ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Thursday, October 28, 2010

බටගම සීරිස් (5) - 'කොස්' ගහ


                                                       මගේ බ්ලොග් සගයෝ ටික බලන්න ඇති පහුගිය දවස් ටිකේ  මොකද සද්දයක් නැතුව හිටියේ කියලා. ලිව්වේ නැති වුණාට ගොඩක් බ්ලොග් සටහන් කියෙව්වා. ඒත් කොමෙන්ට්ස් දාන්න පුළුවන් වුණේ නැහැ. හේතු නම් ගොඩයි. ඒත් ප්‍රධාන වුණේ  කාමරෙයි, වැඩපළෙයි පරිගණක වල සිංහල ලෙඩ දීපු හින්දයි, කාලය හරස් වීම හින්දයි . පහුගිය දවස් ටිකේම හුස්ම ගත්තෙත් අමාරුවෙන් මතක් කර කර. තිබුණ වැඩ වල හැටියට ඒකත් අමතක වෙන්ඩ තිබුණා. කොහොමෙන් හරි කට්ටියගෙන්ම සමාව භජනය කරලා බටගම සීරිස් එකේ තව කතාවක් ගේන්ඩ ඕන කියලා පොඩි උත්සහයක් දැම්මා.‍
                                                       කට්ටියම දන්නවා ඇති නේද 'කොස්' කියන ජාතිය. ඕන් ඉතිං වැරදියට හිතනවා. කිරන ජාතිය නෙමේ. කන ජාතිය. අද කතාව කොස් ගැනයි. ඊට කලින් කොස් ගැන සහ කොස් එක්ක මගේ තියෙන සම්බන්දෙත් පොඩ්ඩක් කියලා උන්නොත් හොඳයි කියලා හිතුණා. මළ ගෙවල් වල එහෙම හත් දොහේ දානෙට, තුන් මාසෙ දානෙට කොස් වරදින්නෙම නැහැ. ඉස්සර අපේ වත්තේ තිබුණා කොස් ගස් සෑහෙන ප්‍රමාණයක්. ගමේ හතර වටේ දානයක් තිබුණොත් අපේ ගෙදරට කොස් හොයාගෙන එන කට්ටිය ඇති පදං හිටියා. හැබැයි මේ වෙන කොට ගස් ගණන එක වෙනකල් අඩුවෙලා. කොස් වලත් මං දන්න විදිහට වර්ග දෙකක් තියෙනවා. වැල ගස් සහ වරකා ගස් කියලා. මට නං එච්චරම කොස්, එහෙම නැත්නං වැල හරි වරකා හරි කාලා පුරුද්දක් නැහැ. කාලේ සතියකට දවස් තුනක්, හතරක් තමයි කන්ඩ හම්බවෙන්නේ.
                                                       කිරි කොස් හදලා, තම්බලා එහෙමත් නැත්නම් පොල් දාලා මලවලා..... හෝව්.. හෝව්.... දැන් කට්ටියම බ්ලොග් එක කියවන එක නවත්තලා ගිහින් කට වටේට පෙරෙන කෙල ටික පිහදාගෙන එන්ඩ... .. හරි. මෙන්න ඉතුරු ටික.  ..... කොස් ඇට නම් කළුපොල් මාඵව හදනවා. ඊට කලින් ඕවා වැලි යට දාලා එහෙම තියෙනවා නේ. එතකොට තමයි රහ. කොස් ඇටේ වටේ පොත්තට අපි කියන්නේ 'සිවිඩ්ඩ' කියලා. ඒක බැදලා ගත්තහම බඩුම තමා. දොළ දුක් කට්ටියට නං ඉතිං ගැට පොළොස් වල පිහිට තමා. පැහි, පොළොස් වල රහ නං මට දැනුත් මතක් වෙනවා. (මෙදා පාර නිවාඩු ගියහම කෑවහැකිනේ).
                                                       වැල, වරකා නම් ඉතින් සුවඳ දැනෙන පරක්කුව විතරයි. වෙන කවුරුත් කන්ඩ ඉන්නවද කියලාවත් හිතන්ඩ වෙලාවක් නැහැ. වැල බාන එක ටිකක් පරිස්සමින් කරන්ඩ ඕනේගහේම ඉදිලා බාන වැල ගෙඩිය ගොඩක් රහයි. ගෝනියකුත් අරගෙන ගහට නැඟලා, වැල ගෙඩිය ගෝනිය ඇතුළට කඩලා ලණුවකින් බාන එකත් මරු වැඩක් තමයි. තැලෙන්නේ නැති වෙන්ඩ බබා වගේ බිමට ගන්ඩ ඕනා. ජීව් නං ඔය වගේ රාජකාරි වලට හොඳ පළපුරුද්දක් තියෙනවා. මොකද පොඩි කාලේ ඉඳන්ම ගස් බඩගාපු එකනේ කළේ. සුන්දර අතීතය  වෙන පෝස්ට් එකකින් දාන්නම්. වැල කන එක ලේසියි. මදුල කටට ගන්නවා විතරයි. කෙලින්ම උගුරෙන් පහළට ලිස්සලා යනවනේ. ඒත් වරකා හොඳට ලුණු ගම්මිරිස් දාලා ගත්තහම තමයි රහ. මමයි අයියයි නම් ලුණු ගම්මිරිස් හොයන්නේ නැහැ. දෙන්නත් එක්ක සාම ගිවිසුමක් ගහගෙන වරකා ගහට නැඟලා පොඩි පිහියකින් වරකා ගෙඩියේ ඉරුවක පොත්ත ගලවනවා. දෙන්නත් එක්ක ගහේ ඉඳලා පුළුවන් තරමක් කාලා (පුළුවන් තරමක් කිව්වට ගහෙන් බහින්න බැරි තරම්ම කනවා නේ) හිමින් සීරුවේ බැහැලා ගෙදර එනවා. අර ජරා වවුල්ලු ඉතුරු වෙච්ච ටිකට පොර අලල්නකොට තමයි අපි දෙන්නව ගෙදරට මාට්ටු වෙන්නේ.
                                                       මට හිතෙන්නේ කතාවේ ආරම්භය ඇතියි කියලයි. මෙන්න ඉතුරු ටික‍. මම කලින් කිව්වනේ අපේ වත්තේ ඇති තරං කොස් ගස් තිබුණා කියලා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඔය කියන කොස් ගහක් ගෙදර ඇත්තන්ට කරදරයක් වුණ වෙලාවේ. කොටින්ම කියනවා නම් ගෙදර කට්ටියට හෙවත් අපේ සීයාට වුවමනා වෙලා තිබුණා ගේ ඉස්සරහම තිබුණ කොස් ගහක් කපන්ඩ. අපේ වත්තේ තිබුණ හැම කොස් ගහක්ම මගේ කාලේදී මට බදන්න බැරි තරමට මහතයි. ඒවා තවම තිබුණා නම් දැන් වුණත් මට ඒවා බදලා අල්ලන්ට බැරි වේවි. එතකොට හිතා ගන්න පුළුවන්නේ කොස් ගහක වට ප්රමාණය. ඔය ගේ ඉස්සරහ තිබිලා තියෙන කොස් ගහත් වගේ විශාල එකක්. මේක කපන්ඩ වුවමනා වුණහම සීයා එයාගේ නොසැලෙන සගයා, ජුවන්ට කියලා තිබුණා ගස් කපන කට්ටිය එක්කන් එන්න. මේ වගේ වැඩක් කරන්ඩ බොහොම පළපුරුද්ද තියෙන, ඒවටම වෙන් වුණු කට්ටිය ඉන්නවා. මුලින්ම අතු පෑහලා දාලා ඊට පස්සේ වටේ පිටේ ගස් වලට, දේපළ වලට හානියක් නොවෙන්ඩ කඳ කුට්ටි කරලා ගහ මුලටම දාන එක අයට හොඳට කරන්න පුළුවන්. ඊට පස්සේ මේ කුට්ටි ටික කරත්තෙක දාගෙන ලී පට්ටලේට දානවා. ලී පට්ටලේ කියන්නේ මේ ලී ඉරන තැන. දැන් කාලේ වගේ ලී මෝල් වල මැෂින් තිබුණේ නැති හින්දා ලී ඉරුවේ මිනිස්සු අඩුවෙන් ගැවසෙන පැත්තක අට්ටාලයක් ගහලා, කඳ ඒක උඩ දාලා දෙන්නෙක් එක්ක (එක්කෙනෙක් අට්ටාලේ උඩ, අනෙකා යට) බන්ඩි කියතකින් (මීටර් දෙකක් විතර දිග කියතක්. මේකේ දෙපැත්තෙන් දෙන්නෙක්ට අත් දෙකෙන්ම අල්ලන්ඩ පුළුවන්) මේ කඳ පලු කරන එකයි. සුනිල් එදිරිහිංහ මහත්තයත් යාළුවත් එක්ක එක කෙල්ලෙක්ට ලව් කෙරුවෙත් මේ වගේ ලී ඉරන්ඩ ගිහින් තමයි. 'පලංචියේ ලී ඉරුවේ' සිංදුවත් වැඩක් පළක් නැති වෙලාවකට අහන්නකෝ.
                                                       මේ කතාවේ හැටියට කොස් ගහ කපන වැඩේට අදාළ මිනිස්සු හොයන්ඩ ජුවන්ට පුළුවන් වෙලා නැහැ. මොකද කට්ටිය වෙන පිට ගමක වැඩ වගයකට ගිහින් හිටපු හින්දා. ඒත් සීයා බාර දීපු වැඩක් අතඇරලා දාන්නත් ජුවන්ට පුළුවන් කමක් නැහැනේ. මිනිහා මොකද කළේ තමන්ගේ තව ගජයෝ ටිකක් එක්කගෙන ආව වැඩේ කරන්ඩ කියලා. අයට නං මේ වැඩේ ගැන එච්චර පළපුරුද්දක් තිබිලා නැහැ. ඒත් රා කට්ටක් දෙකක් ගහ ගත්තහම ඕන වැඩක් කරන්ඩ පුළුවන් කියලා අපේ කට්ටියට හිතෙනවා නේ. දැන් කාලේ නම් ඉතින් ඔහොම හිතන්ඩ බොන්නේ රානෙමෙයිනේ. කොච්චර ජාති තියෙනවද නේ..? එදා කට්ටියම උදෙන්ම සෙට් වෙලා රා කලයක් එහෙම හිස් කරලා දෙයියනේ කියලා වැඩේට බැහැලා. එකෙක් නැඟලා ගහේ අතු ටික කපලා බිමට දානවළු. තව කට්ටියක් කපලා දාලා තියෙන අතු ටික පාහිනවළු. තව කට්ටියක් ගහ මුල හාරනවළු. එහෙම කිව්වට බය වෙන්ඩ එපා. කොස් ගස් වටේ හෑරුවා කියලා ගහ පෙරලෙන්නේ නැහැ. මුදුන් මුල කපන කල් ගහ කෙලින්.
                                                       අතු ටික කපලා ඉවර වුණාට පස්සේ කට්ටිය සාකච්ඡා කෙරුවළු කඳ පෙරලන්නේ කොහොමද කියලා. වැඩේ ටිකක් බරපතලයි. කඳ කුට්ටි කරලා දාන්ඩ කිසිම කෙනෙකුට තේරුමක් නැහැ. හින්දා කට්ටියම ඒකමතිකව තීරණය කෙරුවා කඳ එහෙම පිටින්ම බිමට පෙරලන්ඩ. එකෙක් ගියාළු නැව් කඹයක් අරන් එන්ඩ. නැව් කඹය කියන්නේ අතක් තරම් මහත කඹයකට. ඒකට ඔය නම වැටිලා තියෙන්නේ නැව් බඳින්ඩ ගන්න කඹ වගේම මහත හින්දා. කඹෙත් අරගෙන ආවට පස්සේ එකෙක් නැඟලා අතු නැති ඳේ මුදුන හරියෙන් කඹෙත් ගැට ගැහුව. දැන් ටිකක් හවස් වේගෙනත් එනව. කට්ටිය ෆිට් එකට බීපු රා ටික හින්දා වැඩේ ටිකක් පරක්කු වෙලා. එහෙම කියලා කඳ රෑ එළි වෙනකල් තියන්ඩත් බැහැනේ. දැන් ඉතින් රාජකාරිය මුල් ටික කපන එකයි. හොඳ පොරෝ කාරයෝ දෙන්නෙක් වැඩේට සෙට් වුණා. දෙන්නෙක් මුල් කපනවා. අනිත් කට්ටිය කඹේට සෙට් වෙලා.
                                                       මේ වෙලාවේ ලී ටික පටවන්ඩ ගෙනත් තියපු කරත්තේ ගොනාවත් බැඳලා පැත්තක තියලා තිබුණා. ගොනත් කාලෙකට පස්සේ ලැබුණු හොඳ ආහාර වේලක් කියලා කොස් පොළොස් වලට වැඩේ දෙනවා. කතාවේ කතා නායකයා වෙච්ච ජුවන් මේ වෙලාවේ හොඳ පදමට රා වලින් සප්පායම් වෙලා කරත්තේ උඩට වෙලා තැපලා ඉන්නවා. මේ වෙද්දි කොස් ගහත් බිමට දොයි කියන්ඩ කිට්ටු වෙලා තිබුණේ. ජුවන් හදිස්සියේම ඇහැරිලා බැළුවා. කොස් ගහ වැටෙන්ඩත් කිට්ටුයි. හොඳටම රෑ වේගෙනත් එනවා. කඳ වැටුණට පස්සේ කුට්ටි කරලා කරත්තෙට පටවන්ඩ ගියොත් එළි වෙලා තමයි වැඩේ ඉවර කරන්ඩ වෙන්නේ. මෙහෙම හිතනකොමට 'චර .. චර...' සද්දයක් එක්ක ගහ බිමට එන්ඩ පටන් ගත්ත. ජුවන් අනෙක් උන්ට කෑ ගහලා කිව්ව "දැන් රෑ වෙලා හින්දා ආයේ කුට්ටි කරන්ඩයි, කරත්තෙට පටවන්ඩයි වෙලා නැහැ. කරත්තෙටම කපපල්ලා. එහෙම්මම පට්ටලේට දැක්කුවහැකිනේ" කියලා.
                                                       අනිත් මිනිස්සුන්ට මුකුත් කියන්ඩ වෙලාවක් නැති වෙලා. ජුවන් ගත්තළු කරත්තේ තෝන් ලණුව. දැක්කුවළු ගොනාවයි කරත්තෙයි ගහ යටට. ඇල්ලුවළු කරත්තේ පෙරලෙන කොස් ගහට. 'චර.... චර...' සද්දේ 'ජර.. බර..' ගාන සද්දෙකට හැරුනළු. 'ජර... බර..' සද්දේ ටික ටික වැඩි වෙලා 'දඩ බඩාං' ගාන කොට අස්සෙන් "උම්බෑ....හ්" කියලා මහා සද්දෙට ලතෝනියක් ඇහිලා පොඩි කෙඳිරිල්ලකින් ඉවර වුණාළු.
/ලි.: කොහොමෙන් හරි ගහ බිමට පාත් වෙන වෙලාවේ කවුරු හරි එකෙක් පැනලා ජුවන්ව පැත්තකට ඇදලා තියෙනවා. එහෙම නොවුණා නම් ඉතුරු කොස් ගස් ටිකෙන් කොස් කඩන්ඩ වෙනවා මිනිහගේ දානෙට දෙන්ඩ.

(පින්තූරෙ නම් ගැලෙපන විදිහට හදා ගන්ඩ බැරිවුණා. ඔෆිස් ඒකෙ අන්තිම වෙලාවේ තමයි මේ ක හදලා ෙපා්ස්ට් කරන්ෙන්)

පපලි/ අද කාමරේ පරිගණකයේ නං සිංහල ටික හදා ගත්තා..... මා ගැන හොයපු බලපු උදවියට (පිස්සා, වත්,....) බොහොමත් ස්තූතියි. කලබල වෙන්‍ඩ එපා. දැන් ඉතිං දිගටම බ්ලොග් එකේ තමයි...





Related Posts with Thumbnails