ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Tuesday, February 14, 2012

හැපි වැලන්ටයින් ඩේ.....

ඔන්න තවත් වැලන්ටයින් ඩේ එකක් ඇවිල්ලා.... 



ඇත්තටම මේ දවස තියෙන්නේ ශුද්ධවු වැලන්ටයින් මුනිතුමන්ව සමරන්නටයි. කාල වකවානුව, රට මොකක්ද කියලා මතක නැති වුණත්, යම් කාලයක එක රටක යුද හමුදාවේ හිටපු තරුණයින්ට විවාහය තහනම් වුණු කාල වකවානුවක මේ වැලන්ටයින් කියන පූජකතුමා එම තරුණයන් හා ඔවුන්ව විවාහ කර ගන්නට අදහස් කරගෙන සිටි තරුණියන්ව රහසේම විවාහ කළා. නීති රීති පැත්තකට දාලා එම තරුණ තරුණියන්ගේ ආදරේ ලස්සන කරන්නට මේ පූජක තුමා ගත්ත පියවර හින්දා අද එතුමන්ව සාන්තුවරයෙක් විදිහට සමරණවා.....
ඒ කතාව එච්චරයි...
ඒත් අද මේ සාන්තුවරයාව සමරණවා වෙනුවට සමරන්නේ වැලන්ටයින් ඩේ එක... වෙළෙන්දන්ට නම් හොඳට බිස්නස්... එහෙමයි කියලා මමත් මගේ වයිෆ්ට මුකුත් නුදුන්නොත් හරි නැහැනේ....
ඒ හින්දා අද එයාට මං ගානේ.... මේ කාඩ් එකයි..... එයා ගොඩාක් ආසයි කියලා කියපු අල්ලපු වත්තේ තියෙන හබරල පැලෙයි.. නිකං නෙමෙයි... පෝච්චියක හිටවලා.... හික් හික්...

මගේ සුදූටත් හැපි වැලන්ටයින් ඩේ එකක් වේවා...!

Monday, November 21, 2011

සිප ගන්නට සුමුදු දෙතොල්



සිප ගන්නට සුමුදු දෙතොල් ඔබටත් රහසින්
වඩින්න සුර කුමාරියේ සිහිනයක් ලෙසින්


කතා කළත් දහසක් දේ හදටම කොඳුරා
සිනා සුනත් දෙනුවන් තුළ මුළු ලොව රඳවා
ලබා ගන්න නැහැ මට ඉඩ මගෙ සිත හඬවා
ආදරියේ ඔබෙ හද වෙන අයෙකුට පුදලා


ජීවිතයම ඔබ ලඟ යැයි බොළඳව සිතමින්
සැනසෙන්නම් ඔබෙ වත නිති සිහියට නඟමින්
හැබැහින් ඔබ කවදාවත් හිමි නොම වේ නම්
පාළු රැයක සිහිනයකින් මගෙ සිත සනසන්


ප.ළි. / බලන අය වරදවා වටහා ගන්ඩ එපා. මේක දැන් කතාවක් නෙමෙයි. කටාර් ජීවිතයේදී හමුවුණු කෙනෙකුට මීට අවුරුදු කිහිපයකට කලින් ලියපු සින්දුවක් වගේ එකක්. තාම කවුරුත් තනුවක් දාලා ගායනා කරල නම් නැහැ. කාන්තාරෙට ටික කාලෙකට සමු දෙන්ඩ කියලා තියෙන සකල සබ්බමනාව පැක් කරන වෙලේ කොල ගොඩක් අස්සේ තිබිලා හම්බවුණේ. ආයෙ ඉතින් මෙහෙම දෙයක් කාට කියලා ලියන්ඩද... ඒ හින්දා ඔහේ දාලා දැම්මා. මේ එක්කම තව කවියකුත් තියෙනවා. ඒක පස්සේ.......

Thursday, September 8, 2011

මගේම ආදරණීය සුදූට සුභම සුභ උපන් දිනයක්......

අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් ලබලා... මගේ ආදරණීය බිරිඳ තවත් උපන් දිනයක් සමරණවා.... මාව මුණ ගැහුණට පස්සේ සමරණ 3 වෙනි උපන් දිනය... අම්මලා ගෙදර හොරෙන්ම පාටි එකක් ලෑස්ති කරල ලු.... ඔන්න මටත් දෝස්මුරේ.. දැනගෙන කිව්වේ නැහැ කියලා....
මොනව කරන්නද.. මට ඔයාගේ එක උපන් දිනයකටවත් ලඟින් ඉන්න ලැබුණේ නැහැනේ..... එත් මම මෙදා පාර මම එන්නේ ඔයා ලඟට වෙලා ඉන්න කියලා දන්නවනේ... අනිවාර්යයෙන්ම ඔයාගේ ඊලඟ උපන් දිනේ සමරන්ඩ මම ඔයා ලඟින්ම ඉන්නවා....

සියක් ආයු ලැබ .... මගෙත් ආයු ගෙන....
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා......

මගේම ආදරණීය සුදූට සුභම සුභ උපන් දිනයක් වේවා....


ප.ලි.: කවුරුත් අහන්ඩ එපා වයස කීයද කියලා....
ප.ප.ලි.: තෑගි එන්නේ තම මාසෙකින්.....

Saturday, July 16, 2011

අවුරුදු දෙකකට පෙර මතකයක්......



ඇත්තටම මේ පෝස්ට් එක දාන්න හිටියේ ඊයේ... ඒත් දුප්පත් පරිගණකයේ තාක්ෂණික දෝෂයක් හින්දා ඒ දේ කරන්න බැරි වුණා. කාලෙකට පස්සේ දාන එකක් වුණත් බොහොම වැදගත් මතකයක් කෙටියෙන් සටහන් කරන්නයි හදන්නේ.
දින වකවානු වලින් ගත්තොත්...... මීට අවුරුදු දෙකකට කලින්....:


2009 ජූලි 05 - ජීවිතයේ පළවෙනි වතාවට මගේ බිරිඳව ඇගේම නිවසේදී මුණ ගැසීම...... යන්තම් කතා කිරීම...... කිසිම අදහසක් නැතිව යම් විස්තර කිහිපයක් පමණක් දැන ගැනීම. (උදා: වයස, කිසිදින කොල්ලෙක් සමඟ යාළු වී නැති බව)


2009 ජූලි 06 - බලාපොරොත්තු නොවූ පරිදි නැවත වතාවක් ඇයට දැක ගැනීමට හැකිවීම සහ ඇය තුළ වූ මා නැවත දැකීමේ බලාපොරොත්තුව ඉටුවීම වගේම ඇය සමඟ දෙවන වරට කතා කිරීම. එදින රාත්‍රිය පුරාවටම ඇය ගැන සිතීම සහ ඇය පිළිබඳ වූ සිතුවිල්ල නිසා ඇයට මංගල යෝජනාවක් කිරීමට අදහසක් පහළ වීම.


2009 ජූලි 08 - ඇගේ නිවසට ගොස් මා කාගේ කවුදැයි කොහේදැයි නොදන්නා ඔවුන් මෙන්ම ඇයවත් නොදන්නා ඇගේ දෙමාපියන්ගෙන් ඇය හා විවාහ වීමට අවසර ඉල්ලා සිටීම.


2009 ජූලි 09 - ඇය හා කතා කිරීමටවත් නොමැතිව නිවාඩු කාලය අවසන් වීම හේතුවෙන් කටාර් හි දැවෙන ගිනියමට නැවත පැමිණීම.


2009 ජූලි 09 සිට 15 - ඇගේ දෙමාපියන් මගේ නිවසට යාම, මගේ මව කියූ දේවල් හා මා කියා ඇති දේවල් සන්සන්දනය කර තීරණයකට එළැඹීම.


2009 ජූලි 15 - පරිවාස කාලයකට යටත්ව සම්බන්ධතාවයක් ගොඩනඟාගැනීමට හෙවත් විවාහයට අවසර දීම සහ ඇයත් සමඟ ජීවිතයේ තුන්වැනි වරට කතා කිරීමට හැකි වීම.


2009 ජූලි 15 - විනාඩි කිහිපයක් ගතවෙන්නටත් පෙර පරිවාස කාලය අවසන් වීම......


                                       ඔන්න ඔය කාරණා ටික තමයි ජූලි මාසය තුළ මගේ ජීවිතයේ වුණු වැදගත්ම සිදුවීම්  කිහිපය. ඔය කරුණු ටික ඇතුලේ කිසිම කෙනෙකුට තේරුම් ගන්ඩ බැරි මහා ලොකු දෙයක් තියෙනවා. සමහරු ඒ දේ පිළිගන්ඩ පුළුවන්. තවත් සමහරු නැහැයි කියන්ඩ පුළුවන්. ඒත් මං ලබපු අත්දැකීම අනුව, මං අදහන කතෝලික ධර්මයට අනුව යාච්ඤාව කියන දේ ඒතැනදි ගොඩක් බලවත් වුණා. මොකද මට ඇයව මුණ ගැහුණෙත් ඇගේ නිවසේ තිබුණු යාච්ඤාවක් නිසා. ජා-ඇල ඉඳන් කිසිම දිනෙක ගිහින් නොතිබුණු පානදුරේ ඇගේ නිවසේ යාච්ඤාවට ගියේ වෙනත් කෙනෙකු කරපු බලවත්ම ඉල්ලීමක් අහක දාන්ඩ බැරි කමටයි. එහෙදි ඇයව දැකපු වෙලාවේ ඉඳන් මට දැනුනේ ඇය යාච්ඤාව සමඟ බැඳුණු කෙනෙක් විදිහටයි. කිසිම විදිහකින් දැන නොසිටි ඇය ගැන විවාහ යෝජනාවක් කරන්නට හේතු වුණේ ඒකයි.
                                        මේ සිද්ධියේ මටත් තේරුම් ගන්ඩ අමාරුම වුණ කොටස තමයි ඇය මා දකින්නට සතියකට පෙර ඇගේ පුද්ගලික යාච්ඤාවෙදි ඇයට දැනිලා තිබුණා මගේ හැඩ රුව ඇති කෙනෙක් ඇය ගැන යෝජනාවක් ගේන බව. මට ඇය ගැන අදහසක් පහළ වෙන්නටත් ඉස්සසෙල්ලා ඇය දෙමව්පියන්ට කියලා තිබුණා මම ඇවිත් ඇයට විවාහ යෝජනාවක් ගේන බව. ඒ නිසා මම යෝජනාවත් අරන් එහේ යන වෙලාවේ ඔවුන් මාව පිළිගන්නට සූදානමිනුයි ඉඳලා තියෙන්නේ.
                                        ඒත් ඒ හැම දෙයක්ම මට දැන ගන්නට හම්බවුණේ ඔය පරිවාස කාලයෙන් පස්සේ.... කාටද විස්වාස කරන්ඩ පුළුවන්.. දැකලා දවස් තුනක් ඇතුලත යෝජනා කරලා, ඉන් පස්සේ හරියටම සතියකින් යෝජනා ස්ථිර වෙලා... ඊට මාස 5 කුත් දවසකින් විවාහ වෙන්ඩ ලැබුණා කියලා...


අදට කතාව එච්චරයි... ආයේ ලියන්නේ ලියන්ඩ වෙලාවක් ලැබුණහම හෙවත් හිතුනහම....

Saturday, June 4, 2011

නාඬං පුතේ නාඬං තව ටික දවසයි......

මුලින් හිතුවෙ දින හතකින් ගොඩයි කියා
දැන් නං තවත් ටික දවසක් ඇදෙන නියා
මොනව කරන්නද පූරුවෙ කරුමෙ කියා
තනියම කාමරේ ඇතුලෙම ගෙවමි මෙමා



Wednesday, February 23, 2011

නොමැරී බේරුණු මෝටර් සයිකල් පැදිල්ල.......


ඊයේ අත්‍යාවශ්‍ය වැඩ ගොඩකට සිටි එකට ගිය ගමන් යාළුවෙක්වත් මුණ ගැහෙන්ඩ ගියා. තීරණය කර ගත්ත වැඩ ඔක්කොම ටික පිළිවෙලකට කරගන්න ඕනෙ හින්දා මුල්ම වැඩේ පටන් ගත්ත තැන ඉඳලා යාළුවාවව මුණ ගැහෙන තැන වෙනකල් පයින්මයි ගියේ. ගමනේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 8 ක් විතර වුණා. ගොඩක් වෙලාවට මගේ කාල ගණනය 90% කට වඩා හරියන හින්දා හවස 5.30 ට පටන් අරන් 8.30 වෙද්දි යාළුවාගේ ඔෆිස් එක ලඟ. මිනිහා තව දවස් දෙක තුනකින් ගම රට බලා යන්ඩයි ඉන්නේ. ඒ හින්දා දෙන්නත් එක්ක කොත්තු පාරක් එහෙම දාලා, කයියක් ගහලා ආගිය තොරතුරු.. ඕපදූප.. එහෙම කියවලා ආ‍වා.
ඔය වෙලාවේ අහම්බෙන් වගේ අපිට සෙට් වුණා යාළුවගේ තවත් යාළුවෙක් (දැනට අපි නමක් දා ගම්මු කමල් කියලා). දෙන්නත් එක්කම බස් නැවතුමට ආවා මාව ඇරලවන්න. ඔය බස් නැවතුම තියෙන්නේ ප්‍රධාන හතරමං හන්දියක් කිට්ටුව. ඔතන සංඥා ලාම්පු එහෙමත් තියෙනවා (ඒවා වලට සාමාන්‍යයෙන් කියන්නේ ‘සිග්නල් ලයිට්’ කියලා. මේ රටේ සිග්නල් ලයිට් ලඟ සාමාන්‍යයෙන් දකින්ඩ පුළුවන් කට්ටියක් තමයි ‘රේසින් බයිසිකල් කාරයෝ’ (සිංහල වචනේ මතක් වෙන්නේ නෑ).


සංඥා වලට වාහන නතර ‍කළහම වාහන පේලියේ ඉස්සරහටම ගිහින් කොල පාට පත්තුවුණු ගමන් මහා සද්දෙන් හිතන්ඩත් කලින් අතුරුදහන් වෙන කට්ටියක්. ඒ වගේම රජ වැඩ කාරයෝ. සිග්නල් එකෙන් ඉස්සරහට අද්දන්නේ තනි රෝදෙන්. ඊයෙත් ඔය වගේ දෙන්නෙක් හිටියා. උන් දෙන්නා වැඩ දානවා දැකලා කමල් කියපු කතාවක් මේ.


කමල් ලංකාවේ ඉන්න කාලේ දවසක් සවස අන්දකාර වැටෙන කිට්ටුව ‍‍සෙල්ලම් කරලා එන ගමන් මෝටර් බයිසිකලය කඩයක් ලඟින් නවත්තලා බීම එකක් බොන්ඩ. ඔය පැත්තෙත් ඉන්නවළු මේ විදිහට වැඩ දාන පොරක්. මිනිහගේ වැඩේ හවස් වරුවට තමුන්ගේ අධි වේගී බයිසිකල් එකත් අරන් පාර පුරා වැඩ දදා (තනියම) රේස් යන එකළු. මේ කියන දවසෙත් මේකා ඔතැනින් බොහොම සද්දෙට හයියෙන් ගිහින් තියෙනවා. ‍කොච්චර වැඩ කාරයෙක් වුණත් වරදින්ඩ මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ නොවැ..... (ඔච්චරම වැඩ දන්න මාරයාටත් වැරදුනු එකේ..)


පෑ......ං ගාගෙන ගිය සද්දේ ‘දඩිං....’ ගාලා සද්දෙකුත් එක්ක කමල් ඉන් තැනට මීටර 50 ක් විතර එහායින් ඇහුනළු. හිතා ගන්ඩ පුළුවන්නේ වෙච්චි දේ... ඒත් එක්කම  ‘අම්මෝ.... බෑ..... අම්මෝ....... බෑ.......’ කියලා කෙඳිරියත් ඇහිලා. මේක ඇහුනා විතරයි කමල්ටයි, එයත් එක්ක හිටපු යාළුවන්ටයි හිනාව නවත්ත ගන්ට බැරිවුණාළු. වැටුණු එකාට උදව් කරන්ඩ යන්ඩ හැදුවත් හිනාව නවතින්නේ නැති නිසා යන්ඩ බැරිළු.
ඔන්න ඒ ගමන කඩේ මුදලාලිට මල පැනලා “වේ...... පුතෝ, ගිහින් බලාපිය අර යකාට මොනව වෙලාද කියලා..” කෑ ගහලා. එතකොට තමයි මුන්ටත් හරි සිහිය ඇවිත් තියෙන්නේ. දුවලා ගිහින් බලද්දි වැඩ කාරයා කෙඳිරියක් එක්ක පතබෑවිලා. අතකුයි කකුලකුයි කඩාගෙන. පස්සේ බැලින්නම් වෙලා තියෙන්නේ මිනිහා ඇරු සොයිසා කියලා යද්දි වෙන වාහනයක් හරහට දාලා..... මේක අහපුවම මටත් මගේ අවුරුද්දක් විතර පරණ සිද්ධියක් මතක් වුණා....
.........................................................................

මටත් ටිකක් විතර ඔය උණේ තිබුණා. හැබැයි ගොඩාක් වෙලාවට කාටවත් වැඩ පෙන්නන්ඩ නෙමෙයි. බොහොම අඩු කාලයකින් වැඩ ගොඩක් කර ගන්ඩ තිබුණ වුවමනාවට. ඉඳ හිට වැඩ පෙන්නන්ඩත් පුළුවන්කම ලැබුණා. මගේ ලඟ තිබුණු ඩිස්කවරි 135 එකක්. ඒකෙන් පල්සර් 180 ත් එක්ක සමාන වේගෙන් එලවපු කාලයකුත් තිබුණා. මේ දවස්වල මං ලංකාවේ නැති හින්දා ඒකෙ අයිතිය මගේ අයියා සතුයි. කොච්චර වේගෙන් එලෙව්වත් ඒ අවශ්‍ය වෙලාවට විතරයි. නැත්නම් 60 - 70 තමයි සාමාන්‍ය වේගය. රෑට නැත්නම් පාන්දරට කොහෙ හරි යනවා නම් 80 – 100 අතර තමයි. මට මතක විදිහට මගේ හොඳම වේගය කිලෝ 6 ක විතර බරක් කරේ දාගෙන පාන්දර 5.00 ට පානදුරෙන් පිටත් වෙලා 5.40 ට ජා-ඇල ට ආපු ලමන තමයි........ කොහොම ගියත් මේ වෙනකල් වැටිලා නම් නැහැ. ඒත් එක දවසක් මැරෙන්ඩ ඔන්න මෙන්න තිබිලා බේරුණා. එදා හැප්පුනා නම් මායි, මගේ නෝනයි දෙන්නම ඉවරයි. මෙන්න ‍ඒ කතාව....
..............................................................................

දිනය : 2010 ජනවාරි 20, හරියටම මගේ උපන්දිනේ දවසේ.
ස්ථානය : මහබාගේ හන්දිය

මේ වෙනකොට බැඳලා මාසයයි, දවස් හතරයි. මගේ පදිංචිය වෙනස් කරලා පානදුරේට සැපත් වෙලා හිටියේ. ජනවාරි 20 කඳානේ පල්ලියේ මංගල්ලේ. පොඩි කාලේ ඉඳන්ම කඳානේ පල්ලියේ මංගල්ලෙයි මගේ උපන් දිනෙයි සැමරුවේ කඳානේ අපේ නැන්දලාගේ ගෙදර. මෙදා පාරත් ඒ ගමන යන්ඩ ඕනා හින්දා නෝනගේ අම්මයි තාත්තයි වෑන් එකේ යවලා අපි දෙන්නා මගේ ඩිස්කවරි එකේ ගියා. කොහොමත් මගේ නෝනා දන්නවා මම හයියෙන් යන්ඩ රුසියා කියලා. කැළණි පාලම පහු කරනවත් එක්කම වගේ වම් පැත්තට සිග්නල් දා ගත්තු බයිසිකලේක කො‍ල්ලෝ දෙන්නෙක් එනවා. මමත් දවල් වෙලා හින්දා පරක්කු වෙන එක වලක්වන්ඩ ටිකක් හයියෙන් ගියා. මුන් දෙන්නත් සිග්නල් ලයිට් නිවන්ඩත් මතක නැතුව මාත් එක්ක හරි හරියට එන්ඩ ගත්තා.


නෝනත් පිටිපස්සේ හින්දා වැඩක් දාන්ඩමයි හිතුණේ. ඉතිං මාත් අරුන් දෙන්නට යන්ඩ ඇරලා ආපහු ඉස්සර කරනවා. ආයෙම වේගේ අඩු කරලා උන් ඉස්සර වුණාට පස්සේ පිටි පස්සෙන් පන්නනවා. මේ ඔක්කොම කරන්නේ මහා වාහන පෝලිමක් මැද්දේ. නෝනට තේරුණා මේක. එක පාරක් කිව්වා “සුදූ.. ඔය සෙල්ලම නවත්තන්ඩ” කියලා. මමත් නෑහුණු ගානට මෙහෙම යනවා. නෝනා දැන ගත්තා මේ යකාට කිව්වට අහන එකෙක් නෙමෙයි කියලා. ඒ ගමන එයා මාව තව තදින් බදලා අල්ලා ගත්තා.


මට තේරුණා පර්මිෂන් හම්බවුණා කියලා. මටත් මොකෝ කියලා අරුන් දෙන්නට ඕන කෙහෙම්මලක් කරගනින් කියලා වේගේ වැඩි කළා. මේ වෙනකොට මහබාගේ හන්දියටඔන්න මෙන්න කියලා තිබුණේ. පාරේ මැද පේලියේ වාහන තිබුණේ නැහැ. ඒ හින්දා වේගේ වැඩි කරන ගමන් එහෙමම ආවා. මට මතක විදිහට මීටරේ 70 ට එහා. හරියටම මහබාගේ හන්දියේදී පාරේ අයිනේ ආපු තවත් ‍මෝටර් බයිසිකල් කාරයෙක් පාර හරහට දාලා නැවැත්තුවා. ඒකේ උන්නෙත් තරුණ ජෝඩුවක්. ඒ වෙනකොට බයිසිකල් දෙක අතර දුර මීටර් 10 – 15 ක් විතර වෙන්ඩ ඇති. හිතන්ඩවත් කාලයක් තිබුණේ නැහැ. එහෙමම කෙලින්වෙලා  හිටගෙන ඉස්සරහයි පිටිපස්සෙයි ‍තිරිංග (බ්‍රේක්) එක පාරම ඇල්ලුවා. සාමාන්‍යයෙන් ‍තිරිංග දෙකම සමානව වැදුණොත් බයිසිකලේ පෙරලෙන්නේ නැහැ කියලයි අහලා තියෙන්නේ. (කවුරු හරි හරියටම දන්නවා නම් කොමෙන්ට් කරන්ඩ. මාරයාගෙන් අහලා වැඩක් නැහැ. ඌත් ඊයේ පෙරේදා වැටුණු එකානේ..) මං හිතන්නේ මට තත්පරේකින් දශම ගානක වෙනස්කමක් වෙන්ඩ ඇති.... බයිසිකලේ ලිස්සලා ගිහින් පිටි පස්ස දෙපැත්තට පැද්දිලා හරියටම අර බයිසිකලේට අඟල් දෙක තුනක් තියෙද්දි නතර වුණා.


මගේ නෝනගේ තියෙන නුවණක්කාර කමට එයත් කලබලයක් නැතුව මාව එහෙමම තදකරලා අල්ලන් හිටියා. බයිසිකලේ නැවතුණු ගමන් කකුල් දෙක බිම තියලා පිටිපස්ස හැරිලා නෝනගේ ලස්සන දිලිසෙන මූණ දිහා බලලා තමයි මොනවද වුණේ කියලා කල්පනා කෙරුවේ. පොඩ්ඩක් විතර තරහා ගිය පාටක් පෙනුණට එච්චරම අවුලක් වුණේ නැහැ. පාරේ ටයර් පාර එහෙම ලස්සනට හිටලා.


වටේ පිටේ කට්ටියත් මුකුත් හිතාගන්නඩ බැරුවද කොහෙද පුදුමෙන් වගේ අපි දිහා බලන් ඉන්නවා. ඒ අස්සේ තර‍ඟෙට ආපු එකාත් කෝචෝක් එකට බලාගෙන ඉස්සර කරා. කොච්චර චණ්ඩියෙක් වගේ ඉන්ඩ හැදුවත් ‍වුණු දේ හිතාගන්ඩ බැරුව පපුව දෙතුන් ගුණයක් වේගෙන් හෙල්ලෙනවා. මොනවා කරන්ඩද..? මේ යකා පාර මැද්දට දාලා නවත්තනවයි කියලා මං දන්නවයෑ...? “හ්ම්.... යමු...” කියලා මට නිකන් හීනෙන් වගේ පිටිපස්සෙන් ඇහුණා. ඒ ගමන වැඩිය හිතන්ඩ ගියේ නැහැ. ගියර් එක මාරු කරන් බයිසිකලේ ඉස්සරහට ඇද්දුවා.


දැන් ආයෙම ලෙඩක් හදවත ගැහෙනවා වැඩි වෙනකොට බයිසිකලේ වේගේ ඉබේම වැඩි වෙනවා. ඊට හපන් අර කොචෝක් දාගෙන ගිය කො‍ල්ලෝ දෙන්නා දකිද්දි තවත් වේගේ වැඩි වෙනවා. උන් දෙන්නා තාමත් සිග්නල් ලයිට් දාගෙන. කොහොමටත් පරදින්ඩ තියෙන අකමැත්ත හින්දම උන්ට ටටා බායි කියලා අද්දපු ගමන උන් කොහේද කියලා හොයා ගන්ඩ වුණේ නැහැ. එතනින් කඳානේ පල්ලිය පරට දාලා නැන්දලගේ ගේ ලඟින් නතර කළා.


බැණුම් අහන්ඩත් බැරි හින්දා නෝනගෙන් හිමිහිට ඇහුවා ‘බය වුණාද’ කියලා. නෝනත් “අපෝ නැහැ. මැරුණනම් අපි දෙන්නම එකටනේ” කියලා කියපු හින්දා යාන්තම් හිතට සැනසිල්ලක් ආවා. හැබැයි ඒ වෙලාවේ මොකක් හරි අත්වැරදීමක් වුණා නම් අනිවාර්යයෙන්ම දෙන්නම ඉවරයි. (මරණ දැන්වීමේ උපත විපත දෙකටම එකම දවස දානකොට කොහොමද..) කොහොමෙන් හරි ඉන් පස්සේ මම කොහේ හරි බයිසිකලෙන් ගමනක් යනවා නම් ‘මළත් දෙන්නා එකට’ කියලා නෝනා බයිසිකලේ පිටිපස්සෙන් නඟිනවා.

ප.ලි /
මං ආසම පාර තමයි ගාළු පාරේ මොරටුව ඉඳන් පානදුර පාලම ලඟට වෙනකල්. මිනිස්සු මෝඩයෝ වගේ පාර පනින එක පොඩි බයකට තිබුණත් 100 ට එළවන්ඩ පුළුවන් පාරක්. මෙදා පාර නම් නිවාඩුවට ගිහින් නම් ආසාවට එකම එක පාරක් කිලෝ මීටරයක් විතර දුර ඩිස්කවරිය පැද්දා. මොනව කරන්නද... දැන් ඉතින් රෝද හතරක් පදවන්ඩ වෙලානේ....

Sunday, February 6, 2011

......කව්ද ලොකුම බොරුව කිව්වෙ......?





අමිල කියන්නේ අලුත් අලුත් විදියට හිතන විද්‍යාඥෙයක්.....
ඉතින් දවසක් අමිලට හිතුනා අලුත් රොබෝවෙක් හදන්න......
අමිලත් ඉතින් බොහොම මහන්සි වෙලා මේ රොබෝව හැදුවා...
මේ රොබෝගේ විශේෂත්වය තමයි බොරු කියන මිනිස්සු අල්ල ගන්න පුලුවන් වෙන එක....
මේ රොබෝව ඉස්සරහ කවුරු හරි මොකක් හරි කිව්වොත් ඒක බොරුවක් නම් රොබෝවට අහු වෙනවා , ඒ විතරක් නම් නෙවෙයි හොඳවයින් කනේ පාරකුත් වදිනවා බොරුව කිව්ව කෙනාට .....
හැමෝටම එක වගේ නෙවෙයි. පොඩි බොරුවක් කිව්වොත් ලාවට කනේ පාරකුයි ලොකු බොරුවක් කිව්වොත් හෙණ ගහන්න වගේ කනේ පාරකුයි රොබෝගෙන් හම්බ වෙනවා .....

ඉතිං බොහොම අමාරුවෙන් මේ රොබෝගේ වැඩ ටික අමිල ඉවර කරා.....
දැන් අමිලට හරි සංතෝෂයි. ඉතිං මේ රොබෝ උස්සං ඇවිල්ලා සාලේ මැද්දේ තියලා පරීක්ෂා කර කර හිටියා ...
එතෙකොටම වගේ අමිලගේ පුතා නිවාඩු දවසේ පන්ති යන බෑග් එකත් කරේ දාං මෙන්න ගෙදර එනවා ......
අමිල පුටුවට හේත්තු වෙලා ඇහුවා "ආ පුතා පන්ති ගිහින් වගේ නේද...?"
එතකොට පුතා කිව්වා "ඔව් තාත්තේ "
මෙන්න එක පාරටම අර රොබෝගේ අත දිග ඇරිලා ලාවට කනේ පාරක් පුතාගේ කම්බුලට වැදුනා....
"ආ..... උඔ... මට බොරු කියන්න නේද .... අදින් පස්සේ උඔ මෙහෙම බොරු කියලා ඉවරයි පුතෝ......
ආ දැන් ඉතිං මට ඇත්ත කියපං...  අද නිවාඩු දවසේ කොහෙද ගියේ පන්ති යන්නේ නැතුව....?"
"අනේ තාත්තේ අද මම පන්ති තමයි ගියේ .... ඒත් පන්ති තිබ්බෙ නෑ... ඒ නිසා පොඩි ෆිල්ම් එකක් බලන්න ගියා....."
"මොකක්ද ෆිල්ම් එක.....? "අමිල ඇහුවා.....
ඒකේ..... ඒකේ.... නම තමයි..... "අංගුලිමාල...."
අනේ ඉතිං රොබෝගේ අත ආයිත් දිග ඇරිලා ටිකක් සැරට කනේ පාරක් පුතාට වැදුනා......
'අනේ කොල්ලො ආයේ බොරු කියලා ඉවරයි මට......
උඔ දැන්වත් ඇත්ත කියපං...... ආයේ බොරු කිව්වොත් කනේ පාර වදින්නේ මගෙං..... හරිද......."
"අනේ තාත්තේ.... මට ගහන්න එපා ඇත්ත කියන්නම් ..... අපි බැලුවේ "ඇගේ වෛරය" කියන ෆිල්ම් එක....."  පුතා ඉකි ගැහුවා....

අමිලගේ නෝනා සුජානිත් කුස්සියේ ඉඳලා මේ සද්දෙට සාලෙට ආවා.......
සුජානි දිහාවට හැරිලා අමිල මෙහෙම කිව්වා .......
"බලන්න ....දැන් කාලේ හැදෙන එවුන් නම් ගන්නම දෙයක් නෑ අනේ...... අපි නම් ඔය වයසෙදි ඔහොම නරක වැඩ කළේ නෑ....."
වාක්‍ය සම්පූර්ණ කරනවත් එක්කම ...... අර රොබෝගේ අත දිග ඇරිලා අමිලට ටිකක් සැරට කනේ පාරක් වැදුනා....

මේක දැකපු සුජානිට ලොකු හිනාවක් ගියා ......
"අන්න දැක්කද ....... කොහෙද පුතාව හදන්නේ..... පුතාට බැන්නට තාත්තා ඊට හපන්නේ..... ඇයි ඉතිං තාත්තගෙම පුතානේ........"
සුජානිට වාක්‍ය කියලා ඉවර වෙන්නවත් හම්බවුනේ නෑ......රොබෝගේ අත දිග ඇරිලා දැවැන්ත කනේ පාරක් වැදුනා.... සිහිය නැති වෙන ගානටම....

ප්‍රශ්නය : ......කවුද ලොකුම බොරුව කිව්වේ.........?

ප/ලි : මේක මට ගොඩ දවසකට කලින් යාළුවෙක්ගෙන් ඇවිත් තිබුණ ඊ-මේල් එකකින් ගත්තේ... අදහස කාගේද කියන එක නම් දන්නේ නැහැ..... ෆොටෝ එකත් ඒකමයි...... මේල් ටික සුද්ද කරද්දි හම්බවුණු නිසා බ්ලොග් එකේ දැම්මා... අයිතිකාරයා දැක්කොත් කොමෙන්ට් එකකින් දන්වන්න....

Monday, January 17, 2011

හිතේ දුක හෙවත් නව වසරේ පළමු කුරුටු ගෑම...


                                      මෙච්චර අත්දැකීම් පිරිච්ච ලෝකේ ලියාගන්ඩ දෙයක් නැති එක ගැන වෙලාවකට මටම ලජ්ජා හිතෙනවා. සමහර දේවල් ලියන්ඩ හිතුනත් ඒවායින් මොන ගින්දරක් පත්තු වෙයිද කියලා හිතෙන කොට නොලියා ඉඳීම හොඳයි කියලත් හිතෙනවා. ඒ වුණත් බ්ලොග් එක පාළුවට යවලත් බැහැනේ.
                                      ලංකාවේ ගත කරපු මාසයක කාලයක් අවසන් කරලා ආයෙම පාළු කාන්තාරෙට එන්න වුණා හදිසියේම. තව ටික කාලයක් බිරිඳ එක්ක ගත කරන්න හිතාගෙන හිටියත් හදිසියේම බොහොමයක් තීරණ වෙනස් කරලා ගෙදරට සමු දෙන්ඩ වුණා. 13 වෙනිදා ආයෙම ආවත් වැඩට යන්ඩ හිත දුන්නේ නැහැ.
                                      ඊයේ වෙනකල් කාමරේට වෙලා කල්පනා කර කර හිටියා. අදත් හිටියොත් ප්‍රශ්නයක් වෙන හින්දා වැඩට ගියා. කොච්චර කල්පනා කෙරුවත් ඉවර වෙන්නේ නැහැ. හිතට දැනෙන පාළුව කියලා ඉවර කරන්ඩ බැහැ. එක අතකට කල්පනා කරලා බලනකොට කොච්චර සල්ල හම්බකෙරුවත් මොකටද හිතේ සන්තෝසයක් නැතුව. ඒත් අනිත් පැත්තෙන් බැළුවම වැඩ කරගන්ඩ පුළුවන් කාලේ මොනව හරි කරලා ඉතුරු කර ගත්තේ නැත්නං බැරි වුණ කාලෙක මොනවා කරන්නද කියන එකත් ප්‍රශ්නයක්. මිනිස්සු වෙච්ච අපි මේ දෙක අතරේ අතරමං වෙලා......
                                      ඇත්තටම බැලුවොත් රට ඉන්න අපි සල්ලි වලට පෙරේත වෙලාද කියලත් වෙලාවකට හිතෙනවා. ගත වුණු මාසෙට 'විවාහ සංවත්සරය' ඇරෙන්ඩ වෙන කිසිම විශේෂ වියදමක් නැතුව ලක්ෂයක් විතර නිකම්ම වියදං වෙලා. මනුස්සයෙක් ලංකාවේ රස්සාවක් කරලා ගන්න පඩියකින් ජීවත් වෙන්ඩ පුළුවන් වෙයිද කියලා හිතට සැකයි.
ඒත් ලංකාවේ රුපියල් 15000 ක් පඩි ගන්න මනුස්සයාත් කොහොමින් හරි ජීවත් වෙනවා.....
                                      මේ පෙළි ටික හරි ලිව්වේ හිතේ තියෙන පාලුව මඟ ඇර ගන්න. හිත එකලාසයක් වුණ ගමන් බ්ලොග් එකේ පාළුව නැති කරන්ඩ ඕන. නැත්නං මේ බ්ලොග් එකටත් වෙන්නේ 'විශ්‍රාමික බ්ලොග් කරුවන්ගේ ශාඛාවේ' ලියාපදිංචි කරන්ඩයි....

Tuesday, December 14, 2010

නැවතත් ගම රට බලා ........


                      හැමදාම බ්ලොග් සටහනක් ලියනවා කියලා හිතුවට සුපුරුදු විදිහටම වැඩ ගොඩ ගැහිලා තිබුණා. ඒත් මේ සටහන අනිවාර්යයෙන්ම ලියන්ඩ ඕනා.
                      හේතුව මේ වසරට මම කටාර් වල ඉඳන් ලියන අන්තිම සටහන. තව පැය හතකින් ගම රට බලා ඉගිල්ලෙන්ඩ තියෙනවා. නොයනවා කියලා හිටියත් ඉන්ඩ බැහැ. හේතුව නං මගේ බ්ලොග් සහෘදයෝ ටික දන්නවනේ. මාසයකට හමාරකට නිවාඩු. වයිෆ් නං දන්නේ තව දවස් තුනකින් (16) විවාහ සංවත්සර දිනේම එනවා කියලයි.
                      හැබැයි එයා මේ බ්ලොග් සටහන දැකලා තිබුණේ නැත්නම් හවසට මගේ කන් දෙක ඉවරයි.
                      එහෙමනං මගේ හිත මිතුරු බ්ලොග් කරුවෝ ටික 19 වෙනිදා අනිවාර්යයෙන්ම මුණ ගැසෙන අදහසින් මම මේ කෙටි සටහන නවත්තනවා.......

ප.ලි./ වැඩේ වැරදිලා හෙවත් ගුටිකාලා ඉස්පිරිතාලේ හිටියොත් කට්ටියම මාව බලන්ඩ එන්ඩ හො‍ඳේ.......

Tuesday, November 30, 2010

සැඟවුණු යෞවනිය.......


වසා සිටියද නුඹ
අඳුරු සේලකින්
නු‍ඹේ වත මඬල...
සිහින් සුළං පොදක්
සැඩ වූ නිමේෂයේ දී
දුටිමි මම
මලක් මෙන් මොලකැටි වූ
ඒ සියුමැලි දෙකොපුල්
වසා ලූ කඩතුරාව අතරින්.......
ඉතිරී ගිය සිනහ කැන් රැන්ඳූ
මුතු මෙන් දිදුලූ දසන්
දෙතොල් පෙති අතරින්
හදිසියෙන් එබිකම් කළ......
සුරඟනකි නුඹ
ලොවට නොසැඟවී සැඟවුණ
එහෙත් හැකි වෙද නීතියට
සඟවන්න කිසි දින
නුඹේ යෞවනත්වය .......

Sunday, November 21, 2010

නුඹයි සදහට මගේ සොඳුරී


හුදකලාවට පෙම් බඳින සඳ
ඔබ ඇවිත් මගෙ සිත‍ට පෙම් බැඳ
මෙතෙක් විඳි දුක් කඳුළු සිඳ බිද
පහන් කෙරුවා දිවිය ම'නිබඳ

වේදනා දැන් නොවේ මා හට
නුඹ හිඳියි මා ලඟින් තනියට
සෙනෙහෙ වන්නෙමි නුඹට සදහට
හැර නොයනු මා ඉතින් මතුවට

පොපියනා මෘදු දෙතොල් රන්ඳා
මගේ දෙතොලට සුවය කැන්දා
අවදි කළ රස හැඟුම් හින්දා
මා වෙලා හුන් දැහැන් බින්ඳා

තුරුළු වී මා ගතට නිරතුරු
පතන උණුසුම සරාගික යුරු
නිමා නොමවේ සදා පිවිතුරු
නුඹේ ප්‍රේමය ම’දිවි ඇති තුරු

ලයට ළංවී හදට කෙඳිරී
පවසනා පෙම් වදන් ඉතිරී
සුව කරයි සිත තැවුල් ඇවිරී
නුඹයි සදහට මගේ සොඳුරී

Saturday, November 20, 2010

ජෝසප්පු සීයාගේ නාග මාණික්‍යය




අන්තිම පාරට මම දැම්මේ ජෝසප්පු සීයාගේ කතා වලින් පළවෙනි එක‍ හෙවත් 'ජෝසප්පු සීයාගේ කොච්චි මිරිස්' කතාවනේ. කවුරු හරි දැක්කේ නැත්නං මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න.
                                      අද ඒකේ අනිත් කතාව වන නාග මාණික්‍යයේ කතාව ලියන්ඩ හදන්නේ. හැබැයි වැඩිය දිග කතාවක්‍ නෙමෙයි.
                                      ජෝසප්පු සීයා ඔය කලින් කතාවේ විදිහට දවසක් දඩයමේ යනකොට තමයි මේකත් වෙලා තියෙන්නේ. මට මතක හැටියට අනුරාධපුරේ කිට්ටුව. තනියෙන් යන මනුස්සයා වුණාට මොකෝ යකෙක්ටවත් බය ඇති පුද්ගලයෙක් නෙමෙයි. මොන සද්දයක් බද්දයක් ආවත් මොකාද කියලා විපරම් කරලා බලනවාමයි. මේ කියන දවසේත් ඔය සිද්ධිය වුණු කිට්ටුවට යද්දි ටිකක් රෑ වෙලා. එදා කලින් වගේ වැස්සක් එහෙම තිබිලා නැහැ. ඒ හින්දා රෑ කාලේ ගත කරන්ඩ ගස් උඩ බඩගාන්ඩ වුවමනාවක් නැහැනේ කියලා හිතලා අහල පහල තිබුණු ගල් තලාවක් උඩ පොඩි නින්දක් දාලා.
                                      පොඩි නින්ද ටික වෙලාවක් යද්දි ගොරවන ගානටම ඇවිල්ලා. මෙහෙම හොඳට ගොරව ගොරවා නිදියද්දි නින්දෙන් වාගේ පේනවළු කැලේ මැද්දේ ෆ්ලෑෂ් ලයිට් එකක් පත්තු කරලා වගේ එළියක් එනවා. මනුස්සයා කලබල වෙලා නැඟිටලා හිමින් සීරුවේ ගියාළු බලන්ඩ. ටිකක් ලඟට යද්දි එකපාරටම විසාල නාග රාජයෙක් පෙනේ කරගෙන පැන්නළු ජෝසප්පු සීයාගේ ඇඟට. මන්තර සාස්තරෙත් ටිකක් දන්න කියන හින්දා යන්තම් නාග රාජයාගෙන් බේරුනළු. පස්සේ ‍මේ නයා හිමින් සීරුවේ ඇදිලා ගිහිල්ලා අර එලිය ආපු පැත්තට. සීයාත් හෙමිහිට පස්සෙන් ගිහිල්ලා
                                       නයා අර එළිය විහිදුවන එක ලඟට ගිහින් එකවරම ඒක ගිල දමලා අර සීයා හිටපු ගල් තලාව යට තියෙන හුඹහකට රිංගගෙන. ෂහ්.. එතකොටළු සීයාට වැඩේ තේරුණේ. අච්චර අර එළියක් ඇවිල්ලා තියෙන්නේ මොකෙන්ද කියලා...
කට්ටිය දන්නවැයි මොකක්ද කියලා....
                      "නාග මාණික්‍යය" ක්.... අල්ලක් තරම් විතර විශාල නාග මාණික්‍යක්...
                                      දැන් සීයට ටිකක් හිතට අමාරුයිළු ඒ නාග මාණික්‍යය දැක දැකත් නොලැබිච්ච එකට. ඒත් එක්කම කල්පනා කළාලු මේක ගන්න උපායක්. මොන දේ කරන්නත් ඉවසීම තියෙන්න ඕනනේ. "කමක් නැහැ. කවදා හරි උඹ ආයෙමත් මේ පැත්තට එන්න ඕනනේ. එතකොට මං බලාගන්නන්කෝ" කියලා දැඩි තීරණයක් ගත්තළු 'කවදා හරි මේ නාග මාණික්‍යය අර‍ගෙන මිසක් මෙතනින් එක අඩියක් හොල්ලන්නේ නැහැ' කියලා. ඔහොම තව දවස් දෙක තුනක් යනකොට නාග රාජයා ආයෙමත් එළියට ඇවිත් තමුන්ගේ ආහාර වේල හොයාගන්ඩ.
                                      අපේ නුවණක්කාර ජෝසප්පු සීයා මේ වෙද්දි 'ඔපරේෂන් ස්නේක් ජෙම්' එකට අවශ්‍ය කරන අවි ආයුධ ඔක්කොම ලැහැස්ති කරන් ඉඳලා තියෙන්නේ. නයා පුරුදු විදිහට එළියට ඇවිත් තමන් සතු වුණු මහානාර්ඝ 'නාග මාණික්‍යය' වමාරලා ඒකේ එ‍ළියෙන් කෑම හොයාගෙන තමයි මෙච්චර කල් ජීවත් වෙලා තිබිලා තියෙන්නේ. හැබැයි ඌට මෙදා පොටේ වැරදුනේ ජෝසප්පු සීයාගේ උපක්‍රමය හින්දා යි. මේ නාග රාජයා 'මැණික' වමාරනකල් බලන් හිටපු සීයා වහාම ක්‍රියාත්මක වෙන පරිදි තමන් සතු ලොකුම ආයුධය වෙන එකතු කරන් හිටපු ගොම ගොඩකින් (ඔය කිව්වට අසූචි ගොඩක්ද දන්නෙත් නැහැ) එකපාරටම මේ මැණික වහලා.
                                      එතකොට තමයි නයාටත් තරු පෙනිලා තියෙන්නේ. මැණිකේ එළිය නැති හින්දා නයාට මෙලෝ දෙයක් පේන්නේ නැතිළු. ගොම හින්දා ඉව කරලා හොයාගත්ඩත් බැරිළු. තමන්ගේ මහානාර්ඝ වස්තුව අහිමි වුණයි කියලා දැන ගත්ත නයා ගල් තලාවේ ඔළුව ගහගෙන මැරිලා. පස්සේ සීයා එහෙම පිටින් ම මැණික ලඟ තිබුණු ගෝනියේ ඔතන් ගෙදර ගෙනල්ලා.
                                      දුර්ලභ, වටිනාකම කියලා නිම කරන්ඩ බැරි වස්තුවක් හින්දා කාටවත් විකුණන්ඩ කැමති නැතිව ඒක ගෙදර තියාගත්තළු. එයාගේ ළමයි රෑට පාඩම් කරනකොට මැණික මේසේ උඩින් තියලා ඒකේ එළියෙන් පාඩම් කළා ළු. සීයා මැරිලා ගොඩක් කල් වුණාට තවමත් ලයිට් කපන දවස් වලට ඒකේ එළියෙන් ගෙදර අය වැඩකටයුතු කර ගන්නවා කියලා තමයි ආරංචිය.....

Friday, November 19, 2010

ජෝසප්පු සීයාගේ කොච්චි මිරිස්...


                                        මේ කතාව බටගම කතා සීරිස් එකට අයිති නොවුනට ‍මේකත් අපේ ගමේ කෙනෙක් ගැන තියෙන බොහොම රසවත් කතාවක්. මට ඉතින් බොහොම රස කරලා කතා ලියන්ඩ බැරි හින්ඳා පුළුවන් කට්ටිය කොහොමෙන් හරි හිනාවෙන්ඩ හො‍ඳේ.
                                        අපේ ගමේ දැනට අවුරුදු 20 කට කලින් විතර හිටියා ජෝසප්පු සීයා කියලා කෙනෙක්. එතකොට මම පොඩියි. මනුස්සයා කළේ පොල් ලෙලි ගහපු එක. ඉස්සර එයාගේ තරුණ කාලේ ගොඩක් රට තොට කරක් ගහපු මනුස්සයෙක්. මේ සීයා නිතර අපේ ගෙදර එනවා බුලත් විට කන්ඩ කියලා. ඒ ආපු වෙලාවට තරුණ කාලේ කරපු කියපු දේවල්, ආ ගිය ගමන් කියෝ කියෝ සෑහෙන වෙලාවක් ඉඳලා තමයි යන්නේ. හරිම හිත හොඳ මනුස්සයා. සීයාගේ විහිළු කතා වල නම් අඩුවක් තිබුණේ නැහැ. විහිළු කතා කිව්වට ඔක්කොම පට්ටපල් බොරු. හැම කතාවම මතක නැතත් මගේ හිතේ කතා දෙකක් විතරක් ඇඳිලා තියෙනවා. මෙන්න මේකයි ඒ එක කතාවක්.
                                        ජෝසප්පු සීයා ඉස්සර කාලේ යනවළු කැලේ දඩයමේ. මේ අහල පහල නෙමෙයි. අනුරාධපුරේ පොලොන්නරුවේ හබරණ එහෙම. ඒ කාලේ දඩයමට ලොකුම තහනමක් නැහැනේ. හැබැයි තුවක්කු නං පාවිච්චි කරන්නේ නැහැ. අරගෙන යන්නේ කෙලවර උල් කරපු දිග රිටක් විතරයි. ඕනෑම සතෙක්ට මේ රිටෙන් ඇනලා මරණවළු. මරණ සතාව දාගෙන එන්ඩ ගෝනියකුත් අරන් තමයි යන්නේ. කොළඹ ඉඳලා අනුරාධපුර හබරණ වෙනකල් කොච්චර දුරද..? ඒත් ගමන පයින්... දවසක් මෙහෙම යද්දී පොඩි වැස්සක් පටන් අරගෙන. 'මේ හිම්බිජි වැස්ස මොකක්ද මට බාදා කරන්න' කියලා හිතලා තමුන්ගේ ගමන නතර නොකර ගිහින්
                                         ඔහොම දවසක් විතර යනවළු වැස්ස නතර වෙන්නේ නැහැළු කොහොම හරි ගමනේ කෙලවරට ලං වෙලයි ඉඳලා තියෙන්නේ. ඒත් වැස්ස හින්ඳා දඩයමකට අවස්ථාවක් නැතිළු. මේ වෙද්දි වැස්සත් ටික ටික වැඩි වෙලා ගංවතුර ගලන තත්ත්වෙට ම ඇවිත්. හොඳටම රෑ වෙද්දි කැලේ ගංවතුර දණහිස් මට්ටමට. තවත් වහිනවළු. වතුර වැඩිවෙනවළු. කරන්නඩ දෙයක් නැති හින්දා ‍මේ මනුස්සයා ලග තිබුණු මහා රූස්ස ගහකට යාන්තම් අමාරුවෙන් බඩගෑවළු. ගහ බදන්ඩ බැරි තරම් විසාල ගහක්.
                                        ඒත් ඉතින් ගංවතුර වැඩි වෙන වේගෙට ඒ වගේ ගහකට මිසක් පොඩි ගස් වලට බඩගෑවට වැඩක් වෙන්නේ නැතිළු. ගංවතුරත්අඩි දහයක් විතර උසට නැඟලා. වතුර බහිනකල් මෙහෙම ම රෑ කාලේ ගහ උඩ ගත කරමු කියලා හිතලා හොඳ මහත අත්තක් එහෙම බදාගෙන නිදාගෙන. රෑ එළිවෙනකල් නිදා ගන්ඩ නැහැළු. මොනවද මන්දා මහා සද්දේට ගහේ අතුවල වැදෙන සද්දේට උඩ ගිහින් ඇහැරෙන්නේ.
                                        කොහොමෙන් හරි උදේ පාන්දර එළිය වැටෙද්දි බැලුවළු මොනවද මේ රෑ ජාමේ මහා සද්දෙට වැදුනේ කියලා. බැලින්නම් කකුලක් තරම් මහත ‍'කොච්චි කරල්' හුළඟට පැද්දිලා අතු වල වදින සද්දේ තමයි ඇහිලා තියෙන්නේ. ජෝසප්පු සීයා කලබල වෙලා වට පිට බැලුවළු කොහෙන්ද මෙච්චර ලොකු කොච්චි කරල් මේ ගහ උඩ කියලා.
                                        ඒ වෙ‍ලාවේ තමයි මනුස්සයා පුදුමයෙන් පුදුමයට පත්වෙලා තියෙන්නේ. ගංවතුර වෙලාවේ අමාරුවෙන් අමාරුවෙන් බඩගාලා තියෙන්නේ මහා පත 'කොච්චි ගහකට'......

ප.ලි/ මීලඟට නාග මාණික්‍යයේ කතාව...

Thursday, November 11, 2010

කුණාටුව......

                                      ලියන්ඩ නම් ගොඩක් දේවල් හිතේ තියෙනවාඒත් ඒ දේවල් හරියකට ගලපගන්ඩ තරම් හිත නිරවුල් නැහැවැඩ රාජකාරී අතරේ අමතර සමාජ සේවා වැඩපල්ලියේ වැඩවගේ දෙවල් හින්දා හැම වෙලාවෙම නොසන්සුන්වයි ඉන්ඩ වෙලා තියෙන්නේ.
                                      ඒ අතරේ පහුගිය සුමානේ පල්ලියේ දේශනාවට අහපු කතාවක් මගේ හිතට වැදුනාකතාව නම් කෙටියිඒත් බොහොම ගැඹුරු අදහසක් තියෙන්නේමෙන්න මේකයි කතාව.

                              

                                      එක දවසක් තාත්තා කෙනෙකුයි දුවෙකුයි වාහනයකින් ගමනක් යමින් හිටියා. දුව තමයි වාහනය පැදෙව්වේ. තාත්තා අනෙක් පැත්තෙන් ඉඳගෙන දුවත් එක්ක කතා බහ කරමින් ගමන් කළා. ඔවුන් මෙහෙම යමින් ඉන්නකොට හිටි හැටියේම වැස්සක් ඇද ‍හැලෙන්ඩ පටන් ගත්තා. තරමක් ඈතට පාර පේනවා. ඒත් දුවට වාහනය පදවන්න බයක් වගේ දැණුනා. දුව තාත්තට කතා කරලා ඇහුවා තාත්තේ වැස්ස පායනකල් අපි වාහනය නතර කරමුද?” කියලා. තාත්තා කිව්වා ඕනේ නැහැ. ඉස්සරහටම යංකියලා.
                                      මෙහෙම තව ටිකක් යද්දි මේ වැස්ස මහා කුණාටුවක් බවට හැරුණා. දැන් වාහනය පදවන්න තවත් අමාරුයි. පාර වැඩිය දුරකට පේන්නේ නැහැ. සමහර වාහන නතර කරලා. දුව ආයෙමත් තාත්තාගෙන් ඇහුවා තාත්තේ පාර පේනවා අඩුයි. අපි වාහනය නතර කරමුද..?” කියලා. ඒත් තාත්තාගේ පිළිතුර වුණේ නවත්තන්න එපා. ඉස්සරහටම යන්නකියලයි. දැන් මේ මහා කුණාටුව හොඳටම වැඩියි. වාහනේ තියෙන මායිමෙන් එහාට කිසිම දෙයක් පෙන්නේ නැහැ. අනිත් වාහන ඔක්කොම නතර කරලා. දැන් දුවට වාහනය පදවන එක හොඳටම අමාරුයි.
                                      දුව ආයෙම සැරයක් තාත්තාගෙන් ඇහුවා තාත්තේ මට පාර කොහොමටවත් පෙන්නේ නැහැ. අනේ අපි කුණාටුව අඩු වෙනකල් වාහනය නතර කරලා ඉමුකියලා. ඒත් තාත්තාගේ පිළිතුරේ කිසිම වෙනසක් වුණේ නැහැ. එකම පිළිතුර නවත්තන්න එපා. ඔය විදිහටම පදවන් යමුකියන එකයි. තාත්තාගේ කීමට පිටින් යන්න බැරි හින්දා දුව අමාරුවෙන් වාහනය පදවන් ඉදිරියටම ගියා. මෙහෙම සෑහෙන දුරක් ගියහම ඔවුන්ට පුළුවන් වුණා. කුණාටුව තිබුණු ප්‍රදේශය පහු කරන්ඩ. මෙන්න එතකොට තාත්තා කියනවා දුවේ... දැන් වාහනය නතර කරන්න...” කියලා.
                                      දුව පුදුමයෙනුත් පුදුමයට පත් වුණා. අර වගේ අමාරු කුණාටුව මැද්දේ වාහනය නතර කරන්න එපා කියපු  තාත්තා කුණාටුව පහු වුණාට පස්සේ වාහනය නතර කරන්න කියපු එක ඇයට ඇත්තටම ප්‍රශ්නයක් වුණා. “තාත්තේ..... දැන් කුණාටුව ඉවරයි. මට දැන් වාහනේ පදවන්න අමාරු නැහැ. අපි නතර කරන්න ඕනේ නැහැ. අපි යමු...” කියලා. ඒත් තාත්තා කිව්වා නැහැ දුව .. දැන් වාහනය නතර කරන්න. නතර කරලා එළියට බහින්නකියලා.
                                      දුව තාත්තට කීකරු වුණා. තාත්තත් වාහනයෙන් බැහැලා දුව ලඟට ආවා. ඇවිත් ඔවුන් පහුකරන් ආපු පැත්ත ආපහු පෙන්නුවා. පෙන්නලා ඇහුවා දුවේ ඔයාට මොනවද පේන්නේ...?” කියලා. “තාත්තේ මට පේ‍න්නේ අපි පහුකරපු කුණාටුව විතරයි....” කියලා දුව උත්තර දුන්නා.
                                      ඇත්ත දුවේ. ඔයාට පෙන්නේ ඒ කුණාටුව විතරයි. ඒත් ඒ කුණාටුව මැද්දේ ආපු වාහන එකක්වත් ඔයාට පේනවද..?” තාත්තාගේ ප්‍රශ්නයට දුවගේ පිළිතුර වුණේ නැහැ කියන එකයි.
                                      දුවේ, ඔයා ඒ කුණාටුව මැද්දේ වාහනේ නතර කළා නම් තාමත් ඔයා අනිත් අය වගේම ඒ මැද අතරමං වෙලා. ඒත් ඔයා ඒ කුණාටුවට මුහුණ දීලා ඒක ජයගත්ත හින්දා  තවදුරටත් ඒකෙන් ඔයාව කරදරයක් වෙන්නේ නැහැ.”
                                      තාත්තාගේ පිළිතුර හින්දා දුව ජීවිතයට අළුත් පාඩමක් ඉගෙන ගත්තා.

Wednesday, November 10, 2010

අතේ තරම



                                       අද ඔයගොල්ලො හැමෝටම දෙන්ඩ යන්නේ තවත් පුංචිම පුංචි කතාවක්. මේ දේ තම තමන්ගේ ජීවිත වලට සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද කියලා ඔයගොල්ලෝම තීරණය කරන්න.
                                       එක්තරා රටක එක්තරා ප්‍රදේශයක (කතාව ලියන්නේ සිංහලෙන් හින්දා ලංකාවේ වෙන්න ඇති) එක්තරා පෙර පාසල් යන ළමයෙක් හිටියා. අපි මේ ළමයට බිංදුකියලා තාවකාලික නමක් දාමු. බිංදු ගතිගුණ අතින් හරිම හොඳ ළමයෙක්. ටිකක් විතර ලජ්ජාශීලී විදිහට හිටපු ළමයෙක්. හැබැයි ඒ වගේම හොඳ නුවණක් තිබුණු ළමයෙක් (මං වගේම).
                                       දවසක් බිංදු එයාගේ අම්මා එක්ක ගමනක් ගියා. ඒ තමයි අම්මගේ හොඳම යෙහෙලියව මුණගැහෙන්ඩ. මේ දෙන්නා මුණගැහිලා ආගිය තොරතුරු, ඕපදූප එහෙම කතා කර කර හිටියා. අම්මාගේ යෙහෙලියට මේ හුරුබුහුටි අහිංසක බිංදු ගැන ගොඩාක් ආදරේ හිතුණා. මොකද කිසි දැඟලිල්ලක් නැති දරුවනේ. මේ යෙහෙලියට තිබුණා ලොකු රසකැවිලි කඩයක්. ඒකෙ ටොෆි චොකලට් එහෙමත් තිබුණා. ඉතින් මෙයාට හිතුණා බිංදුට මොනව හරි දෙන්න ඕන කියලා. එහෙම හිතලා ටොෆි චොකලට් තියෙන තැනට ගිහිල්ලා කිව්වා පුතේ මේවායෙන් ඔයාට ඕන දෙයක් ගන්ඩකියලා. ඒත් බිංදු කිසි දෙයක් ගත්තේ නැහැ. යාලුවා හිතුවා මේ දරුවා ලජ්ජාව හින්දා ගන්නේ නැහැ කියලා. ඒ හින්දා ආයෙම කිව්වා. “ලජ්ජා වෙන්ඩ එපා පුතේ. ඔයා ආස දෙයක් අරගන්ඩකියලා.
                                       බිංදු අම්මා දිහා බැළුවාඅම්මත් හිනා වෙලා කිව්වා පුතේ ඇන්ටි ඔයාට ගොඩක් ආදරෙයිනේ. පුතා ඕන දෙයක් ගන්ඩකියලා. ඒත් බිංදු කිසිම හැල හොල්මනක් නැතිව උන්නා. යාළුවාට හිතුණා හරිම හොඳ ළමයෙක් කියලා. එහෙම හිතලා එයාගේ අත් දෙකෙන් ලොකු ටොෆී අහුරකුයි ලොකු චොකලට් එකකුයි අරන් බින්දුට දුන්නා. එතකොට බිංදු හිනාවෙලා ඒක අරගත්තා. හැබැයි ඒවා ඔක්කොම බිංදුට අතට ගන්ඩ බැරි තරම්. ඒක හින්දා ඒ ටික අරගන්ඩ වුණේ බිංදුගේ අම්මට. කොහොමෙන් හරි යාළුවාට සමු දීලා බිංදුයි අම්මයි ආයෙම ගෙදර ආවා.
                                       එන ගමන් නිකමට වගේ අම්මා බිංදුගේ අම්මා බිංදුගෙන් ඇහුවා ඇයි පුතේ ඒ ඇන්ටි ඔච්චර කියලත් ඔයා මුකුත් අරගත්තේ නැත්තේකියලා. බිංදු දුන්නේ බොහොම අහිංසක උත්තරයක්.
                                       අම්මේ.. මං ඒකට අත දාලා මොනව හරි ගත්තනං මට හම්බවෙන්නේ මගේ අතට අල්ලන්න පුළුවන් තරම විතරනේ. එතකොට මට හම්බවෙන්නේ චුට්ටයි. ඒත් ඒ ඇන්ටිම අරන් දෙනකොට ඇන්ටිගේ අත් ගොඩක් ලොකු හින්දා මට ගොඩක් හම්බවුණා

ප.ලි / අපේ කට්ටයත් මේ වගේද දන්නේ නැහැ......

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails