ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Tuesday, October 5, 2010

නුඹ පැතූ ලෙසම.. සිඹිමි නුඹෙ ගතම

මෙන්න මේ කවිය - මුලින් කියවන්න
එවිට හැකි වේය - රසය විඳ ගන්න
----------------------------------------------------------------------------------------








මෙන්න මම මෙතැන
නුඹේ වත ලඟම
පොපියනා දෙතොල
මුදුව සිප ගන්න

තරු යුගල ලෙසට
දිලෙන ඔබෙ නෙතට
එබී මා ගතම
එතුළ රඳවමින

ඔබේ හද දවන
ගිනි නිවා ලමින
තුරුළු වී ළයට
රැ‍ඳෙමි මම නිතින

සුසුම් රැල් නැ‍ඟෙන
වතේ තවරමින
සිඹිමි මුළු ගතම
හිරි වැටෙන ලෙසින

දිවි ගමන තුරා
රැඳෙමි ඔබ කරා
ප්‍රේමයෙන් නුරා
පිදෙන හද පුරා




Friday, October 1, 2010

මළ ගෙට තබා සොහොනටවත් නොඑනු මැන





මුලින්ම කවි නිමිත්ත.... මෙතනින් බලන්න


සුළඟ මඳ වුණොත් මල් පෙති නටාවී
නමුත් රළු වුණොත් මල් බිම දමාවී
රළක් සුමුදු ලෙස දෙපතුල් තෙමාවී
එහෙත් දරුණු රළ හැම දෙය නසාවී

වැසි නොවැටුණත් කතරට හැමදා එකසේ
පලය කිමද ඉඳ හිට වහිනා වැස්සේ
නුඹ ආවත් සිත දවනා ගිනි අස්සේ
නොහැකි විය කඳුළු පිසලන්නට සිත් සේ

යන එන සියළු දෙන නැවතුම් ගන්නෙ නැත
නන්නාඳුනන අය හට නැවතුම් නොමැත
අඳුනන අයත් දිගු කල් ලඟ රැ‍‍ඳෙන් නැත
කතරක පිපුණු මලකට පැවතුම් නොමැත

මඟ හැර ගියේ ප්‍රේමය මඳ වූ හදින
වැගිරූ කඳුළු ගංඟා නොදුටුව ලෙසින
අමතක කර රුදුරු මතකය ඔබෙ සිතින
මළ ගෙට තබා සොහොනටවත් නොඑනු මැන

Saturday, September 25, 2010

කෙටිම කෙටි කතාවක් 1

ඔන්න එකමත් එක කාලෙක......... බොහොම බලවත්, වශාල රටක් දැහැමෙන් සෙමෙන් පාලනය කරපු රජ කෙනෙක් හිටිය (ළු).
                                    මෙන්න රජතුමා ගැන කෙටිම කෙටි හැඳින්වීමක්..... මේ රජ බොහොම අවංකයි. නීති ගරුකයි. කිසිම වෙලාවක වැරුද්දකට ඉඩක් තිබුණේ නැහැ. වැරුද්දක් දැක්කොත් කාට වුණත් දඬුවම් අනිවාර්යයි. දෙයක් කිව්වොත් කිව්වමයි (මං වගේ). අනිවාර්යයෙන්ම කරනවා. කිසිම දවසක පොරොන්දු කඩ කෙරුවේ නැහැ. ඒ හින්දා මේ රටේ කිසිම වෙලාවක ප්‍රශ්න තිබුණේ නැහැ. 
                                    දවසක් මේ රජතුමාගේ මාළිගාවේ ලොකු උත්සවයක් තිබුණා. මේ උත්සවයට අසල රටවල් බොහොමයක රජවරුන්ටත් ආරාධනා ලැබිලා ඇවිත් තිබුණා. මේ හැමෝම ඉස්සරහ ලස්සන තරුණියෝ දහ දෙනෙක් අපූරු නැටුමක් ඉදිරිපත් කළා. හැමෝම කටවල් ඇරගෙන මේ නැටුම දිහා බලන් උන්නා. ඒ නැටුම එතරම්ම ලස්සනයි. නැටුම අවසානයේ රැස්වෙලා හිටපු හැමෝම මේ නැටුම ඉදිරිපත් කරපු තරුණියන්ට ප්‍රශංසා කෙරුවා.


                                    රජතුමාටත් බොහොම සන්තෝසයි තමුන්ගේ රටට ආපු අමුත්තන් ප්‍රීති වීම ගැන. ඉතිං රටේ රජතුමා මේ අයට ප්‍රශංසා නොකෙරුවොත් ඒක බොහොම බරපතල වරදක්නේ. ඒ හින්දා මේ රජතුමා නැටුම් ඉදිරිපත් කරපු තරුණියන්ට කිව්වා "මේ මාලිගාවේ තියෙන දේවල් වලින් තමන් කැමති ඕනෑ එක දෙයක් අල්ලන්න. ඒ දේ තමුන්ට තෑගි දෙනවා" කියලා. මේ කණ්ඩායමේ තරුණියෝ 9 දෙනෙක්ම මාලිගයේ විවිධ තැන් වලට‍ ගිහිල්ලා එක එක දේවල් ඇල්ලුවා. සමහරුන් ඉතා වටිනා මැණික් ගල්, තවත් සමහරුන් වටිනා සමරු වගේ දෙවල් ඇල්ලුවා. රජතුමා පොරොන්දු වුණු විදිහට මේ හැම දෙයක්ම ඒ ඒ අයට තෑගි දුන්නා.
                                    ඒත් අවසාන තරුණිය විතරක් කිසිම දෙයක් ඇල්ලුවේ නැහැ. රජතුමා ඇගෙන් ඒ ගැන විමසුවා. "ඇයි මේ මාලිගයේ තිබෙන දේවල් වලින් කිසි දෙයක් අවශ්‍ය නැද්ද...? මම පොරොන්දු කඩ කරන රජෙක් නෙමෙයි. ඒ හින්දා තමන් අල්ලන දේ අනිවාර්යයෙන්ම තමුන්ට ලැබෙනවා".
                                    ඇය කිව්වා "නැහැ රජතුමෙනී, ඔබ තුමා ගැන සැකයක් නෙමේ. ඒත් මම කැමතියි කියලා හිතන දේ අල්ලන්න මම කැමති නැහැ" කියලා. රජතුමාට ටිකක් කේන්ති ගියා තමුන්ගේ ත්‍යාගශිලීකම ගැන මේ තරුණිය සැලකිල්ලක් නොදැක්වීම හින්දා. ඒ නිසා රජතුමා මෙහෙම කිව්වා. "තමුන් අනිවාර්යයෙන්ම මේ මාලිගයේ තිබෙන යම් දෙයක් අල්ලලා ඒක අයිති කරගත යුතුයි. ඒක තමුන්ගේ අයිතිය. එහෙම නැතිවුණොත් මේ දේ රාජ නීතිය කියලා තමුන්ට බල කිරීමට මට අවසර තියෙනවා" කියලා.
                                    ටික වෙලාවක් මෙහෙම හිටපු මේ තරුණිය හිමින් හිමින් අඩිය තියලා රජතුමා ඉන්න පැත්තට ගියා. හැමෝම බලන් ඉන්නවා මේ තරුණිය අල්ලන්නේ මොකක්ද කියලා...
කාටද කියන්න පුළුවන්...?

බැරිම නම් හිමින් සීරුවේ පහළ පින්තූරේ බලන්නකෝ.....

රජතුමාට මොනවා නොහිතෙන්න ඇත්ද.......?



Monday, September 20, 2010

බටගම සීරිස් (5) - අල්ල කික්කි උඩ දඩයං

මේක නං ටිකක් විතර රස කතාවක් වෙන්ඩ තිබුණු දෙයක්.. ඒත් මොකක් හරි (අ)හේතුවකට කතාවේ විතරයි රස විඳින්ඩ හම්බවෙන්නේ. දැම්ම අහන්ඩ එපා තේරුම මොකක්ද කියලා. කියවලම බලන්ඩකෝ..... (පින්තූරෙ නං 18+ නිසා පහළට ගිහිං තියෙන්නේ)

                                    ප්‍රස්තා පිරුළක් අහලා තියෙනවද ‘දඹුළු ගිහින් තලගොයිත් මරන් එනවා’ කියලා. මම නං හිතන් උන්නේ අපි දුටු තැන පස්සෙන් පන්නන අහිංසක සතා ගැන කියලයි. ඒත් ඔය පිරුලේ ‘තලගොයි’ කියන වචනෙට වෙන ‍තේරුමක් තියෙනවා කියලා කවුදෝ පණ්ඩිතයෙක් දවසක් මට කිව්වා. හැබැයි ඒ තේරුම අහගත්තද කියල නම් මට මතක නැහැ. කවුරු හරි නියම තේරුම දන්නවනම් මගේ දැනගැනීම පිණිස කියලා කොමෙන්ට් එකක් විදිහට දාන්න.
                                    මේ කතාව කැරකෙන්නේ ඔය මුලින්ම කියපු අගනා සතා වටෙයි. කෙටියෙන්ම කිව්වොත් ‘තලගොයා’ ගැනයි. සතා නං අහින්සක තමයි. ඒත් කාලා තියෙන කට්ටියට නං නම ඇහුවත් කටට කෙල උනනවා ඇති. මාත් පොඩි කාලේ තලගොයි මස් රහ බලලා තියෙනවා. ඒත් දැනුම් තේරුම් තියෙන කාලෙදි ඒ පාපකර්මෙට හවුල් වුණේ නැහැ. කොහොම වුණත් මෙන්න කතාව....
                                    ඉස්සර ගම් වල ගොඩක් වෙලාවට කෑමට ගත්තේ ඔය පොඩි පොඩි සත්තුන්ගේ මස් නේ. ඒ කාලේ දැන් කරනවා වගේ හරක් මරණවා බොහොම අඩුයි. ගොඩක් වෙලාවට කෑම වේලට එකතු වුණේ වැව් මාළු, නැත්නම් හාවො (හා පැටික්කියන්ව නෙමේ..) කලවැද්දො, මී මින්නො, තලගොයි වගේ සත්තුයි. ඉඳහිට හොඳ තඩි ඌරෙක් (හෝව්... හෝව්.. කලබල වෙන්ඩ එපා... මේ පාඨක ජනතාවට නෙමේ කිව්වේ‍‍) එහෙම මරා ගත්තා.
                                    මං කලින් කියල තියෙනවනේ අපේ සීයයි ජුවනුයි දෙන්නා රෑට සංචාරේ යන්නේ මුර වැඩේටයි, පොඩි පොඩි දඩයමක් හොයා ගන්නයි කියලා. ඒත් සිද්දිය වෙලා තියෙන්නේ රෑ වරුවක නෙමෙයි. ගිනි මද්දහනක. මේ කියන දවසේ දෙන්නට කිසිම දඩයමක් හම්බවෙලා තිබුණේ නැතිළු. ඉතින් දෙන්නත් එක්ක කතා කර කර හිටයළු දවස ගෙවා ගන්නේ කොහොමද කියලා. අපේ පිස්සා, මාරයා එහෙම දන්නවා ඇති ඔය දවස ගෙවා ගන්නවා කියන එක. පොඩ්ඩක් පැහැදිලි කෙරුවොත් එහෙම දෙන්නට පොඩි රා කට්ටක් ගහන්ඩ බයිට් එකක් නැති කම තමයි අඩු වෙලා තිබිලා තියෙන්නේ. වෙන දවස් වලට කොහොම හරි සරි කර ගන්ඩ හම්බවෙන බයිට් එක එදා නැති වුණහම දෙන්නට නිකං අමුඩෙ නැතුව පාරෙ ගියා වගේ තමා. ඒ තරං හිතට අමාරුයි.  මොනව කරන්නද කියලා ජුවනුත් ගිහින් රා කලයක් ගෙනල්ලා දුකටම දෙන්නත් එක්ක බයිට් එකක් නැතුවම බොන්ඩ පට‍න් අරගෙන.
                                    රා කලේ බාගයක් විතර හිස් වෙනකොට සීයට පේනවළු  ඈත වත්ත කෙලවරේ බඩවැටිය දිගේ මොකෙක්ද නැලවි නැලවි යනවා... සීයා බැළුවළු රා කළේ දිහා. තාම බාගයයි ඉවර වෙලා තියෙන්නේ. ‍ඒකේ තේරුම ඇස් වල දෝසයක් නෙමෙයි කියන එකයි. ‘එහෙනං ඉතිං මොකෙක් හරි එකෙක් අපිට හොරෙන් බඩගානවා’ කියලා හිතපු සීයත් ජුවන්ව අඬගහගෙන හිමින් සීරුවේ හොරා ඉන්න පත්තට ගියාළු. ජුවන් නම් මොකට ගියත් අර දිග ගොරක පොල්ල අතින් බිම තියන මනුස්සයෙක් නෙමෙයිනේ. ඒ හින්දා ඒකත් උස්සගෙනම ජුවනුත් සීයා පස්සේ ගිහින්....
                                    හපොයි.. තව පොඩ්ඩඩෙන් මට කතාවේ හොඳම චරිතේ ගැන කියන්ඩ අමතක වෙනවනේ... අනේ මන්දා මගේ මොලෙත් මොනවා තියෙනවද කියලා. (අර කේජු කියලා ජුවන් කාපුවනම් නෙමෙයි). මෙයා තමයි අපේ ආච්චිගෙ හුරතලා. පළාතේ හැමෝම ආදරේට කියන්නේ ‘කික්කි’ කියලා. නමින් කික්කි වුණාට වැඩ වලින් නම් කික්කි නෙමෙයි. ඒ කාලේ වයස අවුරුද්දක් විතර වෙන්ඩ ඇති. පොඩි වුණාට මහ නපුරා. කවුරු ගෙදරට ආවත් ඈත ඉඳන් “මේරි නෝනේ.. බල්ල බැඳලද..?” කියලා අහලා උත්තරයක් හම්බවුණොත් තමයි වත්ත ඇතුලට එන්නේ. නැත්නම් ඉතින් කකුලට දෙයියන්ගෙම පිහිටයි. ඔය බල්ල බැඳලද කියන කතාවට මට මේ මතක් වුණේ. මම කොහෙන් හරි කියෙව්වා ඔය ගැන තව පොඩි කතාවක්. දවසක් ඔය වගේ බැල්ලියක් ඇතිකරන ගෙදරකට ආපු අමුත්තෙක් ගේට්ටුව ලඟ ඉඳන් කෑ /හලා ඇහුවළු ‘බල්ලා බැඳලද‍‍?’ කියලා. ගේ ඇතුලෙන් මෙහෙම උත්තරයක් ආවළු. ‘බල්ල බැඳලද කියලා නම් දන්නේ නැහැ. ඒත් ලඟදි පැටව් නම් දැම්මා’ කියලා.
                                    ඔන්න ඔන්න ආයෙම කතාවෙන් පිට යනවා. ‘කික්කි’ කික්කි වාගේ හිටියට පොඩි පොඩි සත්තු ගැනත් සීයට වගේම හොඳට ඉව තියෙනවළු. ඒත් උගේ කරුමේ කියන්නේ මෙන්න මේකත් අර සීයයි ජුවනුයි පස්සේ ගිහිල්ලා හොරු අල්ලන්ඩ. තුන් දෙන් හෙමිහිට ලං කරලා බැලින්නම් හොරා ලේසි පාසු කෙනෙක් නෙමෙයි. හොඳ තලගොයි නාම්බෙක්. මේ දෙන්නටත් මොකෝ ඉතිං.. දෙන දෙයියෝ වත්තටම ගෙනත් දෙනවා කියලා කිට්ටු කරාළු තලගොයියට... අහිංසකයා වුණාට සතා කපටියා. කොහොම හරි දැනගෙන තියෙනවා මාරයාගේ හෝරාව තමා ලඟා වෙන්නේ කියලා... ඇවිදින පයට වඩා දුවන පය ලක්ෂ වටී කියලා කකුල් දෙකට වැඳ වැඳ.. සමාවෙන්ඩ.. කකුල් හතරට වැඳ වැඳ දුවන්ඩ පටන් ගත්තළු වත්ත වටේ. මෙන්න බොලේ තලගොයා දුවනවා.. තලගොයා පිටිපස්සේ සීයා දුවනවා.. සීයා පිටිපස්සේ ජුවන් පොල්ලත් අරන් දුවනවා... ජුවන් පිටිපස්සේ කික්කි දුවනවා... මරු දිවිල්ල නේ..
                                    යන එන මං නැතිවුණු තලගොයා දැක්කළු උස පොල් ගහක්. ‘උඹලට කරන්නම් හොඳ වැඩක්’ කියලා හිතපු තලගොයා නැග්ගළු අහල පහළ තිබුණු පොල් ගහකට. සීයා නැවතුනාළු ගහ ලඟ. දැන් සීයත් ස්ව උත්සහයෙන්ම ගහට නැඟලා තලගොයාව අල්ලා ගන්ඩ හදනවළු. ඒත් ඉතිං නිකම්ම ගහට නඟින්න පුළුවනෑ. වුණා මේකට. ‍ඇයි ඉතිං රා කළෙන් බාගයකටම මේ වෙනකොට වග කියලානේ ඉන්නේ. “ජුවන් පොඩ්ඩක් ඔහොම හිටපන්. මං ගහට නඟින්ඩ වලල්ල අරන් එන්නං. එතකල් උඹ සතාව පරිස්සං කරපන්” කියලා ගේ පැත්තට ගියාළු.
                                    ඒ එක්කම ඇහුණළු බල්ලෙක් ලතෝනි තියලා කෑ ගහනවා. ඒ අස්සෙම “අල්ල කික්කි උඩ දඩයං.... අල්ල කික්කි උඩ දඩයං....” කියලා කියලාත් ඇහෙනවළු. සීයා දණි පණි ගාලා ආයෙම දුවගෙන ඇවිත්. ආච්චිටත් කික්කිගේ සද්දේ වගේ ඇහිලා ආච්චිත් දුවගෙන ඇවිත්. මෙන්න බොලේ ජුවන් අර ගොරක පොල්ල කික්කිගේ අවර පැත්තේ ගහලා පොල් ගහට තියලා අල්ලන් ඉන්නවළු  “අල්ල කික්කි උඩ දඩයං.... අල්ල කික්කි උඩ දඩයං....” කිය කිය. කික්කි බෙරිහන් දෙනවළු....
 (මේ තියෙන්නේ ඒ වෙලාවේ ගත්ත පින්තූරයක්)


එදා තලගොයා බයිට් වුණාද ජුවන් බයිට් වුනාද කියලා නං මට දැනගන්ඩ හම්බවුණේ නැහැ....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails