ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Wednesday, February 23, 2011

නොමැරී බේරුණු මෝටර් සයිකල් පැදිල්ල.......


ඊයේ අත්‍යාවශ්‍ය වැඩ ගොඩකට සිටි එකට ගිය ගමන් යාළුවෙක්වත් මුණ ගැහෙන්ඩ ගියා. තීරණය කර ගත්ත වැඩ ඔක්කොම ටික පිළිවෙලකට කරගන්න ඕනෙ හින්දා මුල්ම වැඩේ පටන් ගත්ත තැන ඉඳලා යාළුවාවව මුණ ගැහෙන තැන වෙනකල් පයින්මයි ගියේ. ගමනේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 8 ක් විතර වුණා. ගොඩක් වෙලාවට මගේ කාල ගණනය 90% කට වඩා හරියන හින්දා හවස 5.30 ට පටන් අරන් 8.30 වෙද්දි යාළුවාගේ ඔෆිස් එක ලඟ. මිනිහා තව දවස් දෙක තුනකින් ගම රට බලා යන්ඩයි ඉන්නේ. ඒ හින්දා දෙන්නත් එක්ක කොත්තු පාරක් එහෙම දාලා, කයියක් ගහලා ආගිය තොරතුරු.. ඕපදූප.. එහෙම කියවලා ආ‍වා.
ඔය වෙලාවේ අහම්බෙන් වගේ අපිට සෙට් වුණා යාළුවගේ තවත් යාළුවෙක් (දැනට අපි නමක් දා ගම්මු කමල් කියලා). දෙන්නත් එක්කම බස් නැවතුමට ආවා මාව ඇරලවන්න. ඔය බස් නැවතුම තියෙන්නේ ප්‍රධාන හතරමං හන්දියක් කිට්ටුව. ඔතන සංඥා ලාම්පු එහෙමත් තියෙනවා (ඒවා වලට සාමාන්‍යයෙන් කියන්නේ ‘සිග්නල් ලයිට්’ කියලා. මේ රටේ සිග්නල් ලයිට් ලඟ සාමාන්‍යයෙන් දකින්ඩ පුළුවන් කට්ටියක් තමයි ‘රේසින් බයිසිකල් කාරයෝ’ (සිංහල වචනේ මතක් වෙන්නේ නෑ).


සංඥා වලට වාහන නතර ‍කළහම වාහන පේලියේ ඉස්සරහටම ගිහින් කොල පාට පත්තුවුණු ගමන් මහා සද්දෙන් හිතන්ඩත් කලින් අතුරුදහන් වෙන කට්ටියක්. ඒ වගේම රජ වැඩ කාරයෝ. සිග්නල් එකෙන් ඉස්සරහට අද්දන්නේ තනි රෝදෙන්. ඊයෙත් ඔය වගේ දෙන්නෙක් හිටියා. උන් දෙන්නා වැඩ දානවා දැකලා කමල් කියපු කතාවක් මේ.


කමල් ලංකාවේ ඉන්න කාලේ දවසක් සවස අන්දකාර වැටෙන කිට්ටුව ‍‍සෙල්ලම් කරලා එන ගමන් මෝටර් බයිසිකලය කඩයක් ලඟින් නවත්තලා බීම එකක් බොන්ඩ. ඔය පැත්තෙත් ඉන්නවළු මේ විදිහට වැඩ දාන පොරක්. මිනිහගේ වැඩේ හවස් වරුවට තමුන්ගේ අධි වේගී බයිසිකල් එකත් අරන් පාර පුරා වැඩ දදා (තනියම) රේස් යන එකළු. මේ කියන දවසෙත් මේකා ඔතැනින් බොහොම සද්දෙට හයියෙන් ගිහින් තියෙනවා. ‍කොච්චර වැඩ කාරයෙක් වුණත් වරදින්ඩ මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ නොවැ..... (ඔච්චරම වැඩ දන්න මාරයාටත් වැරදුනු එකේ..)


පෑ......ං ගාගෙන ගිය සද්දේ ‘දඩිං....’ ගාලා සද්දෙකුත් එක්ක කමල් ඉන් තැනට මීටර 50 ක් විතර එහායින් ඇහුනළු. හිතා ගන්ඩ පුළුවන්නේ වෙච්චි දේ... ඒත් එක්කම  ‘අම්මෝ.... බෑ..... අම්මෝ....... බෑ.......’ කියලා කෙඳිරියත් ඇහිලා. මේක ඇහුනා විතරයි කමල්ටයි, එයත් එක්ක හිටපු යාළුවන්ටයි හිනාව නවත්ත ගන්ට බැරිවුණාළු. වැටුණු එකාට උදව් කරන්ඩ යන්ඩ හැදුවත් හිනාව නවතින්නේ නැති නිසා යන්ඩ බැරිළු.
ඔන්න ඒ ගමන කඩේ මුදලාලිට මල පැනලා “වේ...... පුතෝ, ගිහින් බලාපිය අර යකාට මොනව වෙලාද කියලා..” කෑ ගහලා. එතකොට තමයි මුන්ටත් හරි සිහිය ඇවිත් තියෙන්නේ. දුවලා ගිහින් බලද්දි වැඩ කාරයා කෙඳිරියක් එක්ක පතබෑවිලා. අතකුයි කකුලකුයි කඩාගෙන. පස්සේ බැලින්නම් වෙලා තියෙන්නේ මිනිහා ඇරු සොයිසා කියලා යද්දි වෙන වාහනයක් හරහට දාලා..... මේක අහපුවම මටත් මගේ අවුරුද්දක් විතර පරණ සිද්ධියක් මතක් වුණා....
.........................................................................

මටත් ටිකක් විතර ඔය උණේ තිබුණා. හැබැයි ගොඩාක් වෙලාවට කාටවත් වැඩ පෙන්නන්ඩ නෙමෙයි. බොහොම අඩු කාලයකින් වැඩ ගොඩක් කර ගන්ඩ තිබුණ වුවමනාවට. ඉඳ හිට වැඩ පෙන්නන්ඩත් පුළුවන්කම ලැබුණා. මගේ ලඟ තිබුණු ඩිස්කවරි 135 එකක්. ඒකෙන් පල්සර් 180 ත් එක්ක සමාන වේගෙන් එලවපු කාලයකුත් තිබුණා. මේ දවස්වල මං ලංකාවේ නැති හින්දා ඒකෙ අයිතිය මගේ අයියා සතුයි. කොච්චර වේගෙන් එලෙව්වත් ඒ අවශ්‍ය වෙලාවට විතරයි. නැත්නම් 60 - 70 තමයි සාමාන්‍ය වේගය. රෑට නැත්නම් පාන්දරට කොහෙ හරි යනවා නම් 80 – 100 අතර තමයි. මට මතක විදිහට මගේ හොඳම වේගය කිලෝ 6 ක විතර බරක් කරේ දාගෙන පාන්දර 5.00 ට පානදුරෙන් පිටත් වෙලා 5.40 ට ජා-ඇල ට ආපු ලමන තමයි........ කොහොම ගියත් මේ වෙනකල් වැටිලා නම් නැහැ. ඒත් එක දවසක් මැරෙන්ඩ ඔන්න මෙන්න තිබිලා බේරුණා. එදා හැප්පුනා නම් මායි, මගේ නෝනයි දෙන්නම ඉවරයි. මෙන්න ‍ඒ කතාව....
..............................................................................

දිනය : 2010 ජනවාරි 20, හරියටම මගේ උපන්දිනේ දවසේ.
ස්ථානය : මහබාගේ හන්දිය

මේ වෙනකොට බැඳලා මාසයයි, දවස් හතරයි. මගේ පදිංචිය වෙනස් කරලා පානදුරේට සැපත් වෙලා හිටියේ. ජනවාරි 20 කඳානේ පල්ලියේ මංගල්ලේ. පොඩි කාලේ ඉඳන්ම කඳානේ පල්ලියේ මංගල්ලෙයි මගේ උපන් දිනෙයි සැමරුවේ කඳානේ අපේ නැන්දලාගේ ගෙදර. මෙදා පාරත් ඒ ගමන යන්ඩ ඕනා හින්දා නෝනගේ අම්මයි තාත්තයි වෑන් එකේ යවලා අපි දෙන්නා මගේ ඩිස්කවරි එකේ ගියා. කොහොමත් මගේ නෝනා දන්නවා මම හයියෙන් යන්ඩ රුසියා කියලා. කැළණි පාලම පහු කරනවත් එක්කම වගේ වම් පැත්තට සිග්නල් දා ගත්තු බයිසිකලේක කො‍ල්ලෝ දෙන්නෙක් එනවා. මමත් දවල් වෙලා හින්දා පරක්කු වෙන එක වලක්වන්ඩ ටිකක් හයියෙන් ගියා. මුන් දෙන්නත් සිග්නල් ලයිට් නිවන්ඩත් මතක නැතුව මාත් එක්ක හරි හරියට එන්ඩ ගත්තා.


නෝනත් පිටිපස්සේ හින්දා වැඩක් දාන්ඩමයි හිතුණේ. ඉතිං මාත් අරුන් දෙන්නට යන්ඩ ඇරලා ආපහු ඉස්සර කරනවා. ආයෙම වේගේ අඩු කරලා උන් ඉස්සර වුණාට පස්සේ පිටි පස්සෙන් පන්නනවා. මේ ඔක්කොම කරන්නේ මහා වාහන පෝලිමක් මැද්දේ. නෝනට තේරුණා මේක. එක පාරක් කිව්වා “සුදූ.. ඔය සෙල්ලම නවත්තන්ඩ” කියලා. මමත් නෑහුණු ගානට මෙහෙම යනවා. නෝනා දැන ගත්තා මේ යකාට කිව්වට අහන එකෙක් නෙමෙයි කියලා. ඒ ගමන එයා මාව තව තදින් බදලා අල්ලා ගත්තා.


මට තේරුණා පර්මිෂන් හම්බවුණා කියලා. මටත් මොකෝ කියලා අරුන් දෙන්නට ඕන කෙහෙම්මලක් කරගනින් කියලා වේගේ වැඩි කළා. මේ වෙනකොට මහබාගේ හන්දියටඔන්න මෙන්න කියලා තිබුණේ. පාරේ මැද පේලියේ වාහන තිබුණේ නැහැ. ඒ හින්දා වේගේ වැඩි කරන ගමන් එහෙමම ආවා. මට මතක විදිහට මීටරේ 70 ට එහා. හරියටම මහබාගේ හන්දියේදී පාරේ අයිනේ ආපු තවත් ‍මෝටර් බයිසිකල් කාරයෙක් පාර හරහට දාලා නැවැත්තුවා. ඒකේ උන්නෙත් තරුණ ජෝඩුවක්. ඒ වෙනකොට බයිසිකල් දෙක අතර දුර මීටර් 10 – 15 ක් විතර වෙන්ඩ ඇති. හිතන්ඩවත් කාලයක් තිබුණේ නැහැ. එහෙමම කෙලින්වෙලා  හිටගෙන ඉස්සරහයි පිටිපස්සෙයි ‍තිරිංග (බ්‍රේක්) එක පාරම ඇල්ලුවා. සාමාන්‍යයෙන් ‍තිරිංග දෙකම සමානව වැදුණොත් බයිසිකලේ පෙරලෙන්නේ නැහැ කියලයි අහලා තියෙන්නේ. (කවුරු හරි හරියටම දන්නවා නම් කොමෙන්ට් කරන්ඩ. මාරයාගෙන් අහලා වැඩක් නැහැ. ඌත් ඊයේ පෙරේදා වැටුණු එකානේ..) මං හිතන්නේ මට තත්පරේකින් දශම ගානක වෙනස්කමක් වෙන්ඩ ඇති.... බයිසිකලේ ලිස්සලා ගිහින් පිටි පස්ස දෙපැත්තට පැද්දිලා හරියටම අර බයිසිකලේට අඟල් දෙක තුනක් තියෙද්දි නතර වුණා.


මගේ නෝනගේ තියෙන නුවණක්කාර කමට එයත් කලබලයක් නැතුව මාව එහෙමම තදකරලා අල්ලන් හිටියා. බයිසිකලේ නැවතුණු ගමන් කකුල් දෙක බිම තියලා පිටිපස්ස හැරිලා නෝනගේ ලස්සන දිලිසෙන මූණ දිහා බලලා තමයි මොනවද වුණේ කියලා කල්පනා කෙරුවේ. පොඩ්ඩක් විතර තරහා ගිය පාටක් පෙනුණට එච්චරම අවුලක් වුණේ නැහැ. පාරේ ටයර් පාර එහෙම ලස්සනට හිටලා.


වටේ පිටේ කට්ටියත් මුකුත් හිතාගන්නඩ බැරුවද කොහෙද පුදුමෙන් වගේ අපි දිහා බලන් ඉන්නවා. ඒ අස්සේ තර‍ඟෙට ආපු එකාත් කෝචෝක් එකට බලාගෙන ඉස්සර කරා. කොච්චර චණ්ඩියෙක් වගේ ඉන්ඩ හැදුවත් ‍වුණු දේ හිතාගන්ඩ බැරුව පපුව දෙතුන් ගුණයක් වේගෙන් හෙල්ලෙනවා. මොනවා කරන්ඩද..? මේ යකා පාර මැද්දට දාලා නවත්තනවයි කියලා මං දන්නවයෑ...? “හ්ම්.... යමු...” කියලා මට නිකන් හීනෙන් වගේ පිටිපස්සෙන් ඇහුණා. ඒ ගමන වැඩිය හිතන්ඩ ගියේ නැහැ. ගියර් එක මාරු කරන් බයිසිකලේ ඉස්සරහට ඇද්දුවා.


දැන් ආයෙම ලෙඩක් හදවත ගැහෙනවා වැඩි වෙනකොට බයිසිකලේ වේගේ ඉබේම වැඩි වෙනවා. ඊට හපන් අර කොචෝක් දාගෙන ගිය කො‍ල්ලෝ දෙන්නා දකිද්දි තවත් වේගේ වැඩි වෙනවා. උන් දෙන්නා තාමත් සිග්නල් ලයිට් දාගෙන. කොහොමටත් පරදින්ඩ තියෙන අකමැත්ත හින්දම උන්ට ටටා බායි කියලා අද්දපු ගමන උන් කොහේද කියලා හොයා ගන්ඩ වුණේ නැහැ. එතනින් කඳානේ පල්ලිය පරට දාලා නැන්දලගේ ගේ ලඟින් නතර කළා.


බැණුම් අහන්ඩත් බැරි හින්දා නෝනගෙන් හිමිහිට ඇහුවා ‘බය වුණාද’ කියලා. නෝනත් “අපෝ නැහැ. මැරුණනම් අපි දෙන්නම එකටනේ” කියලා කියපු හින්දා යාන්තම් හිතට සැනසිල්ලක් ආවා. හැබැයි ඒ වෙලාවේ මොකක් හරි අත්වැරදීමක් වුණා නම් අනිවාර්යයෙන්ම දෙන්නම ඉවරයි. (මරණ දැන්වීමේ උපත විපත දෙකටම එකම දවස දානකොට කොහොමද..) කොහොමෙන් හරි ඉන් පස්සේ මම කොහේ හරි බයිසිකලෙන් ගමනක් යනවා නම් ‘මළත් දෙන්නා එකට’ කියලා නෝනා බයිසිකලේ පිටිපස්සෙන් නඟිනවා.

ප.ලි /
මං ආසම පාර තමයි ගාළු පාරේ මොරටුව ඉඳන් පානදුර පාලම ලඟට වෙනකල්. මිනිස්සු මෝඩයෝ වගේ පාර පනින එක පොඩි බයකට තිබුණත් 100 ට එළවන්ඩ පුළුවන් පාරක්. මෙදා පාර නම් නිවාඩුවට ගිහින් නම් ආසාවට එකම එක පාරක් කිලෝ මීටරයක් විතර දුර ඩිස්කවරිය පැද්දා. මොනව කරන්නද... දැන් ඉතින් රෝද හතරක් පදවන්ඩ වෙලානේ....

12 comments:

  1. හා හා හරි අපි කුජීතයි...
    ජීව් අයියා වැඩකරු...

    අම්මපා උඔට හම්බු වෙලා තියෙන බාරියාවනං රත්තරං වටිනවා..

    මටත් දවසක් ඔය මගේ පරණ පුරාණයත් දාගෙන බයික් එකේ යන කොට ඕකම උනා...
    ත්‍රිවීල් කාරයෙක් දකුණු පැත්තෙ කොට කොට ගිහිල්ලා කැපුවෙ නැද්ද වම්පැත්තේ අතුරුපාරකට..සිග්නල්වත් නැතිව...
    කරන්න දෙයක් නැහැ...
    මං සාමාන්‍යයෙන් හදිසියකදී බ්රේක් ගහන්න කැමති නැහැ.ඒක භයානකයි.පෙරේදා උනෙත් අනිත් උං ගැන බලන්න ගිහිං ගහපු බ්රේක් පාර හින්දා මට කෙළවිච්ච එක..

    පුළුවන් තරං බලන්නේ එන වේගෙටම දාන්න පුළුවන් කෙස් ගහක හරි ඉඩෙන් බයික් එක නවලා ගන්න එක...එදත් කොහොම හරි ඒකම තමයි උනේ..ඒත් පාරේ වම් පැත්තට වංගුව හින්දා ඉස්සරහා වත්තක් පැත්තට කඩාගෙන ගියේ..කොහොම හරි අතක් පයක් නොකැඩි බේරුනා...ඒත් අර ත්‍රිවීල් එකේ යාන්තමට මගේ අත ගෑවෙලා හීරුනා.ඒක ඒ හැටි දෙයක් නෙවී...දන්නෙත් හැතැම්ම දෙක තුනක් ගියාට පස්සේ...
    මං මුළින්ම කලේ ආපහු හැරිලා මූණ දිහා බලපු එක...
    කිසි අවුලක් නැහැ..හිනා වෙවී ඉන්නවා...
    අපි යමු...අම්මේ මට දැනුන සනීපේ...ඔන්න ඒ වෙනකල් කවදාවත් අසාවටවත් බයික් එකේ යද්දී බදාගෙන යන්නේ නැති කෙනා මාව අල්ලලා බදාගෙන හිනා වෙවී යනවා...
    ඇත්තටම බං ඒ වෙලේ බැන්නනං මං සෑහෙන්න අප්සෙට් යනවා..ඒ අතින්නං උ‍ඹේ බාරියාවත් රත්තරං වටිනවා...

    ReplyDelete
  2. පුදුම වැඩ නේ අයියටත් වෙලා තියෙන්නේ.
    කදාන සෙබස්තියන් දෙව් මැදුරේ මංගල්ලේ ත්‍යියෙන්නේ ජනවාරි විසි එක වගේ ලාවට මතකයි. ඒ කියන්නේ අයියා ඉපදුනේත් ජනවාරි විසි එක ද ?

    ReplyDelete
  3. ඔයින් ගියා මැදෑ ඉකේයියා නොවී......

    ReplyDelete
  4. අඩේ මටත් ඕකම උනා වංගුවකදි. මටනම් ඉතින් බයික් එකේ දාගෙන යන්ට කවුරුවත් නෑ. මම තනියම තමයි පැදන් ගියේ. ගියපු වේගෙන්ම වංගුව ගන්න හැදුවා වැඩ කාරයා වගේ මෙන්න පාර මැද්දන් පිඹගෙන බස් එකක් එනවා! බ්‍රේක් ගැහුව පාර මටත් වුනේ ජීව් අයියාට වුන වැඩේමයි.
    මම අද වෙනකම් කාටවත් කිව්වේ නෑ. ගෙදර කාට හරි කිව්වානම් තාත්තා බයික් එක විකුණනවා පහු වෙනිදා. තාත්තගේ බයික් එක වුනාට මමනේ ඒකෙන් වැඩිපුරම රවුම් ගහන්නේ :D

    ReplyDelete
  5. නෝනා මහත්තයාගෙන් හම්බෙන්ට තිබුනෙ හොඳවැයින් ගුටියක් රේස් අමතක වෙන්ට

    ReplyDelete
  6. @ මාරයා,
    ඇත්තටම මාරයෝ මෙහෙම ගෑණු ලබන්ඩ පින් කරන්ඩ ඕන... හික් හික්....

    @ මධුරංග,
    ජනවාරි 20 මලේ....හරියටම මංගල්ලේ දවසේ...

    @ රත්ගමයා..
    ඉකේයියා වුණා නං බ්ලොග් ලියලත් ඉවරයිනේ කුප්පයෝ....

    @ පූසා,
    කියන්නේ කොහොමද බං කටක් ඇරලා. මේකත් දැනගෙන හිටියේ මමයි නෝනයි විතරයි... දැන් අවුරුද්දක් පහුවෙලා හන්දා බ්ලොග් එකේ දැම්මේ....ගෙවල් වලින් දන්නවා නම් බයිසිකලේට නඟිනන්වත් දෙන්නෙ නෑ...

    @ පිණිබිඳු,
    පිස්සුද...? මගේ නෝනා හරි හොඳයි නෙව... හික්...

    ReplyDelete
  7. එක පාරම බ්‍රේක් දෙකම ගහන්න එපා පිටුපස එකෙන් පටන් අරන් ඉස්සරහ එකට බර දෙන්න. නැතිනම් පසුපස උඩ ගිහින් රවුමක් කැරකෙන්න පුළුවන්. මට එහෙම දෙයක් උනා. පසුපස රෝදේ අඩියකට වඩා ඉස්සිලා යන්තම් නැවතුනේ. දන්නවාද ඒවෙලාවේ ස්පීඩ් එක 110යි. ඩිස්කවර් එකේම තමා. අම්මෝ එදානම් බයඋන තරමක්. අයින් කරන් විනාඩි 5ක් ඉඳලයි ආයෙම ගියේ. හැබැයි ඉතින් තනියම තමා

    ReplyDelete
  8. @ ප්‍රියන්ත,
    බොහොම ස්තූතියි ලොක්කා සිස්ටම් එක කිව්වට... මං හිතන්නේ මගේ නෝනා හිටපු හින්දද කොහෙද පිටිපස්ස උඩ නොගියේ...

    ReplyDelete
  9. You should feel Ashamed... Reckless motor cycle riders are the biggest risk for everybody using the roads in srilanka....

    ReplyDelete
  10. ලාංකාවේ නව වාස්තු වේදය සහ ගොඩනැගිලි පිලිබඳ බ්ලොග් සටහනක්
    http://sevenby3.blogspot.com/

    ReplyDelete
  11. බයිසිකල් ගැන නං කතා කරන්න එපා ...........

    ReplyDelete
  12. මොර‍ටුවේ ඉදන් පානදුරට වෙනකම් පාරනම් මරු මමත් ගිහින් තියෙනවා 120 විතර pulsar 200 එකක පාර දෙපැත්තේ ඉන්න මිනිස්සු ගැනනම් කියලා වැඩක් නෑ...

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails