ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...
Showing posts with label ජීවිතේ. Show all posts
Showing posts with label ජීවිතේ. Show all posts

Saturday, July 16, 2011

අවුරුදු දෙකකට පෙර මතකයක්......



ඇත්තටම මේ පෝස්ට් එක දාන්න හිටියේ ඊයේ... ඒත් දුප්පත් පරිගණකයේ තාක්ෂණික දෝෂයක් හින්දා ඒ දේ කරන්න බැරි වුණා. කාලෙකට පස්සේ දාන එකක් වුණත් බොහොම වැදගත් මතකයක් කෙටියෙන් සටහන් කරන්නයි හදන්නේ.
දින වකවානු වලින් ගත්තොත්...... මීට අවුරුදු දෙකකට කලින්....:


2009 ජූලි 05 - ජීවිතයේ පළවෙනි වතාවට මගේ බිරිඳව ඇගේම නිවසේදී මුණ ගැසීම...... යන්තම් කතා කිරීම...... කිසිම අදහසක් නැතිව යම් විස්තර කිහිපයක් පමණක් දැන ගැනීම. (උදා: වයස, කිසිදින කොල්ලෙක් සමඟ යාළු වී නැති බව)


2009 ජූලි 06 - බලාපොරොත්තු නොවූ පරිදි නැවත වතාවක් ඇයට දැක ගැනීමට හැකිවීම සහ ඇය තුළ වූ මා නැවත දැකීමේ බලාපොරොත්තුව ඉටුවීම වගේම ඇය සමඟ දෙවන වරට කතා කිරීම. එදින රාත්‍රිය පුරාවටම ඇය ගැන සිතීම සහ ඇය පිළිබඳ වූ සිතුවිල්ල නිසා ඇයට මංගල යෝජනාවක් කිරීමට අදහසක් පහළ වීම.


2009 ජූලි 08 - ඇගේ නිවසට ගොස් මා කාගේ කවුදැයි කොහේදැයි නොදන්නා ඔවුන් මෙන්ම ඇයවත් නොදන්නා ඇගේ දෙමාපියන්ගෙන් ඇය හා විවාහ වීමට අවසර ඉල්ලා සිටීම.


2009 ජූලි 09 - ඇය හා කතා කිරීමටවත් නොමැතිව නිවාඩු කාලය අවසන් වීම හේතුවෙන් කටාර් හි දැවෙන ගිනියමට නැවත පැමිණීම.


2009 ජූලි 09 සිට 15 - ඇගේ දෙමාපියන් මගේ නිවසට යාම, මගේ මව කියූ දේවල් හා මා කියා ඇති දේවල් සන්සන්දනය කර තීරණයකට එළැඹීම.


2009 ජූලි 15 - පරිවාස කාලයකට යටත්ව සම්බන්ධතාවයක් ගොඩනඟාගැනීමට හෙවත් විවාහයට අවසර දීම සහ ඇයත් සමඟ ජීවිතයේ තුන්වැනි වරට කතා කිරීමට හැකි වීම.


2009 ජූලි 15 - විනාඩි කිහිපයක් ගතවෙන්නටත් පෙර පරිවාස කාලය අවසන් වීම......


                                       ඔන්න ඔය කාරණා ටික තමයි ජූලි මාසය තුළ මගේ ජීවිතයේ වුණු වැදගත්ම සිදුවීම්  කිහිපය. ඔය කරුණු ටික ඇතුලේ කිසිම කෙනෙකුට තේරුම් ගන්ඩ බැරි මහා ලොකු දෙයක් තියෙනවා. සමහරු ඒ දේ පිළිගන්ඩ පුළුවන්. තවත් සමහරු නැහැයි කියන්ඩ පුළුවන්. ඒත් මං ලබපු අත්දැකීම අනුව, මං අදහන කතෝලික ධර්මයට අනුව යාච්ඤාව කියන දේ ඒතැනදි ගොඩක් බලවත් වුණා. මොකද මට ඇයව මුණ ගැහුණෙත් ඇගේ නිවසේ තිබුණු යාච්ඤාවක් නිසා. ජා-ඇල ඉඳන් කිසිම දිනෙක ගිහින් නොතිබුණු පානදුරේ ඇගේ නිවසේ යාච්ඤාවට ගියේ වෙනත් කෙනෙකු කරපු බලවත්ම ඉල්ලීමක් අහක දාන්ඩ බැරි කමටයි. එහෙදි ඇයව දැකපු වෙලාවේ ඉඳන් මට දැනුනේ ඇය යාච්ඤාව සමඟ බැඳුණු කෙනෙක් විදිහටයි. කිසිම විදිහකින් දැන නොසිටි ඇය ගැන විවාහ යෝජනාවක් කරන්නට හේතු වුණේ ඒකයි.
                                        මේ සිද්ධියේ මටත් තේරුම් ගන්ඩ අමාරුම වුණ කොටස තමයි ඇය මා දකින්නට සතියකට පෙර ඇගේ පුද්ගලික යාච්ඤාවෙදි ඇයට දැනිලා තිබුණා මගේ හැඩ රුව ඇති කෙනෙක් ඇය ගැන යෝජනාවක් ගේන බව. මට ඇය ගැන අදහසක් පහළ වෙන්නටත් ඉස්සසෙල්ලා ඇය දෙමව්පියන්ට කියලා තිබුණා මම ඇවිත් ඇයට විවාහ යෝජනාවක් ගේන බව. ඒ නිසා මම යෝජනාවත් අරන් එහේ යන වෙලාවේ ඔවුන් මාව පිළිගන්නට සූදානමිනුයි ඉඳලා තියෙන්නේ.
                                        ඒත් ඒ හැම දෙයක්ම මට දැන ගන්නට හම්බවුණේ ඔය පරිවාස කාලයෙන් පස්සේ.... කාටද විස්වාස කරන්ඩ පුළුවන්.. දැකලා දවස් තුනක් ඇතුලත යෝජනා කරලා, ඉන් පස්සේ හරියටම සතියකින් යෝජනා ස්ථිර වෙලා... ඊට මාස 5 කුත් දවසකින් විවාහ වෙන්ඩ ලැබුණා කියලා...


අදට කතාව එච්චරයි... ආයේ ලියන්නේ ලියන්ඩ වෙලාවක් ලැබුණහම හෙවත් හිතුනහම....

Wednesday, February 23, 2011

නොමැරී බේරුණු මෝටර් සයිකල් පැදිල්ල.......


ඊයේ අත්‍යාවශ්‍ය වැඩ ගොඩකට සිටි එකට ගිය ගමන් යාළුවෙක්වත් මුණ ගැහෙන්ඩ ගියා. තීරණය කර ගත්ත වැඩ ඔක්කොම ටික පිළිවෙලකට කරගන්න ඕනෙ හින්දා මුල්ම වැඩේ පටන් ගත්ත තැන ඉඳලා යාළුවාවව මුණ ගැහෙන තැන වෙනකල් පයින්මයි ගියේ. ගමනේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 8 ක් විතර වුණා. ගොඩක් වෙලාවට මගේ කාල ගණනය 90% කට වඩා හරියන හින්දා හවස 5.30 ට පටන් අරන් 8.30 වෙද්දි යාළුවාගේ ඔෆිස් එක ලඟ. මිනිහා තව දවස් දෙක තුනකින් ගම රට බලා යන්ඩයි ඉන්නේ. ඒ හින්දා දෙන්නත් එක්ක කොත්තු පාරක් එහෙම දාලා, කයියක් ගහලා ආගිය තොරතුරු.. ඕපදූප.. එහෙම කියවලා ආ‍වා.
ඔය වෙලාවේ අහම්බෙන් වගේ අපිට සෙට් වුණා යාළුවගේ තවත් යාළුවෙක් (දැනට අපි නමක් දා ගම්මු කමල් කියලා). දෙන්නත් එක්කම බස් නැවතුමට ආවා මාව ඇරලවන්න. ඔය බස් නැවතුම තියෙන්නේ ප්‍රධාන හතරමං හන්දියක් කිට්ටුව. ඔතන සංඥා ලාම්පු එහෙමත් තියෙනවා (ඒවා වලට සාමාන්‍යයෙන් කියන්නේ ‘සිග්නල් ලයිට්’ කියලා. මේ රටේ සිග්නල් ලයිට් ලඟ සාමාන්‍යයෙන් දකින්ඩ පුළුවන් කට්ටියක් තමයි ‘රේසින් බයිසිකල් කාරයෝ’ (සිංහල වචනේ මතක් වෙන්නේ නෑ).


සංඥා වලට වාහන නතර ‍කළහම වාහන පේලියේ ඉස්සරහටම ගිහින් කොල පාට පත්තුවුණු ගමන් මහා සද්දෙන් හිතන්ඩත් කලින් අතුරුදහන් වෙන කට්ටියක්. ඒ වගේම රජ වැඩ කාරයෝ. සිග්නල් එකෙන් ඉස්සරහට අද්දන්නේ තනි රෝදෙන්. ඊයෙත් ඔය වගේ දෙන්නෙක් හිටියා. උන් දෙන්නා වැඩ දානවා දැකලා කමල් කියපු කතාවක් මේ.


කමල් ලංකාවේ ඉන්න කාලේ දවසක් සවස අන්දකාර වැටෙන කිට්ටුව ‍‍සෙල්ලම් කරලා එන ගමන් මෝටර් බයිසිකලය කඩයක් ලඟින් නවත්තලා බීම එකක් බොන්ඩ. ඔය පැත්තෙත් ඉන්නවළු මේ විදිහට වැඩ දාන පොරක්. මිනිහගේ වැඩේ හවස් වරුවට තමුන්ගේ අධි වේගී බයිසිකල් එකත් අරන් පාර පුරා වැඩ දදා (තනියම) රේස් යන එකළු. මේ කියන දවසෙත් මේකා ඔතැනින් බොහොම සද්දෙට හයියෙන් ගිහින් තියෙනවා. ‍කොච්චර වැඩ කාරයෙක් වුණත් වරදින්ඩ මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ නොවැ..... (ඔච්චරම වැඩ දන්න මාරයාටත් වැරදුනු එකේ..)


පෑ......ං ගාගෙන ගිය සද්දේ ‘දඩිං....’ ගාලා සද්දෙකුත් එක්ක කමල් ඉන් තැනට මීටර 50 ක් විතර එහායින් ඇහුනළු. හිතා ගන්ඩ පුළුවන්නේ වෙච්චි දේ... ඒත් එක්කම  ‘අම්මෝ.... බෑ..... අම්මෝ....... බෑ.......’ කියලා කෙඳිරියත් ඇහිලා. මේක ඇහුනා විතරයි කමල්ටයි, එයත් එක්ක හිටපු යාළුවන්ටයි හිනාව නවත්ත ගන්ට බැරිවුණාළු. වැටුණු එකාට උදව් කරන්ඩ යන්ඩ හැදුවත් හිනාව නවතින්නේ නැති නිසා යන්ඩ බැරිළු.
ඔන්න ඒ ගමන කඩේ මුදලාලිට මල පැනලා “වේ...... පුතෝ, ගිහින් බලාපිය අර යකාට මොනව වෙලාද කියලා..” කෑ ගහලා. එතකොට තමයි මුන්ටත් හරි සිහිය ඇවිත් තියෙන්නේ. දුවලා ගිහින් බලද්දි වැඩ කාරයා කෙඳිරියක් එක්ක පතබෑවිලා. අතකුයි කකුලකුයි කඩාගෙන. පස්සේ බැලින්නම් වෙලා තියෙන්නේ මිනිහා ඇරු සොයිසා කියලා යද්දි වෙන වාහනයක් හරහට දාලා..... මේක අහපුවම මටත් මගේ අවුරුද්දක් විතර පරණ සිද්ධියක් මතක් වුණා....
.........................................................................

මටත් ටිකක් විතර ඔය උණේ තිබුණා. හැබැයි ගොඩාක් වෙලාවට කාටවත් වැඩ පෙන්නන්ඩ නෙමෙයි. බොහොම අඩු කාලයකින් වැඩ ගොඩක් කර ගන්ඩ තිබුණ වුවමනාවට. ඉඳ හිට වැඩ පෙන්නන්ඩත් පුළුවන්කම ලැබුණා. මගේ ලඟ තිබුණු ඩිස්කවරි 135 එකක්. ඒකෙන් පල්සර් 180 ත් එක්ක සමාන වේගෙන් එලවපු කාලයකුත් තිබුණා. මේ දවස්වල මං ලංකාවේ නැති හින්දා ඒකෙ අයිතිය මගේ අයියා සතුයි. කොච්චර වේගෙන් එලෙව්වත් ඒ අවශ්‍ය වෙලාවට විතරයි. නැත්නම් 60 - 70 තමයි සාමාන්‍ය වේගය. රෑට නැත්නම් පාන්දරට කොහෙ හරි යනවා නම් 80 – 100 අතර තමයි. මට මතක විදිහට මගේ හොඳම වේගය කිලෝ 6 ක විතර බරක් කරේ දාගෙන පාන්දර 5.00 ට පානදුරෙන් පිටත් වෙලා 5.40 ට ජා-ඇල ට ආපු ලමන තමයි........ කොහොම ගියත් මේ වෙනකල් වැටිලා නම් නැහැ. ඒත් එක දවසක් මැරෙන්ඩ ඔන්න මෙන්න තිබිලා බේරුණා. එදා හැප්පුනා නම් මායි, මගේ නෝනයි දෙන්නම ඉවරයි. මෙන්න ‍ඒ කතාව....
..............................................................................

දිනය : 2010 ජනවාරි 20, හරියටම මගේ උපන්දිනේ දවසේ.
ස්ථානය : මහබාගේ හන්දිය

මේ වෙනකොට බැඳලා මාසයයි, දවස් හතරයි. මගේ පදිංචිය වෙනස් කරලා පානදුරේට සැපත් වෙලා හිටියේ. ජනවාරි 20 කඳානේ පල්ලියේ මංගල්ලේ. පොඩි කාලේ ඉඳන්ම කඳානේ පල්ලියේ මංගල්ලෙයි මගේ උපන් දිනෙයි සැමරුවේ කඳානේ අපේ නැන්දලාගේ ගෙදර. මෙදා පාරත් ඒ ගමන යන්ඩ ඕනා හින්දා නෝනගේ අම්මයි තාත්තයි වෑන් එකේ යවලා අපි දෙන්නා මගේ ඩිස්කවරි එකේ ගියා. කොහොමත් මගේ නෝනා දන්නවා මම හයියෙන් යන්ඩ රුසියා කියලා. කැළණි පාලම පහු කරනවත් එක්කම වගේ වම් පැත්තට සිග්නල් දා ගත්තු බයිසිකලේක කො‍ල්ලෝ දෙන්නෙක් එනවා. මමත් දවල් වෙලා හින්දා පරක්කු වෙන එක වලක්වන්ඩ ටිකක් හයියෙන් ගියා. මුන් දෙන්නත් සිග්නල් ලයිට් නිවන්ඩත් මතක නැතුව මාත් එක්ක හරි හරියට එන්ඩ ගත්තා.


නෝනත් පිටිපස්සේ හින්දා වැඩක් දාන්ඩමයි හිතුණේ. ඉතිං මාත් අරුන් දෙන්නට යන්ඩ ඇරලා ආපහු ඉස්සර කරනවා. ආයෙම වේගේ අඩු කරලා උන් ඉස්සර වුණාට පස්සේ පිටි පස්සෙන් පන්නනවා. මේ ඔක්කොම කරන්නේ මහා වාහන පෝලිමක් මැද්දේ. නෝනට තේරුණා මේක. එක පාරක් කිව්වා “සුදූ.. ඔය සෙල්ලම නවත්තන්ඩ” කියලා. මමත් නෑහුණු ගානට මෙහෙම යනවා. නෝනා දැන ගත්තා මේ යකාට කිව්වට අහන එකෙක් නෙමෙයි කියලා. ඒ ගමන එයා මාව තව තදින් බදලා අල්ලා ගත්තා.


මට තේරුණා පර්මිෂන් හම්බවුණා කියලා. මටත් මොකෝ කියලා අරුන් දෙන්නට ඕන කෙහෙම්මලක් කරගනින් කියලා වේගේ වැඩි කළා. මේ වෙනකොට මහබාගේ හන්දියටඔන්න මෙන්න කියලා තිබුණේ. පාරේ මැද පේලියේ වාහන තිබුණේ නැහැ. ඒ හින්දා වේගේ වැඩි කරන ගමන් එහෙමම ආවා. මට මතක විදිහට මීටරේ 70 ට එහා. හරියටම මහබාගේ හන්දියේදී පාරේ අයිනේ ආපු තවත් ‍මෝටර් බයිසිකල් කාරයෙක් පාර හරහට දාලා නැවැත්තුවා. ඒකේ උන්නෙත් තරුණ ජෝඩුවක්. ඒ වෙනකොට බයිසිකල් දෙක අතර දුර මීටර් 10 – 15 ක් විතර වෙන්ඩ ඇති. හිතන්ඩවත් කාලයක් තිබුණේ නැහැ. එහෙමම කෙලින්වෙලා  හිටගෙන ඉස්සරහයි පිටිපස්සෙයි ‍තිරිංග (බ්‍රේක්) එක පාරම ඇල්ලුවා. සාමාන්‍යයෙන් ‍තිරිංග දෙකම සමානව වැදුණොත් බයිසිකලේ පෙරලෙන්නේ නැහැ කියලයි අහලා තියෙන්නේ. (කවුරු හරි හරියටම දන්නවා නම් කොමෙන්ට් කරන්ඩ. මාරයාගෙන් අහලා වැඩක් නැහැ. ඌත් ඊයේ පෙරේදා වැටුණු එකානේ..) මං හිතන්නේ මට තත්පරේකින් දශම ගානක වෙනස්කමක් වෙන්ඩ ඇති.... බයිසිකලේ ලිස්සලා ගිහින් පිටි පස්ස දෙපැත්තට පැද්දිලා හරියටම අර බයිසිකලේට අඟල් දෙක තුනක් තියෙද්දි නතර වුණා.


මගේ නෝනගේ තියෙන නුවණක්කාර කමට එයත් කලබලයක් නැතුව මාව එහෙමම තදකරලා අල්ලන් හිටියා. බයිසිකලේ නැවතුණු ගමන් කකුල් දෙක බිම තියලා පිටිපස්ස හැරිලා නෝනගේ ලස්සන දිලිසෙන මූණ දිහා බලලා තමයි මොනවද වුණේ කියලා කල්පනා කෙරුවේ. පොඩ්ඩක් විතර තරහා ගිය පාටක් පෙනුණට එච්චරම අවුලක් වුණේ නැහැ. පාරේ ටයර් පාර එහෙම ලස්සනට හිටලා.


වටේ පිටේ කට්ටියත් මුකුත් හිතාගන්නඩ බැරුවද කොහෙද පුදුමෙන් වගේ අපි දිහා බලන් ඉන්නවා. ඒ අස්සේ තර‍ඟෙට ආපු එකාත් කෝචෝක් එකට බලාගෙන ඉස්සර කරා. කොච්චර චණ්ඩියෙක් වගේ ඉන්ඩ හැදුවත් ‍වුණු දේ හිතාගන්ඩ බැරුව පපුව දෙතුන් ගුණයක් වේගෙන් හෙල්ලෙනවා. මොනවා කරන්ඩද..? මේ යකා පාර මැද්දට දාලා නවත්තනවයි කියලා මං දන්නවයෑ...? “හ්ම්.... යමු...” කියලා මට නිකන් හීනෙන් වගේ පිටිපස්සෙන් ඇහුණා. ඒ ගමන වැඩිය හිතන්ඩ ගියේ නැහැ. ගියර් එක මාරු කරන් බයිසිකලේ ඉස්සරහට ඇද්දුවා.


දැන් ආයෙම ලෙඩක් හදවත ගැහෙනවා වැඩි වෙනකොට බයිසිකලේ වේගේ ඉබේම වැඩි වෙනවා. ඊට හපන් අර කොචෝක් දාගෙන ගිය කො‍ල්ලෝ දෙන්නා දකිද්දි තවත් වේගේ වැඩි වෙනවා. උන් දෙන්නා තාමත් සිග්නල් ලයිට් දාගෙන. කොහොමටත් පරදින්ඩ තියෙන අකමැත්ත හින්දම උන්ට ටටා බායි කියලා අද්දපු ගමන උන් කොහේද කියලා හොයා ගන්ඩ වුණේ නැහැ. එතනින් කඳානේ පල්ලිය පරට දාලා නැන්දලගේ ගේ ලඟින් නතර කළා.


බැණුම් අහන්ඩත් බැරි හින්දා නෝනගෙන් හිමිහිට ඇහුවා ‘බය වුණාද’ කියලා. නෝනත් “අපෝ නැහැ. මැරුණනම් අපි දෙන්නම එකටනේ” කියලා කියපු හින්දා යාන්තම් හිතට සැනසිල්ලක් ආවා. හැබැයි ඒ වෙලාවේ මොකක් හරි අත්වැරදීමක් වුණා නම් අනිවාර්යයෙන්ම දෙන්නම ඉවරයි. (මරණ දැන්වීමේ උපත විපත දෙකටම එකම දවස දානකොට කොහොමද..) කොහොමෙන් හරි ඉන් පස්සේ මම කොහේ හරි බයිසිකලෙන් ගමනක් යනවා නම් ‘මළත් දෙන්නා එකට’ කියලා නෝනා බයිසිකලේ පිටිපස්සෙන් නඟිනවා.

ප.ලි /
මං ආසම පාර තමයි ගාළු පාරේ මොරටුව ඉඳන් පානදුර පාලම ලඟට වෙනකල්. මිනිස්සු මෝඩයෝ වගේ පාර පනින එක පොඩි බයකට තිබුණත් 100 ට එළවන්ඩ පුළුවන් පාරක්. මෙදා පාර නම් නිවාඩුවට ගිහින් නම් ආසාවට එකම එක පාරක් කිලෝ මීටරයක් විතර දුර ඩිස්කවරිය පැද්දා. මොනව කරන්නද... දැන් ඉතින් රෝද හතරක් පදවන්ඩ වෙලානේ....

Monday, January 17, 2011

හිතේ දුක හෙවත් නව වසරේ පළමු කුරුටු ගෑම...


                                      මෙච්චර අත්දැකීම් පිරිච්ච ලෝකේ ලියාගන්ඩ දෙයක් නැති එක ගැන වෙලාවකට මටම ලජ්ජා හිතෙනවා. සමහර දේවල් ලියන්ඩ හිතුනත් ඒවායින් මොන ගින්දරක් පත්තු වෙයිද කියලා හිතෙන කොට නොලියා ඉඳීම හොඳයි කියලත් හිතෙනවා. ඒ වුණත් බ්ලොග් එක පාළුවට යවලත් බැහැනේ.
                                      ලංකාවේ ගත කරපු මාසයක කාලයක් අවසන් කරලා ආයෙම පාළු කාන්තාරෙට එන්න වුණා හදිසියේම. තව ටික කාලයක් බිරිඳ එක්ක ගත කරන්න හිතාගෙන හිටියත් හදිසියේම බොහොමයක් තීරණ වෙනස් කරලා ගෙදරට සමු දෙන්ඩ වුණා. 13 වෙනිදා ආයෙම ආවත් වැඩට යන්ඩ හිත දුන්නේ නැහැ.
                                      ඊයේ වෙනකල් කාමරේට වෙලා කල්පනා කර කර හිටියා. අදත් හිටියොත් ප්‍රශ්නයක් වෙන හින්දා වැඩට ගියා. කොච්චර කල්පනා කෙරුවත් ඉවර වෙන්නේ නැහැ. හිතට දැනෙන පාළුව කියලා ඉවර කරන්ඩ බැහැ. එක අතකට කල්පනා කරලා බලනකොට කොච්චර සල්ල හම්බකෙරුවත් මොකටද හිතේ සන්තෝසයක් නැතුව. ඒත් අනිත් පැත්තෙන් බැළුවම වැඩ කරගන්ඩ පුළුවන් කාලේ මොනව හරි කරලා ඉතුරු කර ගත්තේ නැත්නං බැරි වුණ කාලෙක මොනවා කරන්නද කියන එකත් ප්‍රශ්නයක්. මිනිස්සු වෙච්ච අපි මේ දෙක අතරේ අතරමං වෙලා......
                                      ඇත්තටම බැලුවොත් රට ඉන්න අපි සල්ලි වලට පෙරේත වෙලාද කියලත් වෙලාවකට හිතෙනවා. ගත වුණු මාසෙට 'විවාහ සංවත්සරය' ඇරෙන්ඩ වෙන කිසිම විශේෂ වියදමක් නැතුව ලක්ෂයක් විතර නිකම්ම වියදං වෙලා. මනුස්සයෙක් ලංකාවේ රස්සාවක් කරලා ගන්න පඩියකින් ජීවත් වෙන්ඩ පුළුවන් වෙයිද කියලා හිතට සැකයි.
ඒත් ලංකාවේ රුපියල් 15000 ක් පඩි ගන්න මනුස්සයාත් කොහොමින් හරි ජීවත් වෙනවා.....
                                      මේ පෙළි ටික හරි ලිව්වේ හිතේ තියෙන පාලුව මඟ ඇර ගන්න. හිත එකලාසයක් වුණ ගමන් බ්ලොග් එකේ පාළුව නැති කරන්ඩ ඕන. නැත්නං මේ බ්ලොග් එකටත් වෙන්නේ 'විශ්‍රාමික බ්ලොග් කරුවන්ගේ ශාඛාවේ' ලියාපදිංචි කරන්ඩයි....

Tuesday, December 14, 2010

නැවතත් ගම රට බලා ........


                      හැමදාම බ්ලොග් සටහනක් ලියනවා කියලා හිතුවට සුපුරුදු විදිහටම වැඩ ගොඩ ගැහිලා තිබුණා. ඒත් මේ සටහන අනිවාර්යයෙන්ම ලියන්ඩ ඕනා.
                      හේතුව මේ වසරට මම කටාර් වල ඉඳන් ලියන අන්තිම සටහන. තව පැය හතකින් ගම රට බලා ඉගිල්ලෙන්ඩ තියෙනවා. නොයනවා කියලා හිටියත් ඉන්ඩ බැහැ. හේතුව නං මගේ බ්ලොග් සහෘදයෝ ටික දන්නවනේ. මාසයකට හමාරකට නිවාඩු. වයිෆ් නං දන්නේ තව දවස් තුනකින් (16) විවාහ සංවත්සර දිනේම එනවා කියලයි.
                      හැබැයි එයා මේ බ්ලොග් සටහන දැකලා තිබුණේ නැත්නම් හවසට මගේ කන් දෙක ඉවරයි.
                      එහෙමනං මගේ හිත මිතුරු බ්ලොග් කරුවෝ ටික 19 වෙනිදා අනිවාර්යයෙන්ම මුණ ගැසෙන අදහසින් මම මේ කෙටි සටහන නවත්තනවා.......

ප.ලි./ වැඩේ වැරදිලා හෙවත් ගුටිකාලා ඉස්පිරිතාලේ හිටියොත් කට්ටියම මාව බලන්ඩ එන්ඩ හො‍ඳේ.......

Thursday, November 11, 2010

කුණාටුව......

                                      ලියන්ඩ නම් ගොඩක් දේවල් හිතේ තියෙනවාඒත් ඒ දේවල් හරියකට ගලපගන්ඩ තරම් හිත නිරවුල් නැහැවැඩ රාජකාරී අතරේ අමතර සමාජ සේවා වැඩපල්ලියේ වැඩවගේ දෙවල් හින්දා හැම වෙලාවෙම නොසන්සුන්වයි ඉන්ඩ වෙලා තියෙන්නේ.
                                      ඒ අතරේ පහුගිය සුමානේ පල්ලියේ දේශනාවට අහපු කතාවක් මගේ හිතට වැදුනාකතාව නම් කෙටියිඒත් බොහොම ගැඹුරු අදහසක් තියෙන්නේමෙන්න මේකයි කතාව.

                              

                                      එක දවසක් තාත්තා කෙනෙකුයි දුවෙකුයි වාහනයකින් ගමනක් යමින් හිටියා. දුව තමයි වාහනය පැදෙව්වේ. තාත්තා අනෙක් පැත්තෙන් ඉඳගෙන දුවත් එක්ක කතා බහ කරමින් ගමන් කළා. ඔවුන් මෙහෙම යමින් ඉන්නකොට හිටි හැටියේම වැස්සක් ඇද ‍හැලෙන්ඩ පටන් ගත්තා. තරමක් ඈතට පාර පේනවා. ඒත් දුවට වාහනය පදවන්න බයක් වගේ දැණුනා. දුව තාත්තට කතා කරලා ඇහුවා තාත්තේ වැස්ස පායනකල් අපි වාහනය නතර කරමුද?” කියලා. තාත්තා කිව්වා ඕනේ නැහැ. ඉස්සරහටම යංකියලා.
                                      මෙහෙම තව ටිකක් යද්දි මේ වැස්ස මහා කුණාටුවක් බවට හැරුණා. දැන් වාහනය පදවන්න තවත් අමාරුයි. පාර වැඩිය දුරකට පේන්නේ නැහැ. සමහර වාහන නතර කරලා. දුව ආයෙමත් තාත්තාගෙන් ඇහුවා තාත්තේ පාර පේනවා අඩුයි. අපි වාහනය නතර කරමුද..?” කියලා. ඒත් තාත්තාගේ පිළිතුර වුණේ නවත්තන්න එපා. ඉස්සරහටම යන්නකියලයි. දැන් මේ මහා කුණාටුව හොඳටම වැඩියි. වාහනේ තියෙන මායිමෙන් එහාට කිසිම දෙයක් පෙන්නේ නැහැ. අනිත් වාහන ඔක්කොම නතර කරලා. දැන් දුවට වාහනය පදවන එක හොඳටම අමාරුයි.
                                      දුව ආයෙම සැරයක් තාත්තාගෙන් ඇහුවා තාත්තේ මට පාර කොහොමටවත් පෙන්නේ නැහැ. අනේ අපි කුණාටුව අඩු වෙනකල් වාහනය නතර කරලා ඉමුකියලා. ඒත් තාත්තාගේ පිළිතුරේ කිසිම වෙනසක් වුණේ නැහැ. එකම පිළිතුර නවත්තන්න එපා. ඔය විදිහටම පදවන් යමුකියන එකයි. තාත්තාගේ කීමට පිටින් යන්න බැරි හින්දා දුව අමාරුවෙන් වාහනය පදවන් ඉදිරියටම ගියා. මෙහෙම සෑහෙන දුරක් ගියහම ඔවුන්ට පුළුවන් වුණා. කුණාටුව තිබුණු ප්‍රදේශය පහු කරන්ඩ. මෙන්න එතකොට තාත්තා කියනවා දුවේ... දැන් වාහනය නතර කරන්න...” කියලා.
                                      දුව පුදුමයෙනුත් පුදුමයට පත් වුණා. අර වගේ අමාරු කුණාටුව මැද්දේ වාහනය නතර කරන්න එපා කියපු  තාත්තා කුණාටුව පහු වුණාට පස්සේ වාහනය නතර කරන්න කියපු එක ඇයට ඇත්තටම ප්‍රශ්නයක් වුණා. “තාත්තේ..... දැන් කුණාටුව ඉවරයි. මට දැන් වාහනේ පදවන්න අමාරු නැහැ. අපි නතර කරන්න ඕනේ නැහැ. අපි යමු...” කියලා. ඒත් තාත්තා කිව්වා නැහැ දුව .. දැන් වාහනය නතර කරන්න. නතර කරලා එළියට බහින්නකියලා.
                                      දුව තාත්තට කීකරු වුණා. තාත්තත් වාහනයෙන් බැහැලා දුව ලඟට ආවා. ඇවිත් ඔවුන් පහුකරන් ආපු පැත්ත ආපහු පෙන්නුවා. පෙන්නලා ඇහුවා දුවේ ඔයාට මොනවද පේන්නේ...?” කියලා. “තාත්තේ මට පේ‍න්නේ අපි පහුකරපු කුණාටුව විතරයි....” කියලා දුව උත්තර දුන්නා.
                                      ඇත්ත දුවේ. ඔයාට පෙන්නේ ඒ කුණාටුව විතරයි. ඒත් ඒ කුණාටුව මැද්දේ ආපු වාහන එකක්වත් ඔයාට පේනවද..?” තාත්තාගේ ප්‍රශ්නයට දුවගේ පිළිතුර වුණේ නැහැ කියන එකයි.
                                      දුවේ, ඔයා ඒ කුණාටුව මැද්දේ වාහනේ නතර කළා නම් තාමත් ඔයා අනිත් අය වගේම ඒ මැද අතරමං වෙලා. ඒත් ඔයා ඒ කුණාටුවට මුහුණ දීලා ඒක ජයගත්ත හින්දා  තවදුරටත් ඒකෙන් ඔයාව කරදරයක් වෙන්නේ නැහැ.”
                                      තාත්තාගේ පිළිතුර හින්දා දුව ජීවිතයට අළුත් පාඩමක් ඉගෙන ගත්තා.

Tuesday, August 31, 2010

ඇණ කැළල....



අද මං මේ දාන කතාවේ ඉන්න චරිත කවුද කියලා නම් හරියටම දන්නේ නැහැ. ඒත් මේක මම අහලා තියෙන මට හිතට දැණුනු කතාවක්....

එක්තරා දරුවෙක් හිටියා නිතරම කේන්තියෙන් ජීවිතේ ගත කරන. හැම මොහොතෙම මොකක් හෝ දේකට තරහා අරගත්ත ගමන්මයි ඔහු ජීවත් වුණේ.
ඒ තරහා නිසාම හැම මොහොතෙම කාට හෝ යමක් කියවා හිත රිද්දීමට ඔහු පෙළඹිලා තිබුණා.
මෙයින් දරුවාට හා සමාජයට වෙන ගැටළුව ගැන හිතලා මේ දරුවාගේ තාත්තා කළ යුතු පිළියම මොකක්ද කියලා කල්පනා කළා.

මෙහෙම හිතපු දරුවාගේ තාත්තා මේ දරුවාට දුන්නා ඇණ පිරුණු මල්ලකුයි මිටියකුයි....
දීලා කිව්වා... "මගේ පුතේ.. පුතාට කේන්ති යන හැම වෙලාවකම, එහෙම නැත්නම් පුතා කාට හෝ බැනපු.. හිත රිදෙන යමක් කියපු හැම වෙලාවකම මේ මල්ලෙන් එක ඇණයක් අරගෙන ගිහින් ගේ ඉස්සරහ තියෙන වැට දිගට තදට ගහන්න" කියලා...
හැබැයි ඒ තරහා යන හැම වාරයකම වරින් වර ඇණය බැගින් අරන් ගිහින් ගහලා එන්න ඕනේ...
ඉතින් පුතා මේ දේට එකඟ වුණා.
පළවෙනි දවස අවසානයේ මේ දරුවා ඇණ 37 ක් ගහලා තිබුණා..
ඇත්තටම එයාට හිතුණා මේ කරන වැඩේ හරිම කරදරයක් කියලා. ඒත් තාත්තා කියපු නිසා කරන්නත් වෙනවා.

හැබැයි ඊලඟ සති දෙක තුන වෙනකොට මේ ගහන ඇණ පුමාණය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙන්න පටන් ගත්තා. එයට හේතුව වුණේ 'මේ කරදරකාරී ඇණ ගැහිල්ල කරනවාට වඩා තමන්ගේ කේන්තිය පාලනය කරගන්න එක වඩාත්ම ලේසියි' කියලා මේ දරුවාට තේරුම් ගිය හින්දයි.
මෙහෙම කාලයක් යද්දී වැටට එක ඇණයක් වත් නොගැසිය යුතු දිනයක් උදා වුණා.
ඒ කියන්නේ මේ දරුවා ‍තමන්ගේ ජීවිතේ කේන්ති නොගෙන, කිසි කෙනෙකුට හිත නොරිදෙන සේ කතා කිරීමට පුරුදු වෙලා තිබුණු හින්දයි.
එදා මේ දරුවාට බොහොම සන්තෝසයි. මේ දේ දැක්ක තාත්තා මේ දරුවාට කිවුවා.....
"මගෙ හොඳ පුතා. දැන් ඔබ මේ වගේ කේන්ති නොගෙන ගෙවන හැම දවසකදිම වැටට ගහලා තියෙන එක ඇණය ගානේ ගලවන්න."
‍පුතා මේ අදහසටත් එකඟ වුණා.

මේ විදිහට ඇණ ගලවමින් ගිහිල්ලා අන්තිම ඇණයත් ගැලවූ දවසත් උදා වුණා....
එවිට මේ තාත්තා දරුවගේ අතින් අල්ලගෙන එක්කන් ගිහින් ඔහු ඇණ ගැලවූ තැන් පෙන්වා මෙසේ කීවා...
"පුතේ ඔයා බොහොම හොඳ වැඩක් කළේ මේ ඔක්කොම ඇණ ටික ගලවා ඉවත් කරපු එක. හැබැයි ඔයා මේ ඇණ ගලවාපු තැන් වල තියෙන කැලැල් නම් තවම එහෙමම තියෙනවා.",

පුතා හොඳින් ඒ දෙස බැළුවා... තාත්තා මෙය තවත් පැහැදිලි කළා.....
"පුතේ ඔයාට පුළුවන් කාට හෝ තුවාල වෙන්න පිහියකින් අනින්න. ඒ තුවාලේ කවදා හෝ හොඳ වෙයි. ඒත් කවදාවත් ඒ තුවාල කැලල නම් නැතිවන්නේ නැහැ."
"කෙනෙක් පාවිච්චි කරන නරක වචනත් ඒ පිහි පහර තරම්ම දරුණුයි....."
"ඔයා කාට හෝ බැණලා.... නරක වචන පාවිච්චි කරලා.... පස්සේ  සමාව ගත්තත් ඒකෙන් ප්‍රතිඵලයක් නැහැ. ගහපු ඇණ ගැලෙව්වත් මේ වැටේ ඉතිරි වුණ ඇණ කැලැල් වගේ.... කියපු දේවල් වලට සමාව ගත්තට ඒකෙන් ඒ කෙනාගේ පෑරුණු හිතේ කැලැල යවන්ඩ කවදාවත් බැහැ."

එදා ඒ දරුවා තේරුම් ගත්තා තමන් කේන්ති අරන් තමන් කියූ වචන අනිත් අයගේ සිතට කොච්චර තදින් බලපානවද කියලා.
------------------------------------------------------------------------------------------------

මේ දේ ඔබට හරියටම තේරුණේ නැත්නම් කවුරු හෝ කෙනෙකුට කියන්න ඔබ කළ හෝ නොකළ වරදකට, ඔබේ හිත රිදෙන්න යමක් කියලා පසුව සමාව ඉල්ලන්න කියලා.....
එතකොට ඔබටත් තේරෙයි මේ කතාවේ නියම තේරුම.....

(මේ කතාවේ නිර්මාතෘ කවුද කියලා දන්නේ නැහැ. මේක මටත් විද්‍යුත් තැපෑලෙන් ආපු එකක්)

Friday, August 27, 2010

මරණය එන තෙක් මඟ බලා සිටීම....


වැඩිය ලිවීමේ කටයුතු ගැන දන්නේ නැති නිසා ලිපියකට අදහසක් හොයමින් ඉඳපු වෙලාවේ අහිංසක සිතුවිලි ලියන නිරහංකාරිය ගේ අළුත්ම ලිපිය දැක්කහම මටත් පොඩි කරුණක් මතක් වුණා.
මම මේ දාලා තියෙන පින්තූරේ අරගත්තේ ගිය අවුරුද්දේ ‍ඔක්තෝබර් විතර.
ඒ වෙද්දි රාමදාන් එක (මුස්ලිම් අයගේ නෝම්බි ඇල්ලීමේ කාලය) ඉවර වෙලා තිබුණේ.
හැබැයි රාමදාන් පටන් ගන්න කලින් ඔය පසුබිමින් පෙනෙන ඉසව්ව පින්තූරේ ඉන්න කට්ටියගෙන් පිරිලා තිබුණේ. මම හිතන විදිහට තුන් හාරදාහකට විතර වැඩියි.....

ඒත් රාමදාන් එකයි ඊද් එකයි ඉවර වෙද්දි ඉතුරු වෙලා ඉන්න කට්ටිය කොච්චරද කියලා පේනවා නේද..?
අනිත් ඈයො ඔක්කොම  රස බොජුන් වෙලා සීත මාළිගා වල ඉන්න අයගේ වගේම අපි වගේ පොඩි මිනිස්සුනගෙත් රස නහර පිනවලා ඉවරයි.

හොඳට බැළුවොත් පෙනේවි මේ අයගේ ඉස්සරහ කකුල් දෙකට ලණුවක් දාලයි තියෙන්නේ.
සාමාන්‍යයෙන් මේ අය බිම දිගා වෙලා ඉඳලා නැඟිටනකොට කකුල් තරමක් ඈත් කරලයි නැඟිටින්නේ. ඒත් මේ දාලා තියෙන ලණුව හින්ඳා මෙයාලට නැඟිටින්නත්, ඇවිදින්නත් අමාරුයි...

කොහොමද අපෙත් කකුල් ඔහොම ගැටගහලා තිබුණා නම්..

මම එදා ගොඩක් වෙලා මේ අය දිහා බලාගෙන හිටියා මේ ගොල්ලෝ ඔය කූඩුව ඇතුලේ ගත කරන ජීවිතය කොහොමද කියලා දැකගන්න.
ඒත් ඒ වෙලාවේ දැකපු දෙයින් නම් මගේ හිතත් ටිකක් සසල වුණා.
මම මෙයාලා දිහා බලන් ඉන්න විදිහටම මෙයාලත් මං දිහා බලන් උන්නා..

ඒත් විශේෂත්වය වුණේ මගේ ඇස්වල නැතත් මෙයාලගේ ඇස්වල කඳුළු බේරෙමින් තිබුණා.
"අනේ අපිව මරන්න දෙන්න එපා...අපිව බේරගන්න.." වගේ අදහසක් තමයි ඒ මුහුණු වල තිබුණේ.

මොකද මේ ගොල්ලෝ හොඳට මොලේ තියෙන කට්ටියක්.
එයාලා දන්නවා මෙතන ඉන්න අයට ඊලඟ ඉරණම මරණය කියලා.

ඇත්තටම ටික වෙලාවක් ඒ දිහා බලන් ඉද්දි මටත් ලොකු දුකක් ඇතිවුණා.... ඒත් ඉතිං මටයි කියලත් කරන්න දෙයක් තිබුණේ නැහැ....

මේ අවුරුද්දෙත් ඔය පැත්තේ යන්න හිටියට තාම ඉඩක් ලැබුණේ නැහැ.

හා හා පුරා කියලා ලියපු ලිපිය මරණේ ගැන ලිව්වා කියලා කවුරුත් කලබල වෙන්ඩ එපා.
මරණය කියන දේ මම නිතරම කල්පනා කරන දෙයක්.

ඒ කියන්නේ "අනේ මාව මැරිලා පලයං" කියලා නෙමේ.
ජීවිතේ අනිත්‍ය ගැන කල්පනා කෙරුවොත් ජීවත් වෙන එක ලේසියි. කරදර අඩුයි....

ඔය වැඩක් පලක් නැති වෙලාවක කට්ටියම තම තමුංගේ ජීවිතේ ගැනත්, කෙරුවාවල් ගැනත් පොඩ්ඩක් කල්පනා කරන්නකෝ....


(කට්ටියගෙන් වැඩිපුර අඬපු කෙනාගේ පින්තූරෙකුත් තියෙනවා... කො‍හෙද.. මේකෙ 'අප්ඩේට් ෆේල්ඩ්' කියලා වැටෙනවානේ)
යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails