ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Monday, September 20, 2010

බටගම සීරිස් (5) - අල්ල කික්කි උඩ දඩයං

මේක නං ටිකක් විතර රස කතාවක් වෙන්ඩ තිබුණු දෙයක්.. ඒත් මොකක් හරි (අ)හේතුවකට කතාවේ විතරයි රස විඳින්ඩ හම්බවෙන්නේ. දැම්ම අහන්ඩ එපා තේරුම මොකක්ද කියලා. කියවලම බලන්ඩකෝ..... (පින්තූරෙ නං 18+ නිසා පහළට ගිහිං තියෙන්නේ)

                                    ප්‍රස්තා පිරුළක් අහලා තියෙනවද දඹුළු ගිහින් තලගොයිත් මරන් එනවාකියලා. මම නං හිතන් උන්නේ අපි දුටු තැන පස්සෙන් පන්නන අහිංසක සතා ගැන කියලයි. ඒත් ඔය පිරුලේ තලගොයි කියන වචනෙට වෙන ‍තේරුමක් තියෙනවා කියලා කවුදෝ පණ්ඩිතයෙක් දවසක් මට කිව්වා. හැබැයි ඒ තේරුම අහගත්තද කියල නම් මට මතක නැහැ. කවුරු හරි නියම තේරුම දන්නවනම් මගේ දැනගැනීම පිණිස කියලා කොමෙන්ට් එකක් විදිහට දාන්න.
                                    මේ කතාව කැරකෙන්නේ ඔය මුලින්ම කියපු අගනා සතා වටෙයි. කෙටියෙන්ම කිව්වොත් තලගොයාගැනයි. සතා නං අහින්සක තමයි. ඒත් කාලා තියෙන කට්ටියට නං නම ඇහුවත් කටට කෙල උනනවා ඇති. මාත් පොඩි කාලේ තලගොයි මස් රහ බලලා තියෙනවා. ඒත් දැනුම් තේරුම් තියෙන කාලෙදි ඒ පාපකර්මෙට හවුල් වුණේ නැහැ. කොහොම වුණත් මෙන්න කතාව....
                                    ඉස්සර ගම් වල ගොඩක් වෙලාවට කෑමට ගත්තේ ඔය පොඩි පොඩි සත්තුන්ගේ මස් නේ. ඒ කාලේ දැන් කරනවා වගේ හරක් මරණවා බොහොම අඩුයි. ගොඩක් වෙලාවට කෑම වේලට එකතු වුණේ වැව් මාළු, නැත්නම් හාවො (හා පැටික්කියන්ව නෙමේ..) කලවැද්දො, මී මින්නො, තලගොයි වගේ සත්තුයි. ඉඳහිට හොඳ තඩි ඌරෙක් (හෝව්... හෝව්.. කලබල වෙන්ඩ එපා... මේ පාඨක ජනතාවට නෙමේ කිව්වේ‍‍) එහෙම මරා ගත්තා.
                                    මං කලින් කියල තියෙනවනේ අපේ සීයයි ජුවනුයි දෙන්නා රෑට සංචාරේ යන්නේ මුර වැඩේටයි, පොඩි පොඩි දඩයමක් හොයා ගන්නයි කියලා. ඒත් සිද්දිය වෙලා තියෙන්නේ රෑ වරුවක නෙමෙයි. ගිනි මද්දහනක. මේ කියන දවසේ දෙන්නට කිසිම දඩයමක් හම්බවෙලා තිබුණේ නැතිළු. ඉතින් දෙන්නත් එක්ක කතා කර කර හිටයළු දවස ගෙවා ගන්නේ කොහොමද කියලා. අපේ පිස්සා, මාරයා එහෙම දන්නවා ඇති ඔය දවස ගෙවා ගන්නවා කියන එක. පොඩ්ඩක් පැහැදිලි කෙරුවොත් එහෙම දෙන්නට පොඩි රා කට්ටක් ගහන්ඩ බයිට් එකක් නැති කම තමයි අඩු වෙලා තිබිලා තියෙන්නේ. වෙන දවස් වලට කොහොම හරි සරි කර ගන්ඩ හම්බවෙන බයිට් එක එදා නැති වුණහම දෙන්නට නිකං අමුඩෙ නැතුව පාරෙ ගියා වගේ තමා. ඒ තරං හිතට අමාරුයිමොනව කරන්නද කියලා ජුවනුත් ගිහින් රා කලයක් ගෙනල්ලා දුකටම දෙන්නත් එක්ක බයිට් එකක් නැතුවම බොන්ඩ පටන් අරගෙන.
                                    රා කලේ බාගයක් විතර හිස් වෙනකොට සීයට පේනවළු  ඈත වත්ත කෙලවරේ බඩවැටිය දිගේ මොකෙක්ද නැලවි නැලවි යනවා... සීයා බැළුවළු රා කළේ දිහා. තාම බාගයයි ඉවර වෙලා තියෙන්නේ. ‍ඒකේ තේරුම ඇස් වල දෝසයක් නෙමෙයි කියන එකයි. ‘එහෙනං ඉතිං මොකෙක් හරි එකෙක් අපිට හොරෙන් ඩගානවාකියලා හිතපු සීයත් ජුවන්ව අඬගහගෙන හිමින් සීරුවේ හොරා ඉන්න පත්තට ගියාළු. ජුවන් නම් මොකට ගියත් අර දිග ගොරක පොල්ල අතින් බිම තියන මනුස්සයෙක් නෙමෙයිනේ. හින්දා ඒකත් උස්සගෙනම ජුවනුත් සීයා පස්සේ ගිහින්....
                                    හපොයි.. තව පොඩ්ඩඩෙන් මට කතාවේ හොඳම චරිතේ ගැන කියන්ඩ අමතක වෙනවනේ... අනේ මන්දා මගේ මොලෙත් මොනවා තියෙනවද කියලා. (අර කේජු කියලා ජුවන් කාපුවනම් නෙමෙයි). මෙයා තමයි අපේ ආච්චිගෙ හුරතලා. පළාතේ හැමෝම ආදරේට කියන්නේ කික්කි කියලා. නමින් කික්කි වුණාට වැඩ වලින් නම් කික්කි නෙමෙයි. කාලේ වයස අවුරුද්දක් විතර වෙන්ඩ ඇති. පොඩි වුණාට මහ නපුරා. කවුරු ගෙදරට ආවත් ඈත ඉඳන්මේරි නෝනේ.. බල්ල බැඳලද..?” කියලා අහලා උත්තරයක් හම්බවුණොත් තමයි වත්ත ඇතුලට එන්නේ. නැත්නම් ඉතින් කකුලට දෙයියන්ගෙම පිහිටයි. ඔය බල්ල බැඳලද කියන කතාවට මට මේ මතක් වුණේ. මම කොහෙන් හරි කියෙව්වා ඔය ගැන තව පොඩි කතාවක්. දවසක් ඔය වගේ බැල්ලියක් ඇතිකරන ගෙදරකට ආපු අමුත්තෙක් ගේට්ටුව ලඟ ඉඳන් කෑ /හලා ඇහුවළුබල්ලා බැඳලද‍‍?’ කියලා. ගේ ඇතුලෙන් මෙහෙම උත්තරයක් ආවළු. ‘බල්ල බැඳලද කියලා නම් දන්නේ නැහැ. ඒත් ලඟදි පැටව් නම් දැම්මාකියලා.
                                    ඔන්න ඔන්න ආයෙම කතාවෙන් පිට යනවා. ‘කික්කි’ කික්කි වාගේ හිටියට පොඩි පොඩි සත්තු ගැනත් සීයට වගේම හොඳට ඉව තියෙනවළු. ඒත් උගේ කරුමේ කියන්නේ මෙන්න මේකත් අර සීයයි ජුවනුයි පස්සේ ගිහිල්ලා හොරු අල්ලන්ඩ. තුන් දෙන් හෙමිහිට ලං කරලා බැලින්නම් හොරා ලේසි පාසු කෙනෙක් නෙමෙයි. හොඳ තලගොයි නාම්බෙක්. මේ දෙන්නටත් මොකෝ ඉතිං.. දෙන දෙයියෝ වත්තටම ගෙනත් දෙනවා කියලා කිට්ටු කරාළු තලගොයියට... අහිංසකයා වුණාට සතා කපටියා. කොහොම හරි දැනගෙන තියෙනවා මාරයාගේ හෝරාව තමා ලඟා වෙන්නේ කියලා... ඇවිදින පයට වඩා දුවන පය ලක්ෂ වටී කියලා කකුල් දෙකට වැඳ වැඳ.. සමාවෙන්ඩ.. කකුල් හතරට වැඳ වැඳ දුවන්ඩ පටන් ගත්තළු වත්ත වටේ. මෙන්න බොලේ තලගොයා දුවනවා.. තලගොයා පිටිපස්සේ සීයා දුවනවා.. සීයා පිටිපස්සේ ජුවන් පොල්ලත් අරන් දුවනවා... ජුවන් පිටිපස්සේ කික්කි දුවනවා... මරු දිවිල්ල නේ..
                                    යන එන මං නැතිවුණු තලගොයා දැක්කළු උස පොල් ගහක්. ‘උඹලට කරන්නම් හොඳ වැඩක්’ කියලා හිතපු තලගොයා නැග්ගළු අහල පහළ තිබුණු පොල් ගහකට. සීයා නැවතුනාළු ගහ ලඟ. දැන් සීයත් ස්ව උත්සහයෙන්ම ගහට නැඟලා තලගොයාව අල්ලා ගන්ඩ හදනවළු. ඒත් ඉතිං නිකම්ම ගහට නඟින්න පුළුවනෑ. වුණා මේකට. ‍ඇයි ඉතිං රා කළෙන් බාගයකටම මේ වෙනකොට වග කියලානේ ඉන්නේ. “ජුවන් පොඩ්ඩක් ඔහොම හිටපන්. මං ගහට නඟින්ඩ වලල්ල අරන් එන්නං. එතකල් උඹ සතාව පරිස්සං කරපන්” කියලා ගේ පැත්තට ගියාළු.
                                    ඒ එක්කම ඇහුණළු බල්ලෙක් ලතෝනි තියලා කෑ ගහනවා. ඒ අස්සෙම “අල්ල කික්කි උඩ දඩයං.... අල්ල කික්කි උඩ දඩයං....” කියලා කියලාත් ඇහෙනවළු. සීයා දණි පණි ගාලා ආයෙම දුවගෙන ඇවිත්. ආච්චිටත් කික්කිගේ සද්දේ වගේ ඇහිලා ආච්චිත් දුවගෙන ඇවිත්. මෙන්න බොලේ ජුවන් අර ගොරක පොල්ල කික්කිගේ අවර පැත්තේ ගහලා පොල් ගහට තියලා අල්ලන් ඉන්නවළු  “අල්ල කික්කි උඩ දඩයං.... අල්ල කික්කි උඩ දඩයං....” කිය කිය. කික්කි බෙරිහන් දෙනවළු....
 (මේ තියෙන්නේ ඒ වෙලාවේ ගත්ත පින්තූරයක්)


එදා තලගොයා බයිට් වුණාද ජුවන් බයිට් වුනාද කියලා නං මට දැනගන්ඩ හම්බවුණේ නැහැ....

10 comments:

  1. හික් හික් මරු කතාව ජීවි අයියේ.බල්ලට කතා කරන්න පුලුවන් වුනා නම් ජුවන් හොදම හරුප වලින් අහගන්නවා

    ReplyDelete
  2. හපොයි.පොරත් මාර ඩයල් එකක් තමයි.හික්ස්...

    ReplyDelete
  3. "කික්කි උඩ දඩයං.."
    එල කතාව. එතකොට මේ ඉන්නේ ජුවන්ද?

    ReplyDelete
  4. මදැයි ජුවල් බැල්ලිට කොරලා තියෙන හදිය . . හික් හික් . . උඹලගේ සීයා ඒක දැකලා ජුවන්ගෙන් අහපුවා මේ මගේ කන ලඟ තියෙනවා වගේ මළයෝ . . හික් හික්

    ReplyDelete
  5. නියම කතාව, ජුවන්ට වෙන තැනක් තිබුනෙම නැද්ද ගොරක ගපාල්ල ගහන්න.

    ReplyDelete
  6. පව් අහින්සක බල්ලා...

    ReplyDelete
  7. මරු කතාව අයියෙ...

    පව් කික්කි...

    ReplyDelete
  8. බොලන්ගෙ සීයයි ජුවනුයි කරපු වැඩ හපොයි.... මේ පිස්සා මාරයා එහෙම නම් ඔය දවස අමුවෙන් ගෙව්වත් ඔව්ව නම් කොරන්නෙ නැහ ඔන්න හි හි...

    ඈ බොල බල්ල පැටව් දැම්මො කොහොමෙයි ???

    ReplyDelete
  9. මචං මේක පානම් පත්තුවේ කතාවක්නේ. මොනවා උනත් රහට ලියලා තියෙනවා.

    ReplyDelete
  10. Maxa series eka...
    I would like to comment on "ThalaGoi" its other meaning is the "Thala Goviyo" the farmers who cultivate "Thala" (Sesame) in Dambulla area. After worshiping Dambulla temple people were used to buy Thala from the farmers at a very cheap price. So it led to the saying "Dambulu gohin thalagoith maragena enawa"

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails