නවයෑ...? “හ්ම්.... යමු...” කියලා මට නිකන් හීනෙන් වගේ පිටිපස්සෙන් ඇහුණා. ඒ ගමන වැඩිය හිතන්ඩ ගියේ නැහැ. ගියර් එක මාරු කරන් බයිසිකලේ ඉස්සරහට ඇද්දුවා.


දැන් ආයෙම ලෙඩක් හදවත ගැහෙනවා වැඩි වෙනකොට බයිසිකලේ වේගේ ඉබේම වැඩි වෙනවා. ඊට හපන් අර කොචෝක් දාගෙන ගිය කො‍ල්ලෝ දෙන්නා දකිද්දි තවත් වේගේ වැඩි වෙනවා. උන් දෙන්නා තාමත් සිග්නල් ලයිට් දාගෙන. කොහොමටත් පරදින්ඩ තියෙන අකමැත්ත හින්දම උන්ට ටටා බායි කියලා අද්දපු ගමන උන් කොහේද කියලා හොයා ගන්ඩ වුණේ නැහැ. එතනින් කඳානේ පල්ලිය පරට දාලා නැන්දලගේ ගේ ලඟින් නතර කළා.


බැණුම් අහන්ඩත් බැරි හින්දා නෝනගෙන් හිමිහිට ඇහුවා ‘බය වුණාද’ කියලා. නෝනත් “අපෝ නැහැ. මැරුණනම් අපි දෙන්නම එකටනේ” කියලා කියපු හින්දා යාන්තම් හිතට සැනසිල්ලක් ආවා. හැබැයි ඒ වෙලාවේ මොකක් හරි අත්වැරදීමක් වුණා නම් අනිවාර්යයෙන්ම දෙන්නම ඉවරයි. (මරණ දැන්වීමේ උපත විපත දෙකටම එකම දවස දානකොට කොහොමද..) කොහොමෙන් හරි ඉන් පස්සේ මම කොහේ හරි බයිසිකලෙන් ගමනක් යනවා නම් ‘මළත් දෙන්නා එකට’ කියලා නෝනා බයිසිකලේ පිටිපස්සෙන් නඟිනවා.

ප.ලි /
මං ආසම පාර තමයි ගාළු පාරේ මොරටුව ඉඳන් පානදුර පාලම ලඟට වෙනකල්. මිනිස්සු මෝඩයෝ වගේ පාර පනින එක පොඩි බයකට තිබුණත් 100 ට එළවන්ඩ පුළුවන් පාරක්. මෙදා පාර නම් නිවාඩුවට ගිහින් නම් ආසාවට එකම එක පාරක් කිලෝ මීටරයක් විතර දුර ඩිස්කවරිය පැද්දා. මොනව කරන්නද... දැන් ඉතින් රෝද හතරක් පදවන්ඩ වෙලානේ....

Sunday, February 6, 2011

......කව්ද ලොකුම බොරුව කිව්වෙ......?





අමිල කියන්නේ අලුත් අලුත් විදියට හිතන විද්‍යාඥෙයක්.....
ඉතින් දවසක් අමිලට හිතුනා අලුත් රොබෝවෙක් හදන්න......
අමිලත් ඉතින් බොහොම මහන්සි වෙලා මේ රොබෝව හැදුවා...
මේ රොබෝගේ විශේෂත්වය තමයි බොරු කියන මිනිස්සු අල්ල ගන්න පුලුවන් වෙන එක....
මේ රොබෝව ඉස්සරහ කවුරු හරි මොකක් හරි කිව්වොත් ඒක බොරුවක් නම් රොබෝවට අහු වෙනවා , ඒ විතරක් නම් නෙවෙයි හොඳවයින් කනේ පාරකුත් වදිනවා බොරුව කිව්ව කෙනාට .....
හැමෝටම එක වගේ නෙවෙයි. පොඩි බොරුවක් කිව්වොත් ලාවට කනේ පාරකුයි ලොකු බොරුවක් කිව්වොත් හෙණ ගහන්න වගේ කනේ පාරකුයි රොබෝගෙන් හම්බ වෙනවා .....

ඉතිං බොහොම අමාරුවෙන් මේ රොබෝගේ වැඩ ටික අමිල ඉවර කරා.....
දැන් අමිලට හරි සංතෝෂයි. ඉතිං මේ රොබෝ උස්සං ඇවිල්ලා සාලේ මැද්දේ තියලා පරීක්ෂා කර කර හිටියා ...
එතෙකොටම වගේ අමිලගේ පුතා නිවාඩු දවසේ පන්ති යන බෑග් එකත් කරේ දාං මෙන්න ගෙදර එනවා ......
අමිල පුටුවට හේත්තු වෙලා ඇහුවා "ආ පුතා පන්ති ගිහින් වගේ නේද...?"
එතකොට පුතා කිව්වා "ඔව් තාත්තේ "
මෙන්න එක පාරටම අර රොබෝගේ අත දිග ඇරිලා ලාවට කනේ පාරක් පුතාගේ කම්බුලට වැදුනා....
"ආ..... උඔ... මට බොරු කියන්න නේද .... අදින් පස්සේ උඔ මෙහෙම බොරු කියලා ඉවරයි පුතෝ......
ආ දැන් ඉතිං මට ඇත්ත කියපං...  අද නිවාඩු දවසේ කොහෙද ගියේ පන්ති යන්නේ නැතුව....?"
"අනේ තාත්තේ අද මම පන්ති තමයි ගියේ .... ඒත් පන්ති තිබ්බෙ නෑ... ඒ නිසා පොඩි ෆිල්ම් එකක් බලන්න ගියා....."
"මොකක්ද ෆිල්ම් එක.....? "අමිල ඇහුවා.....
ඒකේ..... ඒකේ.... නම තමයි..... "අංගුලිමාල...."
අනේ ඉතිං රොබෝගේ අත ආයිත් දිග ඇරිලා ටිකක් සැරට කනේ පාරක් පුතාට වැදුනා......
'අනේ කොල්ලො ආයේ බොරු කියලා ඉවරයි මට......
උඔ දැන්වත් ඇත්ත කියපං...... ආයේ බොරු කිව්වොත් කනේ පාර වදින්නේ මගෙං..... හරිද......."
"අනේ තාත්තේ.... මට ගහන්න එපා ඇත්ත කියන්නම් ..... අපි බැලුවේ "ඇගේ වෛරය" කියන ෆිල්ම් එක....."  පුතා ඉකි ගැහුවා....

අමිලගේ නෝනා සුජානිත් කුස්සියේ ඉඳලා මේ සද්දෙට සාලෙට ආවා.......
සුජානි දිහාවට හැරිලා අමිල මෙහෙම කිව්වා .......
"බලන්න ....දැන් කාලේ හැදෙන එවුන් නම් ගන්නම දෙයක් නෑ අනේ...... අපි නම් ඔය වයසෙදි ඔහොම නරක වැඩ කළේ නෑ....."
වාක්‍ය සම්පූර්ණ කරනවත් එක්කම ...... අර රොබෝගේ අත දිග ඇරිලා අමිලට ටිකක් සැරට කනේ පාරක් වැදුනා....

මේක දැකපු සුජානිට ලොකු හිනාවක් ගියා ......
"අන්න දැක්කද ....... කොහෙද පුතාව හදන්නේ..... පුතාට බැන්නට තාත්තා ඊට හපන්නේ..... ඇයි ඉතිං තාත්තගෙම පුතානේ........"
සුජානිට වාක්‍ය කියලා ඉවර වෙන්නවත් හම්බවුනේ නෑ......රොබෝගේ අත දිග ඇරිලා දැවැන්ත කනේ පාරක් වැදුනා.... සිහිය නැති වෙන ගානටම....

ප්‍රශ්නය : ......කවුද ලොකුම බොරුව කිව්වේ.........?

ප/ලි : මේක මට ගොඩ දවසකට කලින් යාළුවෙක්ගෙන් ඇවිත් තිබුණ ඊ-මේල් එකකින් ගත්තේ... අදහස කාගේද කියන එක නම් දන්නේ නැහැ..... ෆොටෝ එකත් ඒකමයි...... මේල් ටික සුද්ද කරද්දි හම්බවුණු නිසා බ්ලොග් එකේ දැම්මා... අයිතිකාරයා දැක්කොත් කොමෙන්ට් එකකින් දන්වන්න....
යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails