ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...
Showing posts with label කතන්දර. Show all posts
Showing posts with label කතන්දර. Show all posts

Wednesday, February 23, 2011

නොමැරී බේරුණු මෝටර් සයිකල් පැදිල්ල.......


ඊයේ අත්‍යාවශ්‍ය වැඩ ගොඩකට සිටි එකට ගිය ගමන් යාළුවෙක්වත් මුණ ගැහෙන්ඩ ගියා. තීරණය කර ගත්ත වැඩ ඔක්කොම ටික පිළිවෙලකට කරගන්න ඕනෙ හින්දා මුල්ම වැඩේ පටන් ගත්ත තැන ඉඳලා යාළුවාවව මුණ ගැහෙන තැන වෙනකල් පයින්මයි ගියේ. ගමනේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 8 ක් විතර වුණා. ගොඩක් වෙලාවට මගේ කාල ගණනය 90% කට වඩා හරියන හින්දා හවස 5.30 ට පටන් අරන් 8.30 වෙද්දි යාළුවාගේ ඔෆිස් එක ලඟ. මිනිහා තව දවස් දෙක තුනකින් ගම රට බලා යන්ඩයි ඉන්නේ. ඒ හින්දා දෙන්නත් එක්ක කොත්තු පාරක් එහෙම දාලා, කයියක් ගහලා ආගිය තොරතුරු.. ඕපදූප.. එහෙම කියවලා ආ‍වා.
ඔය වෙලාවේ අහම්බෙන් වගේ අපිට සෙට් වුණා යාළුවගේ තවත් යාළුවෙක් (දැනට අපි නමක් දා ගම්මු කමල් කියලා). දෙන්නත් එක්කම බස් නැවතුමට ආවා මාව ඇරලවන්න. ඔය බස් නැවතුම තියෙන්නේ ප්‍රධාන හතරමං හන්දියක් කිට්ටුව. ඔතන සංඥා ලාම්පු එහෙමත් තියෙනවා (ඒවා වලට සාමාන්‍යයෙන් කියන්නේ ‘සිග්නල් ලයිට්’ කියලා. මේ රටේ සිග්නල් ලයිට් ලඟ සාමාන්‍යයෙන් දකින්ඩ පුළුවන් කට්ටියක් තමයි ‘රේසින් බයිසිකල් කාරයෝ’ (සිංහල වචනේ මතක් වෙන්නේ නෑ).


සංඥා වලට වාහන නතර ‍කළහම වාහන පේලියේ ඉස්සරහටම ගිහින් කොල පාට පත්තුවුණු ගමන් මහා සද්දෙන් හිතන්ඩත් කලින් අතුරුදහන් වෙන කට්ටියක්. ඒ වගේම රජ වැඩ කාරයෝ. සිග්නල් එකෙන් ඉස්සරහට අද්දන්නේ තනි රෝදෙන්. ඊයෙත් ඔය වගේ දෙන්නෙක් හිටියා. උන් දෙන්නා වැඩ දානවා දැකලා කමල් කියපු කතාවක් මේ.


කමල් ලංකාවේ ඉන්න කාලේ දවසක් සවස අන්දකාර වැටෙන කිට්ටුව ‍‍සෙල්ලම් කරලා එන ගමන් මෝටර් බයිසිකලය කඩයක් ලඟින් නවත්තලා බීම එකක් බොන්ඩ. ඔය පැත්තෙත් ඉන්නවළු මේ විදිහට වැඩ දාන පොරක්. මිනිහගේ වැඩේ හවස් වරුවට තමුන්ගේ අධි වේගී බයිසිකල් එකත් අරන් පාර පුරා වැඩ දදා (තනියම) රේස් යන එකළු. මේ කියන දවසෙත් මේකා ඔතැනින් බොහොම සද්දෙට හයියෙන් ගිහින් තියෙනවා. ‍කොච්චර වැඩ කාරයෙක් වුණත් වරදින්ඩ මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ නොවැ..... (ඔච්චරම වැඩ දන්න මාරයාටත් වැරදුනු එකේ..)


පෑ......ං ගාගෙන ගිය සද්දේ ‘දඩිං....’ ගාලා සද්දෙකුත් එක්ක කමල් ඉන් තැනට මීටර 50 ක් විතර එහායින් ඇහුනළු. හිතා ගන්ඩ පුළුවන්නේ වෙච්චි දේ... ඒත් එක්කම  ‘අම්මෝ.... බෑ..... අම්මෝ....... බෑ.......’ කියලා කෙඳිරියත් ඇහිලා. මේක ඇහුනා විතරයි කමල්ටයි, එයත් එක්ක හිටපු යාළුවන්ටයි හිනාව නවත්ත ගන්ට බැරිවුණාළු. වැටුණු එකාට උදව් කරන්ඩ යන්ඩ හැදුවත් හිනාව නවතින්නේ නැති නිසා යන්ඩ බැරිළු.
ඔන්න ඒ ගමන කඩේ මුදලාලිට මල පැනලා “වේ...... පුතෝ, ගිහින් බලාපිය අර යකාට මොනව වෙලාද කියලා..” කෑ ගහලා. එතකොට තමයි මුන්ටත් හරි සිහිය ඇවිත් තියෙන්නේ. දුවලා ගිහින් බලද්දි වැඩ කාරයා කෙඳිරියක් එක්ක පතබෑවිලා. අතකුයි කකුලකුයි කඩාගෙන. පස්සේ බැලින්නම් වෙලා තියෙන්නේ මිනිහා ඇරු සොයිසා කියලා යද්දි වෙන වාහනයක් හරහට දාලා..... මේක අහපුවම මටත් මගේ අවුරුද්දක් විතර පරණ සිද්ධියක් මතක් වුණා....
.........................................................................

මටත් ටිකක් විතර ඔය උණේ තිබුණා. හැබැයි ගොඩාක් වෙලාවට කාටවත් වැඩ පෙන්නන්ඩ නෙමෙයි. බොහොම අඩු කාලයකින් වැඩ ගොඩක් කර ගන්ඩ තිබුණ වුවමනාවට. ඉඳ හිට වැඩ පෙන්නන්ඩත් පුළුවන්කම ලැබුණා. මගේ ලඟ තිබුණු ඩිස්කවරි 135 එකක්. ඒකෙන් පල්සර් 180 ත් එක්ක සමාන වේගෙන් එලවපු කාලයකුත් තිබුණා. මේ දවස්වල මං ලංකාවේ නැති හින්දා ඒකෙ අයිතිය මගේ අයියා සතුයි. කොච්චර වේගෙන් එලෙව්වත් ඒ අවශ්‍ය වෙලාවට විතරයි. නැත්නම් 60 - 70 තමයි සාමාන්‍ය වේගය. රෑට නැත්නම් පාන්දරට කොහෙ හරි යනවා නම් 80 – 100 අතර තමයි. මට මතක විදිහට මගේ හොඳම වේගය කිලෝ 6 ක විතර බරක් කරේ දාගෙන පාන්දර 5.00 ට පානදුරෙන් පිටත් වෙලා 5.40 ට ජා-ඇල ට ආපු ලමන තමයි........ කොහොම ගියත් මේ වෙනකල් වැටිලා නම් නැහැ. ඒත් එක දවසක් මැරෙන්ඩ ඔන්න මෙන්න තිබිලා බේරුණා. එදා හැප්පුනා නම් මායි, මගේ නෝනයි දෙන්නම ඉවරයි. මෙන්න ‍ඒ කතාව....
..............................................................................

දිනය : 2010 ජනවාරි 20, හරියටම මගේ උපන්දිනේ දවසේ.
ස්ථානය : මහබාගේ හන්දිය

මේ වෙනකොට බැඳලා මාසයයි, දවස් හතරයි. මගේ පදිංචිය වෙනස් කරලා පානදුරේට සැපත් වෙලා හිටියේ. ජනවාරි 20 කඳානේ පල්ලියේ මංගල්ලේ. පොඩි කාලේ ඉඳන්ම කඳානේ පල්ලියේ මංගල්ලෙයි මගේ උපන් දිනෙයි සැමරුවේ කඳානේ අපේ නැන්දලාගේ ගෙදර. මෙදා පාරත් ඒ ගමන යන්ඩ ඕනා හින්දා නෝනගේ අම්මයි තාත්තයි වෑන් එකේ යවලා අපි දෙන්නා මගේ ඩිස්කවරි එකේ ගියා. කොහොමත් මගේ නෝනා දන්නවා මම හයියෙන් යන්ඩ රුසියා කියලා. කැළණි පාලම පහු කරනවත් එක්කම වගේ වම් පැත්තට සිග්නල් දා ගත්තු බයිසිකලේක කො‍ල්ලෝ දෙන්නෙක් එනවා. මමත් දවල් වෙලා හින්දා පරක්කු වෙන එක වලක්වන්ඩ ටිකක් හයියෙන් ගියා. මුන් දෙන්නත් සිග්නල් ලයිට් නිවන්ඩත් මතක නැතුව මාත් එක්ක හරි හරියට එන්ඩ ගත්තා.


නෝනත් පිටිපස්සේ හින්දා වැඩක් දාන්ඩමයි හිතුණේ. ඉතිං මාත් අරුන් දෙන්නට යන්ඩ ඇරලා ආපහු ඉස්සර කරනවා. ආයෙම වේගේ අඩු කරලා උන් ඉස්සර වුණාට පස්සේ පිටි පස්සෙන් පන්නනවා. මේ ඔක්කොම කරන්නේ මහා වාහන පෝලිමක් මැද්දේ. නෝනට තේරුණා මේක. එක පාරක් කිව්වා “සුදූ.. ඔය සෙල්ලම නවත්තන්ඩ” කියලා. මමත් නෑහුණු ගානට මෙහෙම යනවා. නෝනා දැන ගත්තා මේ යකාට කිව්වට අහන එකෙක් නෙමෙයි කියලා. ඒ ගමන එයා මාව තව තදින් බදලා අල්ලා ගත්තා.


මට තේරුණා පර්මිෂන් හම්බවුණා කියලා. මටත් මොකෝ කියලා අරුන් දෙන්නට ඕන කෙහෙම්මලක් කරගනින් කියලා වේගේ වැඩි කළා. මේ වෙනකොට මහබාගේ හන්දියටඔන්න මෙන්න කියලා තිබුණේ. පාරේ මැද පේලියේ වාහන තිබුණේ නැහැ. ඒ හින්දා වේගේ වැඩි කරන ගමන් එහෙමම ආවා. මට මතක විදිහට මීටරේ 70 ට එහා. හරියටම මහබාගේ හන්දියේදී පාරේ අයිනේ ආපු තවත් ‍මෝටර් බයිසිකල් කාරයෙක් පාර හරහට දාලා නැවැත්තුවා. ඒකේ උන්නෙත් තරුණ ජෝඩුවක්. ඒ වෙනකොට බයිසිකල් දෙක අතර දුර මීටර් 10 – 15 ක් විතර වෙන්ඩ ඇති. හිතන්ඩවත් කාලයක් තිබුණේ නැහැ. එහෙමම කෙලින්වෙලා  හිටගෙන ඉස්සරහයි පිටිපස්සෙයි ‍තිරිංග (බ්‍රේක්) එක පාරම ඇල්ලුවා. සාමාන්‍යයෙන් ‍තිරිංග දෙකම සමානව වැදුණොත් බයිසිකලේ පෙරලෙන්නේ නැහැ කියලයි අහලා තියෙන්නේ. (කවුරු හරි හරියටම දන්නවා නම් කොමෙන්ට් කරන්ඩ. මාරයාගෙන් අහලා වැඩක් නැහැ. ඌත් ඊයේ පෙරේදා වැටුණු එකානේ..) මං හිතන්නේ මට තත්පරේකින් දශම ගානක වෙනස්කමක් වෙන්ඩ ඇති.... බයිසිකලේ ලිස්සලා ගිහින් පිටි පස්ස දෙපැත්තට පැද්දිලා හරියටම අර බයිසිකලේට අඟල් දෙක තුනක් තියෙද්දි නතර වුණා.


මගේ නෝනගේ තියෙන නුවණක්කාර කමට එයත් කලබලයක් නැතුව මාව එහෙමම තදකරලා අල්ලන් හිටියා. බයිසිකලේ නැවතුණු ගමන් කකුල් දෙක බිම තියලා පිටිපස්ස හැරිලා නෝනගේ ලස්සන දිලිසෙන මූණ දිහා බලලා තමයි මොනවද වුණේ කියලා කල්පනා කෙරුවේ. පොඩ්ඩක් විතර තරහා ගිය පාටක් පෙනුණට එච්චරම අවුලක් වුණේ නැහැ. පාරේ ටයර් පාර එහෙම ලස්සනට හිටලා.


වටේ පිටේ කට්ටියත් මුකුත් හිතාගන්නඩ බැරුවද කොහෙද පුදුමෙන් වගේ අපි දිහා බලන් ඉන්නවා. ඒ අස්සේ තර‍ඟෙට ආපු එකාත් කෝචෝක් එකට බලාගෙන ඉස්සර කරා. කොච්චර චණ්ඩියෙක් වගේ ඉන්ඩ හැදුවත් ‍වුණු දේ හිතාගන්ඩ බැරුව පපුව දෙතුන් ගුණයක් වේගෙන් හෙල්ලෙනවා. මොනවා කරන්ඩද..? මේ යකා පාර මැද්දට දාලා නවත්තනවයි කියලා මං දන්නවයෑ...? “හ්ම්.... යමු...” කියලා මට නිකන් හීනෙන් වගේ පිටිපස්සෙන් ඇහුණා. ඒ ගමන වැඩිය හිතන්ඩ ගියේ නැහැ. ගියර් එක මාරු කරන් බයිසිකලේ ඉස්සරහට ඇද්දුවා.


දැන් ආයෙම ලෙඩක් හදවත ගැහෙනවා වැඩි වෙනකොට බයිසිකලේ වේගේ ඉබේම වැඩි වෙනවා. ඊට හපන් අර කොචෝක් දාගෙන ගිය කො‍ල්ලෝ දෙන්නා දකිද්දි තවත් වේගේ වැඩි වෙනවා. උන් දෙන්නා තාමත් සිග්නල් ලයිට් දාගෙන. කොහොමටත් පරදින්ඩ තියෙන අකමැත්ත හින්දම උන්ට ටටා බායි කියලා අද්දපු ගමන උන් කොහේද කියලා හොයා ගන්ඩ වුණේ නැහැ. එතනින් කඳානේ පල්ලිය පරට දාලා නැන්දලගේ ගේ ලඟින් නතර කළා.


බැණුම් අහන්ඩත් බැරි හින්දා නෝනගෙන් හිමිහිට ඇහුවා ‘බය වුණාද’ කියලා. නෝනත් “අපෝ නැහැ. මැරුණනම් අපි දෙන්නම එකටනේ” කියලා කියපු හින්දා යාන්තම් හිතට සැනසිල්ලක් ආවා. හැබැයි ඒ වෙලාවේ මොකක් හරි අත්වැරදීමක් වුණා නම් අනිවාර්යයෙන්ම දෙන්නම ඉවරයි. (මරණ දැන්වීමේ උපත විපත දෙකටම එකම දවස දානකොට කොහොමද..) කොහොමෙන් හරි ඉන් පස්සේ මම කොහේ හරි බයිසිකලෙන් ගමනක් යනවා නම් ‘මළත් දෙන්නා එකට’ කියලා නෝනා බයිසිකලේ පිටිපස්සෙන් නඟිනවා.

ප.ලි /
මං ආසම පාර තමයි ගාළු පාරේ මොරටුව ඉඳන් පානදුර පාලම ලඟට වෙනකල්. මිනිස්සු මෝඩයෝ වගේ පාර පනින එක පොඩි බයකට තිබුණත් 100 ට එළවන්ඩ පුළුවන් පාරක්. මෙදා පාර නම් නිවාඩුවට ගිහින් නම් ආසාවට එකම එක පාරක් කිලෝ මීටරයක් විතර දුර ඩිස්කවරිය පැද්දා. මොනව කරන්නද... දැන් ඉතින් රෝද හතරක් පදවන්ඩ වෙලානේ....

Friday, November 19, 2010

ජෝසප්පු සීයාගේ කොච්චි මිරිස්...


                                        මේ කතාව බටගම කතා සීරිස් එකට අයිති නොවුනට ‍මේකත් අපේ ගමේ කෙනෙක් ගැන තියෙන බොහොම රසවත් කතාවක්. මට ඉතින් බොහොම රස කරලා කතා ලියන්ඩ බැරි හින්ඳා පුළුවන් කට්ටිය කොහොමෙන් හරි හිනාවෙන්ඩ හො‍ඳේ.
                                        අපේ ගමේ දැනට අවුරුදු 20 කට කලින් විතර හිටියා ජෝසප්පු සීයා කියලා කෙනෙක්. එතකොට මම පොඩියි. මනුස්සයා කළේ පොල් ලෙලි ගහපු එක. ඉස්සර එයාගේ තරුණ කාලේ ගොඩක් රට තොට කරක් ගහපු මනුස්සයෙක්. මේ සීයා නිතර අපේ ගෙදර එනවා බුලත් විට කන්ඩ කියලා. ඒ ආපු වෙලාවට තරුණ කාලේ කරපු කියපු දේවල්, ආ ගිය ගමන් කියෝ කියෝ සෑහෙන වෙලාවක් ඉඳලා තමයි යන්නේ. හරිම හිත හොඳ මනුස්සයා. සීයාගේ විහිළු කතා වල නම් අඩුවක් තිබුණේ නැහැ. විහිළු කතා කිව්වට ඔක්කොම පට්ටපල් බොරු. හැම කතාවම මතක නැතත් මගේ හිතේ කතා දෙකක් විතරක් ඇඳිලා තියෙනවා. මෙන්න මේකයි ඒ එක කතාවක්.
                                        ජෝසප්පු සීයා ඉස්සර කාලේ යනවළු කැලේ දඩයමේ. මේ අහල පහල නෙමෙයි. අනුරාධපුරේ පොලොන්නරුවේ හබරණ එහෙම. ඒ කාලේ දඩයමට ලොකුම තහනමක් නැහැනේ. හැබැයි තුවක්කු නං පාවිච්චි කරන්නේ නැහැ. අරගෙන යන්නේ කෙලවර උල් කරපු දිග රිටක් විතරයි. ඕනෑම සතෙක්ට මේ රිටෙන් ඇනලා මරණවළු. මරණ සතාව දාගෙන එන්ඩ ගෝනියකුත් අරන් තමයි යන්නේ. කොළඹ ඉඳලා අනුරාධපුර හබරණ වෙනකල් කොච්චර දුරද..? ඒත් ගමන පයින්... දවසක් මෙහෙම යද්දී පොඩි වැස්සක් පටන් අරගෙන. 'මේ හිම්බිජි වැස්ස මොකක්ද මට බාදා කරන්න' කියලා හිතලා තමුන්ගේ ගමන නතර නොකර ගිහින්
                                         ඔහොම දවසක් විතර යනවළු වැස්ස නතර වෙන්නේ නැහැළු කොහොම හරි ගමනේ කෙලවරට ලං වෙලයි ඉඳලා තියෙන්නේ. ඒත් වැස්ස හින්ඳා දඩයමකට අවස්ථාවක් නැතිළු. මේ වෙද්දි වැස්සත් ටික ටික වැඩි වෙලා ගංවතුර ගලන තත්ත්වෙට ම ඇවිත්. හොඳටම රෑ වෙද්දි කැලේ ගංවතුර දණහිස් මට්ටමට. තවත් වහිනවළු. වතුර වැඩිවෙනවළු. කරන්නඩ දෙයක් නැති හින්දා ‍මේ මනුස්සයා ලග තිබුණු මහා රූස්ස ගහකට යාන්තම් අමාරුවෙන් බඩගෑවළු. ගහ බදන්ඩ බැරි තරම් විසාල ගහක්.
                                        ඒත් ඉතින් ගංවතුර වැඩි වෙන වේගෙට ඒ වගේ ගහකට මිසක් පොඩි ගස් වලට බඩගෑවට වැඩක් වෙන්නේ නැතිළු. ගංවතුරත්අඩි දහයක් විතර උසට නැඟලා. වතුර බහිනකල් මෙහෙම ම රෑ කාලේ ගහ උඩ ගත කරමු කියලා හිතලා හොඳ මහත අත්තක් එහෙම බදාගෙන නිදාගෙන. රෑ එළිවෙනකල් නිදා ගන්ඩ නැහැළු. මොනවද මන්දා මහා සද්දේට ගහේ අතුවල වැදෙන සද්දේට උඩ ගිහින් ඇහැරෙන්නේ.
                                        කොහොමෙන් හරි උදේ පාන්දර එළිය වැටෙද්දි බැලුවළු මොනවද මේ රෑ ජාමේ මහා සද්දෙට වැදුනේ කියලා. බැලින්නම් කකුලක් තරම් මහත ‍'කොච්චි කරල්' හුළඟට පැද්දිලා අතු වල වදින සද්දේ තමයි ඇහිලා තියෙන්නේ. ජෝසප්පු සීයා කලබල වෙලා වට පිට බැලුවළු කොහෙන්ද මෙච්චර ලොකු කොච්චි කරල් මේ ගහ උඩ කියලා.
                                        ඒ වෙ‍ලාවේ තමයි මනුස්සයා පුදුමයෙන් පුදුමයට පත්වෙලා තියෙන්නේ. ගංවතුර වෙලාවේ අමාරුවෙන් අමාරුවෙන් බඩගාලා තියෙන්නේ මහා පත 'කොච්චි ගහකට'......

ප.ලි/ මීලඟට නාග මාණික්‍යයේ කතාව...

Thursday, November 11, 2010

කුණාටුව......

                                      ලියන්ඩ නම් ගොඩක් දේවල් හිතේ තියෙනවාඒත් ඒ දේවල් හරියකට ගලපගන්ඩ තරම් හිත නිරවුල් නැහැවැඩ රාජකාරී අතරේ අමතර සමාජ සේවා වැඩපල්ලියේ වැඩවගේ දෙවල් හින්දා හැම වෙලාවෙම නොසන්සුන්වයි ඉන්ඩ වෙලා තියෙන්නේ.
                                      ඒ අතරේ පහුගිය සුමානේ පල්ලියේ දේශනාවට අහපු කතාවක් මගේ හිතට වැදුනාකතාව නම් කෙටියිඒත් බොහොම ගැඹුරු අදහසක් තියෙන්නේමෙන්න මේකයි කතාව.

                              

                                      එක දවසක් තාත්තා කෙනෙකුයි දුවෙකුයි වාහනයකින් ගමනක් යමින් හිටියා. දුව තමයි වාහනය පැදෙව්වේ. තාත්තා අනෙක් පැත්තෙන් ඉඳගෙන දුවත් එක්ක කතා බහ කරමින් ගමන් කළා. ඔවුන් මෙහෙම යමින් ඉන්නකොට හිටි හැටියේම වැස්සක් ඇද ‍හැලෙන්ඩ පටන් ගත්තා. තරමක් ඈතට පාර පේනවා. ඒත් දුවට වාහනය පදවන්න බයක් වගේ දැණුනා. දුව තාත්තට කතා කරලා ඇහුවා තාත්තේ වැස්ස පායනකල් අපි වාහනය නතර කරමුද?” කියලා. තාත්තා කිව්වා ඕනේ නැහැ. ඉස්සරහටම යංකියලා.
                                      මෙහෙම තව ටිකක් යද්දි මේ වැස්ස මහා කුණාටුවක් බවට හැරුණා. දැන් වාහනය පදවන්න තවත් අමාරුයි. පාර වැඩිය දුරකට පේන්නේ නැහැ. සමහර වාහන නතර කරලා. දුව ආයෙමත් තාත්තාගෙන් ඇහුවා තාත්තේ පාර පේනවා අඩුයි. අපි වාහනය නතර කරමුද..?” කියලා. ඒත් තාත්තාගේ පිළිතුර වුණේ නවත්තන්න එපා. ඉස්සරහටම යන්නකියලයි. දැන් මේ මහා කුණාටුව හොඳටම වැඩියි. වාහනේ තියෙන මායිමෙන් එහාට කිසිම දෙයක් පෙන්නේ නැහැ. අනිත් වාහන ඔක්කොම නතර කරලා. දැන් දුවට වාහනය පදවන එක හොඳටම අමාරුයි.
                                      දුව ආයෙම සැරයක් තාත්තාගෙන් ඇහුවා තාත්තේ මට පාර කොහොමටවත් පෙන්නේ නැහැ. අනේ අපි කුණාටුව අඩු වෙනකල් වාහනය නතර කරලා ඉමුකියලා. ඒත් තාත්තාගේ පිළිතුරේ කිසිම වෙනසක් වුණේ නැහැ. එකම පිළිතුර නවත්තන්න එපා. ඔය විදිහටම පදවන් යමුකියන එකයි. තාත්තාගේ කීමට පිටින් යන්න බැරි හින්දා දුව අමාරුවෙන් වාහනය පදවන් ඉදිරියටම ගියා. මෙහෙම සෑහෙන දුරක් ගියහම ඔවුන්ට පුළුවන් වුණා. කුණාටුව තිබුණු ප්‍රදේශය පහු කරන්ඩ. මෙන්න එතකොට තාත්තා කියනවා දුවේ... දැන් වාහනය නතර කරන්න...” කියලා.
                                      දුව පුදුමයෙනුත් පුදුමයට පත් වුණා. අර වගේ අමාරු කුණාටුව මැද්දේ වාහනය නතර කරන්න එපා කියපු  තාත්තා කුණාටුව පහු වුණාට පස්සේ වාහනය නතර කරන්න කියපු එක ඇයට ඇත්තටම ප්‍රශ්නයක් වුණා. “තාත්තේ..... දැන් කුණාටුව ඉවරයි. මට දැන් වාහනේ පදවන්න අමාරු නැහැ. අපි නතර කරන්න ඕනේ නැහැ. අපි යමු...” කියලා. ඒත් තාත්තා කිව්වා නැහැ දුව .. දැන් වාහනය නතර කරන්න. නතර කරලා එළියට බහින්නකියලා.
                                      දුව තාත්තට කීකරු වුණා. තාත්තත් වාහනයෙන් බැහැලා දුව ලඟට ආවා. ඇවිත් ඔවුන් පහුකරන් ආපු පැත්ත ආපහු පෙන්නුවා. පෙන්නලා ඇහුවා දුවේ ඔයාට මොනවද පේන්නේ...?” කියලා. “තාත්තේ මට පේ‍න්නේ අපි පහුකරපු කුණාටුව විතරයි....” කියලා දුව උත්තර දුන්නා.
                                      ඇත්ත දුවේ. ඔයාට පෙන්නේ ඒ කුණාටුව විතරයි. ඒත් ඒ කුණාටුව මැද්දේ ආපු වාහන එකක්වත් ඔයාට පේනවද..?” තාත්තාගේ ප්‍රශ්නයට දුවගේ පිළිතුර වුණේ නැහැ කියන එකයි.
                                      දුවේ, ඔයා ඒ කුණාටුව මැද්දේ වාහනේ නතර කළා නම් තාමත් ඔයා අනිත් අය වගේම ඒ මැද අතරමං වෙලා. ඒත් ඔයා ඒ කුණාටුවට මුහුණ දීලා ඒක ජයගත්ත හින්දා  තවදුරටත් ඒකෙන් ඔයාව කරදරයක් වෙන්නේ නැහැ.”
                                      තාත්තාගේ පිළිතුර හින්දා දුව ජීවිතයට අළුත් පාඩමක් ඉගෙන ගත්තා.

Wednesday, November 10, 2010

අතේ තරම



                                       අද ඔයගොල්ලො හැමෝටම දෙන්ඩ යන්නේ තවත් පුංචිම පුංචි කතාවක්. මේ දේ තම තමන්ගේ ජීවිත වලට සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද කියලා ඔයගොල්ලෝම තීරණය කරන්න.
                                       එක්තරා රටක එක්තරා ප්‍රදේශයක (කතාව ලියන්නේ සිංහලෙන් හින්දා ලංකාවේ වෙන්න ඇති) එක්තරා පෙර පාසල් යන ළමයෙක් හිටියා. අපි මේ ළමයට බිංදුකියලා තාවකාලික නමක් දාමු. බිංදු ගතිගුණ අතින් හරිම හොඳ ළමයෙක්. ටිකක් විතර ලජ්ජාශීලී විදිහට හිටපු ළමයෙක්. හැබැයි ඒ වගේම හොඳ නුවණක් තිබුණු ළමයෙක් (මං වගේම).
                                       දවසක් බිංදු එයාගේ අම්මා එක්ක ගමනක් ගියා. ඒ තමයි අම්මගේ හොඳම යෙහෙලියව මුණගැහෙන්ඩ. මේ දෙන්නා මුණගැහිලා ආගිය තොරතුරු, ඕපදූප එහෙම කතා කර කර හිටියා. අම්මාගේ යෙහෙලියට මේ හුරුබුහුටි අහිංසක බිංදු ගැන ගොඩාක් ආදරේ හිතුණා. මොකද කිසි දැඟලිල්ලක් නැති දරුවනේ. මේ යෙහෙලියට තිබුණා ලොකු රසකැවිලි කඩයක්. ඒකෙ ටොෆි චොකලට් එහෙමත් තිබුණා. ඉතින් මෙයාට හිතුණා බිංදුට මොනව හරි දෙන්න ඕන කියලා. එහෙම හිතලා ටොෆි චොකලට් තියෙන තැනට ගිහිල්ලා කිව්වා පුතේ මේවායෙන් ඔයාට ඕන දෙයක් ගන්ඩකියලා. ඒත් බිංදු කිසි දෙයක් ගත්තේ නැහැ. යාලුවා හිතුවා මේ දරුවා ලජ්ජාව හින්දා ගන්නේ නැහැ කියලා. ඒ හින්දා ආයෙම කිව්වා. “ලජ්ජා වෙන්ඩ එපා පුතේ. ඔයා ආස දෙයක් අරගන්ඩකියලා.
                                       බිංදු අම්මා දිහා බැළුවාඅම්මත් හිනා වෙලා කිව්වා පුතේ ඇන්ටි ඔයාට ගොඩක් ආදරෙයිනේ. පුතා ඕන දෙයක් ගන්ඩකියලා. ඒත් බිංදු කිසිම හැල හොල්මනක් නැතිව උන්නා. යාළුවාට හිතුණා හරිම හොඳ ළමයෙක් කියලා. එහෙම හිතලා එයාගේ අත් දෙකෙන් ලොකු ටොෆී අහුරකුයි ලොකු චොකලට් එකකුයි අරන් බින්දුට දුන්නා. එතකොට බිංදු හිනාවෙලා ඒක අරගත්තා. හැබැයි ඒවා ඔක්කොම බිංදුට අතට ගන්ඩ බැරි තරම්. ඒක හින්දා ඒ ටික අරගන්ඩ වුණේ බිංදුගේ අම්මට. කොහොමෙන් හරි යාළුවාට සමු දීලා බිංදුයි අම්මයි ආයෙම ගෙදර ආවා.
                                       එන ගමන් නිකමට වගේ අම්මා බිංදුගේ අම්මා බිංදුගෙන් ඇහුවා ඇයි පුතේ ඒ ඇන්ටි ඔච්චර කියලත් ඔයා මුකුත් අරගත්තේ නැත්තේකියලා. බිංදු දුන්නේ බොහොම අහිංසක උත්තරයක්.
                                       අම්මේ.. මං ඒකට අත දාලා මොනව හරි ගත්තනං මට හම්බවෙන්නේ මගේ අතට අල්ලන්න පුළුවන් තරම විතරනේ. එතකොට මට හම්බවෙන්නේ චුට්ටයි. ඒත් ඒ ඇන්ටිම අරන් දෙනකොට ඇන්ටිගේ අත් ගොඩක් ලොකු හින්දා මට ගොඩක් හම්බවුණා

ප.ලි / අපේ කට්ටයත් මේ වගේද දන්නේ නැහැ......

Thursday, October 28, 2010

බටගම සීරිස් (5) - 'කොස්' ගහ


                                                       මගේ බ්ලොග් සගයෝ ටික බලන්න ඇති පහුගිය දවස් ටිකේ  මොකද සද්දයක් නැතුව හිටියේ කියලා. ලිව්වේ නැති වුණාට ගොඩක් බ්ලොග් සටහන් කියෙව්වා. ඒත් කොමෙන්ට්ස් දාන්න පුළුවන් වුණේ නැහැ. හේතු නම් ගොඩයි. ඒත් ප්‍රධාන වුණේ  කාමරෙයි, වැඩපළෙයි පරිගණක වල සිංහල ලෙඩ දීපු හින්දයි, කාලය හරස් වීම හින්දයි . පහුගිය දවස් ටිකේම හුස්ම ගත්තෙත් අමාරුවෙන් මතක් කර කර. තිබුණ වැඩ වල හැටියට ඒකත් අමතක වෙන්ඩ තිබුණා. කොහොමෙන් හරි කට්ටියගෙන්ම සමාව භජනය කරලා බටගම සීරිස් එකේ තව කතාවක් ගේන්ඩ ඕන කියලා පොඩි උත්සහයක් දැම්මා.‍
                                                       කට්ටියම දන්නවා ඇති නේද 'කොස්' කියන ජාතිය. ඕන් ඉතිං වැරදියට හිතනවා. කිරන ජාතිය නෙමේ. කන ජාතිය. අද කතාව කොස් ගැනයි. ඊට කලින් කොස් ගැන සහ කොස් එක්ක මගේ තියෙන සම්බන්දෙත් පොඩ්ඩක් කියලා උන්නොත් හොඳයි කියලා හිතුණා. මළ ගෙවල් වල එහෙම හත් දොහේ දානෙට, තුන් මාසෙ දානෙට කොස් වරදින්නෙම නැහැ. ඉස්සර අපේ වත්තේ තිබුණා කොස් ගස් සෑහෙන ප්‍රමාණයක්. ගමේ හතර වටේ දානයක් තිබුණොත් අපේ ගෙදරට කොස් හොයාගෙන එන කට්ටිය ඇති පදං හිටියා. හැබැයි මේ වෙන කොට ගස් ගණන එක වෙනකල් අඩුවෙලා. කොස් වලත් මං දන්න විදිහට වර්ග දෙකක් තියෙනවා. වැල ගස් සහ වරකා ගස් කියලා. මට නං එච්චරම කොස්, එහෙම නැත්නං වැල හරි වරකා හරි කාලා පුරුද්දක් නැහැ. කාලේ සතියකට දවස් තුනක්, හතරක් තමයි කන්ඩ හම්බවෙන්නේ.
                                                       කිරි කොස් හදලා, තම්බලා එහෙමත් නැත්නම් පොල් දාලා මලවලා..... හෝව්.. හෝව්.... දැන් කට්ටියම බ්ලොග් එක කියවන එක නවත්තලා ගිහින් කට වටේට පෙරෙන කෙල ටික පිහදාගෙන එන්ඩ... .. හරි. මෙන්න ඉතුරු ටික.  ..... කොස් ඇට නම් කළුපොල් මාඵව හදනවා. ඊට කලින් ඕවා වැලි යට දාලා එහෙම තියෙනවා නේ. එතකොට තමයි රහ. කොස් ඇටේ වටේ පොත්තට අපි කියන්නේ 'සිවිඩ්ඩ' කියලා. ඒක බැදලා ගත්තහම බඩුම තමා. දොළ දුක් කට්ටියට නං ඉතිං ගැට පොළොස් වල පිහිට තමා. පැහි, පොළොස් වල රහ නං මට දැනුත් මතක් වෙනවා. (මෙදා පාර නිවාඩු ගියහම කෑවහැකිනේ).
                                                       වැල, වරකා නම් ඉතින් සුවඳ දැනෙන පරක්කුව විතරයි. වෙන කවුරුත් කන්ඩ ඉන්නවද කියලාවත් හිතන්ඩ වෙලාවක් නැහැ. වැල බාන එක ටිකක් පරිස්සමින් කරන්ඩ ඕනේගහේම ඉදිලා බාන වැල ගෙඩිය ගොඩක් රහයි. ගෝනියකුත් අරගෙන ගහට නැඟලා, වැල ගෙඩිය ගෝනිය ඇතුළට කඩලා ලණුවකින් බාන එකත් මරු වැඩක් තමයි. තැලෙන්නේ නැති වෙන්ඩ බබා වගේ බිමට ගන්ඩ ඕනා. ජීව් නං ඔය වගේ රාජකාරි වලට හොඳ පළපුරුද්දක් තියෙනවා. මොකද පොඩි කාලේ ඉඳන්ම ගස් බඩගාපු එකනේ කළේ. සුන්දර අතීතය  වෙන පෝස්ට් එකකින් දාන්නම්. වැල කන එක ලේසියි. මදුල කටට ගන්නවා විතරයි. කෙලින්ම උගුරෙන් පහළට ලිස්සලා යනවනේ. ඒත් වරකා හොඳට ලුණු ගම්මිරිස් දාලා ගත්තහම තමයි රහ. මමයි අයියයි නම් ලුණු ගම්මිරිස් හොයන්නේ නැහැ. දෙන්නත් එක්ක සාම ගිවිසුමක් ගහගෙන වරකා ගහට නැඟලා පොඩි පිහියකින් වරකා ගෙඩියේ ඉරුවක පොත්ත ගලවනවා. දෙන්නත් එක්ක ගහේ ඉඳලා පුළුවන් තරමක් කාලා (පුළුවන් තරමක් කිව්වට ගහෙන් බහින්න බැරි තරම්ම කනවා නේ) හිමින් සීරුවේ බැහැලා ගෙදර එනවා. අර ජරා වවුල්ලු ඉතුරු වෙච්ච ටිකට පොර අලල්නකොට තමයි අපි දෙන්නව ගෙදරට මාට්ටු වෙන්නේ.
                                                       මට හිතෙන්නේ කතාවේ ආරම්භය ඇතියි කියලයි. මෙන්න ඉතුරු ටික‍. මම කලින් කිව්වනේ අපේ වත්තේ ඇති තරං කොස් ගස් තිබුණා කියලා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඔය කියන කොස් ගහක් ගෙදර ඇත්තන්ට කරදරයක් වුණ වෙලාවේ. කොටින්ම කියනවා නම් ගෙදර කට්ටියට හෙවත් අපේ සීයාට වුවමනා වෙලා තිබුණා ගේ ඉස්සරහම තිබුණ කොස් ගහක් කපන්ඩ. අපේ වත්තේ තිබුණ හැම කොස් ගහක්ම මගේ කාලේදී මට බදන්න බැරි තරමට මහතයි. ඒවා තවම තිබුණා නම් දැන් වුණත් මට ඒවා බදලා අල්ලන්ට බැරි වේවි. එතකොට හිතා ගන්න පුළුවන්නේ කොස් ගහක වට ප්රමාණය. ඔය ගේ ඉස්සරහ තිබිලා තියෙන කොස් ගහත් වගේ විශාල එකක්. මේක කපන්ඩ වුවමනා වුණහම සීයා එයාගේ නොසැලෙන සගයා, ජුවන්ට කියලා තිබුණා ගස් කපන කට්ටිය එක්කන් එන්න. මේ වගේ වැඩක් කරන්ඩ බොහොම පළපුරුද්ද තියෙන, ඒවටම වෙන් වුණු කට්ටිය ඉන්නවා. මුලින්ම අතු පෑහලා දාලා ඊට පස්සේ වටේ පිටේ ගස් වලට, දේපළ වලට හානියක් නොවෙන්ඩ කඳ කුට්ටි කරලා ගහ මුලටම දාන එක අයට හොඳට කරන්න පුළුවන්. ඊට පස්සේ මේ කුට්ටි ටික කරත්තෙක දාගෙන ලී පට්ටලේට දානවා. ලී පට්ටලේ කියන්නේ මේ ලී ඉරන තැන. දැන් කාලේ වගේ ලී මෝල් වල මැෂින් තිබුණේ නැති හින්දා ලී ඉරුවේ මිනිස්සු අඩුවෙන් ගැවසෙන පැත්තක අට්ටාලයක් ගහලා, කඳ ඒක උඩ දාලා දෙන්නෙක් එක්ක (එක්කෙනෙක් අට්ටාලේ උඩ, අනෙකා යට) බන්ඩි කියතකින් (මීටර් දෙකක් විතර දිග කියතක්. මේකේ දෙපැත්තෙන් දෙන්නෙක්ට අත් දෙකෙන්ම අල්ලන්ඩ පුළුවන්) මේ කඳ පලු කරන එකයි. සුනිල් එදිරිහිංහ මහත්තයත් යාළුවත් එක්ක එක කෙල්ලෙක්ට ලව් කෙරුවෙත් මේ වගේ ලී ඉරන්ඩ ගිහින් තමයි. 'පලංචියේ ලී ඉරුවේ' සිංදුවත් වැඩක් පළක් නැති වෙලාවකට අහන්නකෝ.
                                                       මේ කතාවේ හැටියට කොස් ගහ කපන වැඩේට අදාළ මිනිස්සු හොයන්ඩ ජුවන්ට පුළුවන් වෙලා නැහැ. මොකද කට්ටිය වෙන පිට ගමක වැඩ වගයකට ගිහින් හිටපු හින්දා. ඒත් සීයා බාර දීපු වැඩක් අතඇරලා දාන්නත් ජුවන්ට පුළුවන් කමක් නැහැනේ. මිනිහා මොකද කළේ තමන්ගේ තව ගජයෝ ටිකක් එක්කගෙන ආව වැඩේ කරන්ඩ කියලා. අයට නං මේ වැඩේ ගැන එච්චර පළපුරුද්දක් තිබිලා නැහැ. ඒත් රා කට්ටක් දෙකක් ගහ ගත්තහම ඕන වැඩක් කරන්ඩ පුළුවන් කියලා අපේ කට්ටියට හිතෙනවා නේ. දැන් කාලේ නම් ඉතින් ඔහොම හිතන්ඩ බොන්නේ රානෙමෙයිනේ. කොච්චර ජාති තියෙනවද නේ..? එදා කට්ටියම උදෙන්ම සෙට් වෙලා රා කලයක් එහෙම හිස් කරලා දෙයියනේ කියලා වැඩේට බැහැලා. එකෙක් නැඟලා ගහේ අතු ටික කපලා බිමට දානවළු. තව කට්ටියක් කපලා දාලා තියෙන අතු ටික පාහිනවළු. තව කට්ටියක් ගහ මුල හාරනවළු. එහෙම කිව්වට බය වෙන්ඩ එපා. කොස් ගස් වටේ හෑරුවා කියලා ගහ පෙරලෙන්නේ නැහැ. මුදුන් මුල කපන කල් ගහ කෙලින්.
                                                       අතු ටික කපලා ඉවර වුණාට පස්සේ කට්ටිය සාකච්ඡා කෙරුවළු කඳ පෙරලන්නේ කොහොමද කියලා. වැඩේ ටිකක් බරපතලයි. කඳ කුට්ටි කරලා දාන්ඩ කිසිම කෙනෙකුට තේරුමක් නැහැ. හින්දා කට්ටියම ඒකමතිකව තීරණය කෙරුවා කඳ එහෙම පිටින්ම බිමට පෙරලන්ඩ. එකෙක් ගියාළු නැව් කඹයක් අරන් එන්ඩ. නැව් කඹය කියන්නේ අතක් තරම් මහත කඹයකට. ඒකට ඔය නම වැටිලා තියෙන්නේ නැව් බඳින්ඩ ගන්න කඹ වගේම මහත හින්දා. කඹෙත් අරගෙන ආවට පස්සේ එකෙක් නැඟලා අතු නැති ඳේ මුදුන හරියෙන් කඹෙත් ගැට ගැහුව. දැන් ටිකක් හවස් වේගෙනත් එනව. කට්ටිය ෆිට් එකට බීපු රා ටික හින්දා වැඩේ ටිකක් පරක්කු වෙලා. එහෙම කියලා කඳ රෑ එළි වෙනකල් තියන්ඩත් බැහැනේ. දැන් ඉතින් රාජකාරිය මුල් ටික කපන එකයි. හොඳ පොරෝ කාරයෝ දෙන්නෙක් වැඩේට සෙට් වුණා. දෙන්නෙක් මුල් කපනවා. අනිත් කට්ටිය කඹේට සෙට් වෙලා.
                                                       මේ වෙලාවේ ලී ටික පටවන්ඩ ගෙනත් තියපු කරත්තේ ගොනාවත් බැඳලා පැත්තක තියලා තිබුණා. ගොනත් කාලෙකට පස්සේ ලැබුණු හොඳ ආහාර වේලක් කියලා කොස් පොළොස් වලට වැඩේ දෙනවා. කතාවේ කතා නායකයා වෙච්ච ජුවන් මේ වෙලාවේ හොඳ පදමට රා වලින් සප්පායම් වෙලා කරත්තේ උඩට වෙලා තැපලා ඉන්නවා. මේ වෙද්දි කොස් ගහත් බිමට දොයි කියන්ඩ කිට්ටු වෙලා තිබුණේ. ජුවන් හදිස්සියේම ඇහැරිලා බැළුවා. කොස් ගහ වැටෙන්ඩත් කිට්ටුයි. හොඳටම රෑ වේගෙනත් එනවා. කඳ වැටුණට පස්සේ කුට්ටි කරලා කරත්තෙට පටවන්ඩ ගියොත් එළි වෙලා තමයි වැඩේ ඉවර කරන්ඩ වෙන්නේ. මෙහෙම හිතනකොමට 'චර .. චර...' සද්දයක් එක්ක ගහ බිමට එන්ඩ පටන් ගත්ත. ජුවන් අනෙක් උන්ට කෑ ගහලා කිව්ව "දැන් රෑ වෙලා හින්දා ආයේ කුට්ටි කරන්ඩයි, කරත්තෙට පටවන්ඩයි වෙලා නැහැ. කරත්තෙටම කපපල්ලා. එහෙම්මම පට්ටලේට දැක්කුවහැකිනේ" කියලා.
                                                       අනිත් මිනිස්සුන්ට මුකුත් කියන්ඩ වෙලාවක් නැති වෙලා. ජුවන් ගත්තළු කරත්තේ තෝන් ලණුව. දැක්කුවළු ගොනාවයි කරත්තෙයි ගහ යටට. ඇල්ලුවළු කරත්තේ පෙරලෙන කොස් ගහට. 'චර.... චර...' සද්දේ 'ජර.. බර..' ගාන සද්දෙකට හැරුනළු. 'ජර... බර..' සද්දේ ටික ටික වැඩි වෙලා 'දඩ බඩාං' ගාන කොට අස්සෙන් "උම්බෑ....හ්" කියලා මහා සද්දෙට ලතෝනියක් ඇහිලා පොඩි කෙඳිරිල්ලකින් ඉවර වුණාළු.
/ලි.: කොහොමෙන් හරි ගහ බිමට පාත් වෙන වෙලාවේ කවුරු හරි එකෙක් පැනලා ජුවන්ව පැත්තකට ඇදලා තියෙනවා. එහෙම නොවුණා නම් ඉතුරු කොස් ගස් ටිකෙන් කොස් කඩන්ඩ වෙනවා මිනිහගේ දානෙට දෙන්ඩ.

(පින්තූරෙ නම් ගැලෙපන විදිහට හදා ගන්ඩ බැරිවුණා. ඔෆිස් ඒකෙ අන්තිම වෙලාවේ තමයි මේ ක හදලා ෙපා්ස්ට් කරන්ෙන්)

පපලි/ අද කාමරේ පරිගණකයේ නං සිංහල ටික හදා ගත්තා..... මා ගැන හොයපු බලපු උදවියට (පිස්සා, වත්,....) බොහොමත් ස්තූතියි. කලබල වෙන්‍ඩ එපා. දැන් ඉතිං දිගටම බ්ලොග් එකේ තමයි...





යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails