Friday, November 19, 2010
ජෝසප්පු සීයාගේ කොච්චි මිරිස්...
මේ කතාව බටගම කතා සීරිස් එකට අයිති නොවුනට මේකත් අපේ ගමේ කෙනෙක් ගැන තියෙන බොහොම රසවත් කතාවක්. මට ඉතින් බොහොම රස කරලා කතා ලියන්ඩ බැරි හින්ඳා පුළුවන් කට්ටිය කොහොමෙන් හරි හිනාවෙන්ඩ හොඳේ.
අපේ ගමේ දැනට අවුරුදු 20 කට කලින් විතර හිටියා ජෝසප්පු සීයා කියලා කෙනෙක්. එතකොට මම පොඩියි. මනුස්සයා කළේ පොල් ලෙලි ගහපු එක. ඉස්සර එයාගේ තරුණ කාලේ ගොඩක් රට තොට කරක් ගහපු මනුස්සයෙක්. මේ සීයා නිතර අපේ ගෙදර එනවා බුලත් විට කන්ඩ කියලා. ඒ ආපු වෙලාවට තරුණ කාලේ කරපු කියපු දේවල්, ආ ගිය ගමන් කියෝ කියෝ සෑහෙන වෙලාවක් ඉඳලා තමයි යන්නේ. හරිම හිත හොඳ මනුස්සයා. සීයාගේ විහිළු කතා වල නම් අඩුවක් තිබුණේ නැහැ. විහිළු කතා කිව්වට ඔක්කොම පට්ටපල් බොරු. හැම කතාවම මතක නැතත් මගේ හිතේ කතා දෙකක් විතරක් ඇඳිලා තියෙනවා. මෙන්න මේකයි ඒ එක කතාවක්.
ජෝසප්පු සීයා ඉස්සර කාලේ යනවළු කැලේ දඩයමේ. මේ අහල පහල නෙමෙයි. අනුරාධපුරේ පොලොන්නරුවේ හබරණ එහෙම. ඒ කාලේ දඩයමට ලොකුම තහනමක් නැහැනේ. හැබැයි තුවක්කු නං පාවිච්චි කරන්නේ නැහැ. අරගෙන යන්නේ කෙලවර උල් කරපු දිග රිටක් විතරයි. ඕනෑම සතෙක්ට මේ රිටෙන් ඇනලා මරණවළු. මරණ සතාව දාගෙන එන්ඩ ගෝනියකුත් අරන් තමයි යන්නේ. කොළඹ ඉඳලා අනුරාධපුර හබරණ වෙනකල් කොච්චර දුරද..? ඒත් ගමන පයින්... දවසක් මෙහෙම යද්දී පොඩි වැස්සක් පටන් අරගෙන. 'මේ හිම්බිජි වැස්ස මොකක්ද මට බාදා කරන්න' කියලා හිතලා තමුන්ගේ ගමන නතර නොකර ගිහින්
ඔහොම දවසක් විතර යනවළු වැස්ස නතර වෙන්නේ නැහැළු කොහොම හරි ගමනේ කෙලවරට ලං වෙලයි ඉඳලා තියෙන්නේ. ඒත් වැස්ස හින්ඳා දඩයමකට අවස්ථාවක් නැතිළු. මේ වෙද්දි වැස්සත් ටික ටික වැඩි වෙලා ගංවතුර ගලන තත්ත්වෙට ම ඇවිත්. හොඳටම රෑ වෙද්දි කැලේ ගංවතුර දණහිස් මට්ටමට. තවත් වහිනවළු. වතුර වැඩිවෙනවළු. කරන්නඩ දෙයක් නැති හින්දා මේ මනුස්සයා ලග තිබුණු මහා රූස්ස ගහකට යාන්තම් අමාරුවෙන් බඩගෑවළු. ගහ බදන්ඩ බැරි තරම් විසාල ගහක්.
ඒත් ඉතින් ගංවතුර වැඩි වෙන වේගෙට ඒ වගේ ගහකට මිසක් පොඩි ගස් වලට බඩගෑවට වැඩක් වෙන්නේ නැතිළු. ගංවතුරත්අඩි දහයක් විතර උසට නැඟලා. වතුර බහිනකල් මෙහෙම ම රෑ කාලේ ගහ උඩ ගත කරමු කියලා හිතලා හොඳ මහත අත්තක් එහෙම බදාගෙන නිදාගෙන. රෑ එළිවෙනකල් නිදා ගන්ඩ නැහැළු. මොනවද මන්දා මහා සද්දේට ගහේ අතුවල වැදෙන සද්දේට උඩ ගිහින් ඇහැරෙන්නේ.
කොහොමෙන් හරි උදේ පාන්දර එළිය වැටෙද්දි බැලුවළු මොනවද මේ රෑ ජාමේ මහා සද්දෙට වැදුනේ කියලා. බැලින්නම් කකුලක් තරම් මහත 'කොච්චි කරල්' හුළඟට පැද්දිලා අතු වල වදින සද්දේ තමයි ඇහිලා තියෙන්නේ. ජෝසප්පු සීයා කලබල වෙලා වට පිට බැලුවළු කොහෙන්ද මෙච්චර ලොකු කොච්චි කරල් මේ ගහ උඩ කියලා.
ඒ වෙලාවේ තමයි මනුස්සයා පුදුමයෙන් පුදුමයට පත්වෙලා තියෙන්නේ. ගංවතුර වෙලාවේ අමාරුවෙන් අමාරුවෙන් බඩගාලා තියෙන්නේ මහා පත 'කොච්චි ගහකට'......
ප.ලි/ මීලඟට නාග මාණික්‍යයේ කතාව...
Subscribe to:
Post Comments (Atom)
මටත් දවසක් මල ගෙදරකදී හම්බ උන මනුස්සයෙක් එළි වෙනකල් කිව්ව කතා වලින් කිහිපයක් මතක තියෙනවා..ඒත් අවස්ථාව අනුව ඒ මනුස්සයා කිව්ව තරං රසවත් කරලා ඒ ටික කියන්න මට බැහැ..ඒ හින්දා ලියන්න විදියක් නැතුව ඉන්නේ..මෙකනං හොඳයි..කියමු බලන්න ඉතිරි කතාත්...
ReplyDeleteලොවෙත් නෑ බං! පොර කොහොමද රෙද්දක් ඇදගෙන ඔහොම කතාවක් කිව්වෙ ඈ? හික් හික්!! එක්කො පොර දඩයමේ ගිහින් තියෙන්නෙ අර ගලිවර් ලොක්කා ගිය ලෝකෙට වෙන්නැති
ReplyDeleteඒ වගේ පොරවල් ගම් වල ඕනි තරම් සෙට් වෙනවා... ඔය මළ ගෙවල් වලදි එහෙම.. එල පොරක් වගේ
ReplyDeleteකොහෙද දන්නේ නෑ ඔය පත කොච්චි ගහ තිබුනේ ???? කොහොම උනත් නියම කතාව. අනිත් කතාවත් ඉක්මනටම දාන්න අයියා.
ReplyDeleteමම නම් හිතුවෙ අර මහසෝනගෙ කකුලක් දිගේ නැග්ග වගේ කතාවක් කියලයි.
ReplyDeleteකොහොමෙන් කොහොම හරි එතකොටම සීයට ඇහැරෙන්න ඇති නේද ?
@ මාරයා,
ReplyDeleteඒ කාලේ හිතාගන්ඩත් අමාරු විදිහට කතා ගොතපු මිනිස්සු හිටියා. දැන් කාලේ උන්ගේ කටේ තියෙන්නේ 'ඇම්ඩ' ගේ කතා නේ..
@ බ්ලොග් ගඩොල්,
තාමත් මිනිස්සු උන්දෑ කියපු කතා මතක් කර කර බඩ අල්ලන් හිනා වෙනවා.
@ පිස්සා,
පොඩ්ඩක් අඩ්ඩ ගහපු මනුස්සයෙක්. ඒත් හිත හොඳ මනුස්සයා. අකාලේ මැරිලා ගියා.
@ මධුරංග,
අපිත් පොඩි කාලේ හන්දා කට ඇරන් බලන් හිටියා කතාව අන්තිම වෙනකල්. පහුවෙලයි තේරුණේ අපි මෝඩයින්ට ඇඳලා කියලා. මම තාමත් හොයනවා ඔය කොච්චි ගහ තිබුණ තැන..
@ දුමී,
මහසෝනගේ කකුලේ නැග්ග කතාව තව හොඳයි...
ඇත්තටම නිර්මානශීලී මිනිස්සු.
ReplyDeleteමෙහෙම හරි මේවා බෙදාගන්න එක ඒ මිනිස්සුන්ට කරන ගෞරවයක් වේවි.