ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Tuesday, September 14, 2010

බටගම සීරිස් (4) - හොරු ඇල්ලීම හෙවත්......

                             බටගම සීරිස් එකේ දාපු කතා වලට ආපු ප්‍රතිචාර වලින් කියවිලා තිබුණා මේ කතා තුම්පනේටත්, මතුගම පැත්තේ තවත් ගමකටත් සම්බන්ධවත් තියෙනවා කියලා. ඒ කතාව ඇත්ත. කොඩිගසේ කතාව හැර අනෙක් හැම කතාවක්ම ගොතපුවා. ඒත් බොහොම ආඩම්බරයෙන් කියනවා කොඩිගහේ කතාවබටගමට පමණයි කියලා. ඒත් ඒ කතාව මට පලකරන්න බැරි අන්තිම පේලිය බ්ලොගයේ පල කළ කතාවක් මගේ බ්ලොගයේත් පල කිරීම සදාචාරසම්පන්න නැති බව දන්න හින්දයි. ඒ හින්දා ඒ කතාව අන්තිම පේලිය බ්ලොගයෙන් කියවල, ඒකට මං දාලා තියෙන ප්‍රතිචාරයත් කියෙව්වොත් කතාව සම්පූර්ණ වේවි.
                             ඒ වගේම මේ කතා වලට මගේ සීයා සහ ජුවන් කියන චරිත සම්බන්ධ කළේ, වෙන කාගේ හරි නමක් සම්බන්ධ කරලා දැම්මොත් මට අම්බානකට කන්ඩ වෙයි කියන බයටයි... සීයා මැරිලා හින්දාත් ගමේ හිටපු ජුවන් කියන මනුස්සයෙක් ගැන මම නොදන්න නිසාත් මට ගුටි කෑමේ අවස්ථාවක් එන්නේ නෑනේ. ඒ කොහොම වෙතත් මේ හැම කතාවක්ම තම තමුන්ගේ ගම් වලට සම්බන්ධ කරගත්තට මගේවත්, මේ කතාවලට සම්බන්ධ ගම් වල වැසියන්ගේවත් කිසිම අමනාපයක් හෝ අකමැත්තක් නැති බව පාඨකයෝ කරුණාවෙන් සලකත්වා....

පරණ කතා තුන බැළුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
- පළවෙනි බටගම කතාව : කොඩි ගහේ කතාව (අන්තිම පේලිය බ්ලොගය විසින් පල කරන ලදී)
ඔය බයිල ගහ ගහ ඉඳලා තව පොඩ්ඩෙන් අද කතාවත් කියන්ඩ වෙලා මදි වෙනවා....

බටගම සීරිස් එකෙන් අද දෙන්ඩ යන්නේ හොරු ඇල්ලීමේ කතාවයි.
                             මම කලින් හඳට පොළු ගැසීමේ කතාවේ කිව්වනේ අපේ සීයයි, ජුවනුයි රෑ වරුවේ ගම වටේ ඇවිදින්න යනවා කියලා මුර සංචාරේ සහ දඩයමේ. සාමාන්‍යයෙන් ගම් වල තියෙන ප්‍රශ්නයක් තමයි හොරුකියන කට්ටියගෙන් වෙන කරදර. ඒ කාලේ හොරු නං ඉතින් දැන් හොරු වාගේ ජරා විදිහට හොරකම් කරන්නේ නැහැ. ගෙදර මිනිස්සු නැත්නම් දොර කඩනවා. එහෙම නැත්නම් වහලෙන් පනිනවා. එහෙමත් නැත්නම් බිත්තිය හෝ අත්තිවාරම යටින් හාරනවා. ඕකට කියන්නේ ගෙවල් බිඳිනවාකියලනේ.
                             ලොකු වලව්වක ඇරෙන්ඩ  ඔය පොඩි පොඩි ගෙවල් වල අත්තිවාරම යටින හාරන එක එච්චර අමාරු කාරියක් නෙමෙයි. එහෙම කරලා හොරකම් කරන්නෙත් සල්ලි ටිකක්, රත්තරන් බඩු ටිකක් එහෙම තමයි. එහෙමත් නැත්නම් වත්තේ පිටියේ තියෙන කෙහෙල් කැනක්, එ‍ළවළු ටිකක්, බුලත් කොරටුවේ බුලත් ටිකක් එහෙමත් හොරකම් කරන වෙලාවල් එමටයි. මේ.. මේ.. මට එහෙම කිව්වා කියලා මට එහෙම ඔය පුරුදු නැහැ හො‍ඳේ.
                             මේ සිද්ධිය වුණ දවසට දවස් දෙක තුනක් කලින් අපේ සීයලගේ ගෙදරට කිට්ටුව ගෙයක් හොරු බිඳලා. ගෙදර තිබුණු සකල සබ්බමනාවම උස්සගෙන ගිහින්. මේ හේතුව හින්දා අපේ ආච්චි බයේ ඉඳලා තියෙන්නේ කවදා හරි එයාලගේ ගෙදරටත් හොරු පනී කියලා. මොකද, සීයත් හැමදාම රෑ වරුවේ එළියේ මුර සංචාරෙනේ. අපේ ආච්චි මේ ගැන සීයට කංකෙඳිරි ගාපු වෙලාවේ සීයා ආච්චිට කිව්වළු උඹට පිස්සුද මේරි නෝනේ... මං ගැන දන්න එකෙක් අපේ ගෙදර බිඳින්න එයිද? ආවොත් ඉතිං ඒ පිටින් ආපු එකෙක් තමයි. උඹ බය නැතුව හිටපන්කියලා.
                             ඒ වුණාට ආච්චිගේ හිතේ තිබුණු බය ගිහින් නැහැ. ඒ හින්දා ආච්චි ජුවන්ට කියලා අනේ ජුවන්.. මේකට මොනව හරි කරපන්. මේ හොරු හින්දා මට බයේ බැහැකියලා. පහුවදා ජුවන් හැමෝටම හොරෙන් හොරු අල්ලන්ඩ ඕනේ කරන කළමනා ටික ගෙදරින් ගෙනත් තියලා. කරන දෙයක් කරන්ඩ ඕනෙත් සීයට හොරෙන් නේ. නැත්නම් විනාසයි.
                             එදා රෑ ජුවනුත් මොකද කළේ, සීයව ඉස්සෙල්ලා පිටත් කොරලා, ආච්චිටත් ගේ ඇතුලට වෙලා හොඳට දොර වහගන්ඩ කියලා, අර දවල් ගෙනත් තියාපු දේවල් නියම විදිහට ලැහැස්ති කරලා ගේ වටේටම දැම්මා. කට්ටියට හිතාගන්ඩ පුළුවන්ද මොනවද මේ දැම්මේ කියලා....
                             පපඩම්.... හොඳට බැදපු පපඩම්’...
                             දාලා ඉවර වෙලා කිව්වළු නෝනේ... හදිසියේ හරි සර.. සර..’ ගාලා සද්දයක් ඇහුණොත් හයියෙන් කෑ ගහන්ඩ හොරු එනවෝ කියලා’..”.මෙහෙම කියලා සුපුරුදු විදිහට අර ගොරක පොල්ලත් අරගෙන සීයාගේ පිටිපස්සෙන් සංචාරේ ගියාළු. කොහොමෙන් හරි දෙන්නත් එක්ක මුර සංචාරේ ඉවර වෙලා ඇවිත් බලනකොට ගෙදර අමුත්තක් පේන්ඩ තියෙනවළු. ගෙයි දොර ඇරලා දාලා.... ගේ ඇතුලෙන් කෙඳිරිගාන සද්දයක් ඇහුණළු. සීයත් ඉක්මනට ඇතුලට දුවලා බලලා මොකද වෙලා තියෙන්නේ කියලා.
                             කිරි අප්පේ... ආච්චිව කිටි කිටියේ බැඳලා දාලා, ගෙදර තිබුණු රත්තරන් බඩු, සල්ලි සේරම හොරු උස්සන් ගිහින්...
                             මදෑ ජුවන්ගේ හොරු ඇල්ලිල්ලේ හපන්කම්....

(මේ පින්තූරේ පපඩම් ටික දාලා තියෙද්දි ගත්ත එකක්. අපේ සීයත් ඔය ඉදන් ඉන්නේ)



හිතාගන්ඩ පුළුවන්ද මොකද වෙලා තියෙන්නේ කියලා.
                             ජුවන් හොඳට බැදලා දාපු පපඩම් ටික රෑ පින්නට පෙඟිලා. පෙඟුණු පපඩම් වලින් සර.. සර..’ තියා මොන සදද්යක්වත් ඒවියෑ.....
                             පස්සේ ඔය හොරු ටික වෙන ගෙයක් බිඳින වෙලාවක අපේ සීයට පින් සිද්ද වෙන්ඩ අල්ලගෙන, අර ජුවන්ගේ ගොරක පොල්ලේ ඇඹුල් රහ දැනෙනකම් කාලා තිබුණා. උන් කියපු විස්තරේ හැටියට එදා හොරු ඇවිත් තියෙන්නේ සීයගේ ගෙදරට අල්ලපු ගෙදර බිඳින්ඩ. සීයගේ ගේ වටේ පපඩම් තියෙනකොට දැනගෙන තියෙනවා ගෙදර කවුරුත් නැති හින්දා මේක මේ හොරුන්ව රවටන්ඩ කරපු උපායක් කියලා. අන්තිමේ පපඩමුත් නැහැ.. ගෙදර තිබුණු සල්ලියි, රත්තරන් බඩු ටිකයි ත් නැහැ..

.ලි. අවවාදයයි : පින්න ඇති කාලයේදී හොරු ඇල්ලීම සඳහා පපඩම් දැමීමෙන් වලකින්න.

- ඊලඟ දවස් ටිකට බටගම සීරිස් එක ටිකක් නවත්තලා මගේ හිතට දැනුණු අත්දැකීම් ටිකක් ලියන්ඩ හිතන් ඉන්නේ.... –

Monday, September 13, 2010

බටගම සීරිස් - හඳට පොළු ගැසීමේ කතාව

හොඳ නින්දක් දාලා නැඟිට්ට වෙලාවේ කල්පනා වුණා මේ දවස් දෙකේ කිසිම පෝස්ට් එකක් දැම්මේ නෑ නේද කියලා. රාමදාන් හින්ඳා දවස් 3 ක නිවාඩුවක් තිබුණා. තේරුමක් ඇති වැඩකට කළේ රූම් එක මොඩිෆයි කරපු එක විතරයි. ‍ඒවා පැත්තක තියලා බටගම සීරිස් එකේ තුන්වෙනි කතාව දාන්න ඕනා කියලා හිතුණා. පළවෙනි ‍සහ දෙවෙනි කතා මෙතනින් බලන්න පුළුවන්
- පළවෙනි බටගම කතාව : කොඩි ගහේ කතාව (අන්තිම පේලිය බ්ලොගය විසින් පල කරන ලදී)

පිස්සා අහලා තිබුණු හඳට පොළු ගහපු කතාව තමයි බටගම කතා මාලාවේ තුන්වෙනි කතාව. අපේ මැරුණු සීයාගේ පිහිටෙන් මේ කතාවත් ලියන්නම්.


                      අපේ සීයා ඉලන්දාරි කාලේ හොඳ ශක්තිවන්තයා. බටගම පීටර් අයියා කියපුවහම අහල ගං හතක නොදන්න කෙනෙක් නැහැ. කාට හරි සැකයක් තියෙනවනං දැන් වුණත් ගිහින් ගමේ කාගෙන් හරි අහලා බලන්න පුළුවන් මම කියන්නේ බොරුවක්ද කියලා. (එහෙම කිව්වයි කියලා කවුරුත් අහන්ඩ එහෙම එපෝ..)
                      ඒ වගේම යකෙක්ටවත් බය නැති ඕනෑම දෙයක් කරන්ඩ ඕන කියලා හිතුණොත් කරන ජාතියේ මනුස්සයා. සීයාගේ ගමන් වැඩිපුරම තිබුණේ රෑ කාලෙට. කුඹුරු ටික පැත්තේ ඇවිදලා විපරම් කරලා එළවලු  කොටුවට හොරු පනීද කියලා පොඩි සෝදිසි පාරක් දාලා කොහෙන් හරි පොඩි දඩයමක් හොයා ගන්න පුළුවන්නම් ඒකත් කරගෙන තමයි මහ රෑ ජාමේ ගෙදරට ගොඩ වෙන්නේ.
                      එයාගේ හොඳම සගයා තමයි 'ජුවන්' කියන්නේ. ඔය කියන ඕනෑ දේකට තකට තක වගේ සිටියේ ජුවන් තමයි. සීයා කොහේ යනවද ජුවනුත් එයාගේ පස්සේ මැරෙන්ඩ හරි යනවා. ඒත් පොඩි අවුලකට ති‍බුණේ ජුවන් මං වගේම පොඩ්ඩක් මෝඩ පහේ මනුස්සයෙක් වීම තමයි.
ඔය ජුවන් කියන හාදයාව අඳුන ගන්න තියෙන හොඳම විදිහ තමයි අතේ හැම වෙලාවෙම තියාගෙන යන මහත දිග පොල්ල. ඕක හොඳ හයිය තියෙන ගොරකා පොල්ලක්. කාත් එක්ක හරි කො‍ක්කකට සෙටි වුණත්, දඩයමකට වුණත්, රෑට සතා සරුපයාගෙන් බේරෙන්න වුණත් පිහිටට හිටියේ ඔය ගොරක පොල්ල තමයි. මට නම් ඕක උස්සාගෙන අඩි දහයක්වත් යන්ඩ බැහැ.
                      මේ කියන කතාව සිද්ද වුණේ ඔය මහ රෑක දෙන්නත් එක්ක රවුමේ යන අතර තුරේ. මේ කාලේ කාලගුණේ පොඩ්ඩක් වැහි බර වෙලා තිබිලා තියෙන්නේ. පෝයකුත් කිට්ටුව හින්දා හඳ තිබුණත් වැහි වලාකුළු වලින් නිතරම හද වැහිලා තිබිලා තියෙන්නේ. ඉඳහිට හඳ මාමා වැහි වලා යටින් එබිල බලනවළු. ‍එදා දෙන්නා එළියට බහිද්දි වළාකුළු ටිකක් එහෙ මෙහෙ වෙලා හඳ පේන්ඩ තිබිලා තියෙන්නේ. දැන් දෙන්නත් එකක් වෙල දිගේ ඇවිදගෙන එනවළු. එන ගමන් ජුවන් ඇහුවළු අපේ සීයාගෙන් "පීටර් අයියේ.. අද නං හඳ ලස්සනට පායලා තියෙනවා බං" කියලා.
සීයත් වැඩි කතා බහක් නැති මනුස්සයෙක් හන්දා "හ්ම්" කියලා.
                      ආයෙම ජුවන් අහනවළු "පීටර් අයියේ .. හඳ හැදිලා තියෙන්නේ මොනවා වලින්ද..?" කියලා. ඒ කාලේ නීල් ආමස්ට්‍රෝං හඳට ගිහින් තිබුණෙත් නැති හින්දා සීයා ඒකට හරි උත්තරේ දැනගෙන ඉන්ඩ නැතුව ඇති. ඒ හින්දා සීයා විහිලුවට වගේ කිව්වළු "මං දන්නේ නැහැ බං.. සමහර විට ඔච්චර ලස්සනට රවුමට, කහ පාට තියෙන හන්දා කේජු වෙන්ටත් ඇති" කියලා. කේජු කියන්නේ චීස් වලට කියලා මමත් මේ ලඟදි තමා දැන ගත්තේ. ආයෙම ජුවන් අහනවළු "පීටර් අයියේ අපිට ඕක කාල බලන්ඩ බැරි වෙයිද..?  කියලා. සීයත් ගත් කටටම කිව්වළු "ඔච්චර ඕනෙම නං ඉතින් ඔය අතේ තියෙන පොල්ලෙන් ගහලා වට්ටපන්" කියලා.
                      සීයාගේ උපදෙස ගැන ජුවන්ටත් මාර සන්තෝසයි. ජුවනුත් සීයගේ ටිකිරි මොලේට පින් දීලා මුලු ඇ‍ඟේම තියෙන වීරිය අරගෙන ගැහුවළු අර ගොරක පොල්ලෙන් හඳට. හපොයි වෙච්ච විනාසයක්..... මෙච්චර වෙලා කිරි පාටට බැබළි බැබළි තිබුණු හඳ වැටුණළු බිමට. ජුවන් කැ ගහනවළු "වැඩේ හරි පීටර් අයියේ.. හඳ බිම.. හද බිම" කියලා. කතාව ඇත්ත. මුළු පළාතම කළුවරයි. දැන් ඉතිං කළුවරේම දෙන්නත් එක්ක වැටිච්ච හඳ හොයන් යනවළු. හඳ ආකාසේ තිබුණ නං හඳ එළියෙන්වත් හොයා ගන්ඩ තිබුණා. ඒත් දැන් ඒ හඳ බිමට වැටිලනේ.....
                      කළුවරේම ඔහොම ඉස්සරහට යනකොට අපේ සීයා දැක්කළු ගොම ගොඩක්. සීයා මොකද කළේ, ජුවන්ට පෙන්නුවළු මේ ගොම ගොඩ. පෙන්නල කිවුවළු "ජුවන්.. අන්න අතන හඳ වැටිලා වගේ පේනවා. මේ කළුවර හින්දද කොටහද කළු පාටට පේ‍න්නේ" කියලා. ජුවනුත් මොකද කළේ පුලුවන් තරම් ඉක්මනට එතනට දුවගෙන ගිහින් හ‍‍‍ඳේ පැත්තකින් කෑල්ලක් කඩාගෙන කාලා බැළුවළු. කාලා කියනවළු "ඈ බං පීටර් අයියේ.. උඹ කිවුවනේ හඳ හැදිලා ඇත්තේ කේජු වලින් කියලා. ඒත් මේක ඇඹුල් නේ" කියලා.
                      සීයත් හිනා වෙලා කිව්වළු "අනේ ජුවනෝ... උඹ අර අතේ තිබුණු ගොරකා පොල්ලෙන් නේද හඳට ගැහැව්වේ. ඉතිං ඕක ඇඹුල් නොවී තියෙයි ද..." කියලා. කතාව ඇත්තනේ. හඳ කේජු වුණත් ගොරකා පොල්ල වැදුනම ඇඹුල් වෙන්න ඇති. ඕන් මම නං ඔව්වා දන්නේ නෑ...

ප.ලි./ එදා වෙලා තියෙන්නේ හඳ වැටුණු එක නෙමෙයි. වැහි වළාකුලකින් හඳ වැහිලා. (මේක දැම්මේ මොකද වුනේ කියලා ඔයගොල්ලන්ටත් නොතේරුණ හින්දයි). ඊට පස්සේ දවස් ටිකේම වැස්ස හින්දා හඳ තිබිලා නැහැ. ටික දවසකින් හඳ පළුවක් පේන්න තිබුණළු. "ජුවන්, සීයට කතා කරලා කියනවළු "පීටර් අයියේ.. අර බලපන්. මං අර හ‍‍‍ඳෙන් කාපු කෑල්ල අඩුවෙලා බන්... අපරාදේ" කියලා....
මගේ දයාබර පාඨකයෝ එහෙම හඳ බිම වැටිලා තිබුණොත් කන්න එපා හො‍ඳේ.....

Saturday, September 11, 2010

බටගම සීරිස් - කකුළුවන්ගේ කතාව

                             මම කලින් දාපු උණ ගහේ කතාවේ කොමෙන්ටුවකට අපේ පිස්සා අහලා තිබුණා මගේ ගම තුම්පනේද එහෙම නැත්නං හඳට පොලු ගහපු දිහාද කියලා... කෝ.. කෝ.. ඔය පිස්සා... අම්මපා මට අහුවුණොතින් උගෙ හතර හන්දි වලට පත්තු බන්දනවා. හැබැයි කවුරුත් පිස්සට එහෙම කියන්ඩ එපා මම එහෙම කිව්වා කියලා හො‍ඳේ.
                              කොහෙම වෙතත් මිනිහගේ උපකල්පනය හරි. බය නැතුව කෙලින්ම කියන්න පුළුවන් ‘මම බටගම පොරක්’ කියලා. කලින් දවසක අන්තිම පේලිය බ්ලොග් එකේ බටගම ගැන ‍කතාවක් දාලා තිබුණා. ඒකේ කියලා තිබුණු විදිහට ගම ගැන කියද්දි මට නම් මල පනින්නේ නැහැ. බටගම ගැන තියෙන ප්‍රධානම කතාව තමයි කොඩි ගහේ කතාව. මෙන්න මෙතනින් ඒක බලන්ඩ පුළුවන්. ඒ කතාවේ අඩුපාඩු මම කොමෙන්ට් එකකින් දාලා තියෙනවා. ඉතින් මේ කොඩි ගහේ කතාව පාදක කරගෙන බොහොමයක් නෝන්ඩි කතා ‘බටගම’ ගම ගැන ගොතලා තියෙනවා. හැබැයි කොඩි ගහේ කතාව හැර අනිත් කතා ඇත්ත නොවන බව නම් මම දන්නවා. ඒ වුණාට ඉතින් අපේ බ්ලොග් සගයන්ගේ ලේ පිරිසිඳු කිරීමේ යහපත් චේතනාව තකා ‘බටගම කතා’ කීපයක් අරගෙන එන්න මම තීරණය කළා. ඒත් මේ කතා විනෝදය සඳහා මිසක් අන්තිම පේළිය බ්ලොග් කරුවා ලියලා තිබුණ විදිහට කාවවත් පහත් කරන්න භාවිතා කරන්න එපා කියලා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා (මට නම් ඕන දෙයක් කිව්වට කාරි නැහැ). කාගේවත් හිත් නොරිද්දවීමේ අරමුණින් මගේ කතාවක් විදිහට කියලා දැම්මම ඉවරයිනේ.
(මගේ බ්ලොග් ලිවීමේ ආරම්භයට වගේම ‘බටගම කතා’ සීරිස් එක පලකිරීමටත් ‘පිස්සා’ වගකිව යුතු බව මගේ බ්ලොග් සගයෝ කරුණාවෙන් සලකත්වා)

- පළවෙනි බටගම කතාව : කොඩි ගහේ කතාව (අන්තිම පේලිය බ්ලොගය විසින් පල කරන ලදී)

- දෙවැනි බටගම කතාව : කකුළුවන්ගේ කතාව


                  අපේ සීයා ඒ දවස් වල බොහොම තරුණ කාලේ. අපේ ආච්චිවත් කරකාරෙට ගත්ත අලුත තමයි මේ සිද්දිය වෙලා තියෙන්නේ. කොහොමත් ඉතින් අලුත ගෙනා මනමාලිට හොඳට සලකන්නත් එපායෑ. තමුන්ගේ හස්බණ්ඩා තමුන්ට විශේෂ සැලකිලි දක්වනවට කොයි බිරිඳත් කැමතියිනේ. ඒ හින්දා අපේ සීයත් හැම වෙලාවෙම පොයින්ට්ස් දාගන්ඩ වැඩ කරන්ඩ ඇති මගෙ හිතේ. (මාත් සමහර වෙලාවට ඔහොමම කරනවා). කොහොමින් හරි අපේ ආච්චිට හිතිලා තියෙනවා කකුළුවෝ හොද්දක් කන්ඩ ඕනෑ කියලා. ගෑණුන්ට දොලදුක නැතත් කකුළුවෝ කන්ඩ ආසයි කියන එක මම අත්දැකීමෙන් දන්නවා. මොකද අපේ ගෙදරත් කකුළු පෙරේතියක් ඉන්න හන්දා.
                    ඔන්න ලකුණු දා ගන්ඩ තියෙන හොඳම පොට කියලා හිතලා දවසක් සීයත් මොකද කළේ, උදේ පාන්දරම පිටත් වුණා කකුළුවෝ ටිකක් ගේන්ඩ කියලා. හැබැයි ඉතින් හොඳ කකුළුවෝ ගන්නවා නං යන්ඩ තියෙන තැන තමයි මීගමුව. පොඩ්ඩක් විතර දුරයි තමයි. හැබැයි ඉතිං ඕන පදං මුහුදු කකුළුවෝ වගේම කලපු කකුළුවෝත් මීගමු වැල්ලෙන් හොයා ගත්තහැකි. ඒ දවස් වල දැන් කාලේ වගේ ගමට යන්ඩ එන්ඩ පාරවල් ගොඩක් තිබුණෙත් නැහැ. ගමට ඇතුල් වෙන්න තිබුණේ හතර පැත්තකින් විතරයි. මීගමු යනවනං ලේසියෙන්ම යන්ඩ තියෙන්නේ වැලිගම්පිටිය හරහා. එතනින් මීගමුවට බස් එකක් ගත්තහැකි. ඒත් ඉතිං පාරවල්වල දැන් වගේ විනාඩියෙන් විනාඩියට බස් යන්නේ නැහැ නේ. අපේ සීයත් මොකද කළේ පාන්දරම පිටත් වෙලා ඔය කියපු විදිහට වැලිගම්පිටියට පයින් ගිහින් එතනින් බස් ‍ඒකේ නැඟලා මීගමු ගිහින්.
                      සීයා සෑහෙන මහන්සි‍වෙලා තිබුණා ඉන්න හොඳම කකුළුවෝ ටික අරගන්ඩ. මම නං ඉතින් කකුළුවෝ ගැන වැඩිය දන්නේ නැහැ. ඒත් අපේ මීගමු යාළු දනුෂ්ක (ලංඩොං) කියන විදිහට නං කකුළුවෝ මැරිලා ගෙනත් උයපුවහම මස් දියවෙනවළු. අර කතාවකුත් තියෙන්නේ කකුළුවා දඟලන්නේ වතුර නටනකල් විතරයි කියලා. හැබැයි මම නං කවදාවත් දැකලා නැහැ අපේ ගෙදර පණ පිටින් කකුළුවෝ ගෙනත් උයනවා. කොහෙම හරි ඔය හේතුව ‍හින්දා වෙන්ඩත් ඇති අපේ සීයා හොඳට පණ තියෙන කකුළුවෝ ටිකක් අරගෙන ආපහු ඇවිත් තියෙනවා මුන් ටික මැරෙන්ඩ කලින් ගෙදර ගේන්ඩ.
                        සුපුරුදු විදිහට බස් එකෙන්ම ආයේ ඇවිත් වැලිගම්පිටියෙන් බැහැලා ගමට එන කරත්තෙකත් එල්ලිලා ගෙදර ඇවිත් අපේ ආච්චිට මේ කකුළුවෝ ටික දුන්නළු. දීලා කිව්වළු “මේරි නොනෝ.. මේං මං උඹට සෝක් කකුලුවෝ ටිකක් ගෙනාවා. උඹ ඉතිං කකුළුවෝ කන්ඩ ආසයි කියලා මම දන්නවා නෙව” කියලා.
                        ආච්චිටත් මාරම සන්තෝසයිළු. දැන් ඉතිං මේක උයන්ඩත් තියෙනවනේ. ඒකට කලමණා ටික ලැහැස්ති කර ගන්නකල් ආච්චි කරලා තියෙන්නේ මුන් ටිකව ටිකක් පැතලි වගේ හට්ටියකට දාලා පැත්තකින් තියලා. ආච්චිටත් ඉතින් එච්චර ගානක් නැහැල්ලු මුන් ටිකට තාම පණයි කියලා. පැය කාලකින් විතර ආච්චි කලමණා ටික ලැහැස්ති කරගෙන ආවළු මහා කකුළු සංහාරය ආරම්භ කරන්ඩ....
                        ඔක්කොම ටික ලැහැස්තියි. ම්හ්... පොඩි අවුලක් වගේ. ආච්චි බෙරහන් දෙන්ඩ ගත්තළු “පීටර් අයියේ.. පීටර් අයියේ.. මේ කකුළුවෝ ටික නැතෝ” කියලා. සීයත් ටක් ගාලා දුවගෙන ආවළු. හැබෑව නේන්නම්. ටික වෙලාවකට කලින් හැලියට දාපු කකුළුවෝ ටික අන්තරස්දාන වෙලා නේ....
                         බල බල ඉඳලා බැහැ. දැන ටිකක් වෙලාත් ගිහින් හින්දා මුන්ව හොයන්න පරක්කු කරන්ඩ බැහැ කියලා සීයා වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක වල්ලක් නිර්මාණය කරන්ඩ කටයුතු කෙරුවළු. සීයා අද හිටියනං ඔය යුද්දේ කාලේ දාපු ආරක්ෂක වළලු වලට සීයාගෙන් උපදෙස් ටිකක්වත් ගන්ඩ තිබුණා.
                         දැන් සීයට මල හොඳ එක. කරන්ඩ තියෙන්නේ එක දෙයයි.හොයා ගත්තළු දෙකේ දෙකේ පොල්ලක්. දෙන්නං අද මං උන්ට කියලා ගියාළු වැලිගම්පිටි හන්දියට. පොල්ලත් තියාගෙන රැකගෙන ඉන්නවළු වැලගම්පිටි හන්දියේ.
                         හදිසියෙන් ඔතනින් යන්ඩ ආපු සීයාගේ ගමේ සගයෙක් සීයගෙන් ඇහුවළු “මොකෝ පීටර් අයියා මේ පොල්ලකුත් තියාගෙන හන්දියේ කොරන්නේ. කා එක්ක හරි පටැලවිල්ලක් එහෙම ද” කියලා. ‍එහෙම අහලා තියෙන්නේ අපේ සීයා තරුණ කාලේ හොඳට වලි වලට එහෙම කර ගහපු ගැටයෙක් හින්දා වෙන්ඩ ඇති මගෙ හිතේ.මෙන්න සීයා දීපු උත්තරේ...
                         “නෑ බං.. මං උදේ මීගමුවෙන් පණ කකුළුවෝ වගයක් ගෙනාවා. මුන්ව හට්ටියේ දාලා තියෙද්දී පැනල ගිහිල්ලනේ. මං උදේ ඔවුන්ව ගෙනාවේ මෙන්න මේ පාරෙන්. උන් ටික මීගමුවට යන්ඩ දන්නේ මේ පාර විතර හින්දා ආයෙම යනවනම් එන්න ඕනා මෙතනින්නේ. දෙන්නංකෝ ඔවුන් ටිකගේ අඬු කැඩෙන්ඩම මෙදා පාර...”
--------------------------------------------------------------------------------------------------

ප.ලි. මගේ මේ කතා වලට අපේ මැරිච්ච සීයාවයි ආච්චිවයි ඈඳලා ගෙතීම හින්ඳා ඒ දෙන්නාට යම් අසාධරණයක් හෝ අපහාසයක් වේ නම් මගේ පවුලේ සියළු දෙනාගෙන් සමාව භජනය කරමි....

Wednesday, September 8, 2010

මගේ ආදරණීය බිරිඳට සුභ උපන් දිනයක්

ඊයේ රෑ වෙනකල් බ්ලොග් පෝස්ට් එක ලියපු හින්දා උපන් දින සුභ පැතුම් පත සම්පූර්ණ කරගන්ඩ ලැබුණේ නැහැ. මේක ‍දාන්ඩ බැර් වුණොත් ඉතින් අර කියලා තියෙන විදිහට ඇස් රතු කරන් ඉඳියි.. මම කතා කරන වෙලාවට කියයි "මගේ බබී මේ අවුරුද්දේ මගේ කාර්ඩ් එක අමතක කෙරුවා" කියලා. (ඕනෑම දෙයක් කිසි ප්‍රශ්නයක් නැතුව මට කියනවානේ...)
මහ ලොකු කලාකාරයෙක් නොවුණත් පුළුවන් විදිහට පොඩි කාර්ඩ් එකක් හැදුවා.... පොඩ්ඩක් බලන්ඩකෝ...



මිනිහෙක් හැදෙන්නේ... නැත්නම් නැතිවෙන්නේ ගැහැණික් හින්දා...



මගේ බ්ලොග් යාළුවෝ ටික දැන් බලයි ඔය උඩින්ම තියෙන හෙඩින් එකයි මේ පින්තූරයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා...
ඒ හින්දා ලිපියට කලින් ම කියන්න ඕනා මේ ලිපිය මගේ ජීවිතයේ පෞද්ගලික අත්දැකීමක් ගැන කරන විස්තරයක්. කවුරුන් හෝ පෞද්ගලික කාරණා ගැන කියවන්නට අකමැත්තක් තියෙනවා නම් ඒ ගැන මට මුකුත් කරන්න විදිහක් නැහැ..... සමාවෙන්න ඕනා....

දැනට ටික දවසකට කලින් අපේ තිස්ස අයියා ගේ හද ගී පොතේ පෝසට් කරලා තිබුණා ‘මා සුකුමාලී - ම හද දිනූ රමණී’ කියලා අගනා ලිපියක් එක්ක ලස්සනම ලස්සන පැරණි රසාංගයක්. කාට හරි ඒක බලන්න බැරිවුණා නම් කියවලා, සින්දුවත් අහන්න. ඒක මේ ලිපිය බලන්න හොඳ පූර්විකාවක් වෙයි.
          ඒ‍ ලිපියේ ලස්සනට විස්තර කරලා තියෙනවා ආදරණිය බිරිඳගේ ගතිගුණ.
ඒකේ තියෙන හැම වචනයක් ගානෙම ‘මගේ බිරිඳ ගැනත්’ මම ඒ ලිපිය සමඟ එකඟ වෙනවා. මේ දාලා තියෙන පින්තූර වලත් තියෙන්නේ ඒ සම්බන්ධ එක උදාහරණයක් විතරයි. මේ
තියෙන්නේ මගේ අළුත්ම වාහනේ. මගේ ජීවිතේට අළුතින්ම එකතු වුණ දේ. මේක මට අරගන්න හේතු වුණේ මගේ බිරිඳ..... සමහර විට ක‍වුරුත් විශ්වාස නොකරන්නත් පුළුවන්.

          මම පිටරට රැකියාවකට ඇවිත් දැනට අවුරුදු 4 කට වැඩියි. පළමුවෙනි පාර නිවාඩු ගියේ අවුරුදු 3 ක් එක දිගට රැකියාවේ නිරත වෙලා. ඒ අවුරුදු 3 ඇතුලත මගේ ජීවිතේ අහිමි වීම් ගොඩක් වෙලා ජීවිතේ ගැන බොහොම කළකිරිලා හිටියේ. අපේ මාරයා තුමා දැන් කියන විදිහේ කවි, සින්දු සෑහෙන්න නෙමෙයි නොසෑහෙන්න ඒ දවස් වල මමත් කිවුවා. ඒත් අවුලක් නොකර ගන්නට මට ‘දේවස්ථානය’ ඉවහල් වුණා. කොහොමෙන් හරි මහින්ද මහත්තයාට කලින් ‘මතට තිත’ සංකල්පය මම ක්‍රියාත්මක කරන්ඩ පටන් ගත්තා (ඊට ඉස්සර හොඳට නාපු මම).
          ඒත් මම රට හිටපු අවුරුදු 3 ඇතුලත මට කියලා කර ගත්ත දෙයක්වත්, ඉතුරු කරපු සතයක්වත් තිබුණේ නැහැ. ලංකාවට යද්දි ගෙනියන්න තිබුණේ රුපියල් 200,000 ක් විතරයි. ඒකෙන් ටීවී එකකුයි, Discovery බයික් එකකුයි ගත්තා.
          ඒ නිවාඩු කාලේ එපාම වුණු දේ තමයි අම්මගේ කැමැත්තට ‘විවාහ යෝජනා’ බලන්ඩ යන එක. මට ඒ හැමෝගෙම අඩු පාඩු පෙණුනා. එක්කෙනෙක්ගේ දත් කහ පාටයි, එක්කෙනෙක් කොටට අඳින්නේ, තවත් කෙනෙක් ඩෙනිම් කාරියක්, තවත් කෙනෙක් කෙට්ටු වැඩියි...... ඔය එකෙක්වත් එපා කියලා ආයේ රට යන්ඩ ලැහැස්ති වුණා.
          ම‍ට බිරිඳව මුණ ගැහුණු එක කිසි කෙනෙකුට විශ්වාස කරන්ඩ බැරි හාස්කමක්. මගේ නිවාඩුව ඉවර වෙන්න තියෙද්දි වෙනත් වුවමනාවකට මට සිද්දවුණා තව දවස් 9ක් වැඩියෙන් නිවාඩු අරගන්න. ඒ අතරේ මට පණ වගේ ආදරේ කරන නැන්දා කෙනෙක් (මං හිටපු රටේම හිටියේ) ම‍ට ආරාධනා කෙරුවා එයා දන්න අඳුනන ගෙදරක යාච්ඤාවකට රෑ එළි වෙනකල් (සර්ව රාත්‍රික). යන්න බැහැම කියලා ඉඳලා රෑ වෙලා අන්තිම මිනිත්තුවේ තීරණය කළ යනවා කියලා. ඒ ගෙදර හිටියා ලස්සන ගෑණු ළමයෙක්. කොල්ලෝ කොහොමත් ‘ලස්සන ගෑණු ළමයෙක්’ දැක්කොත් විස්තර හොයනවානේ. කතාවෙන් කතාවෙන් ‘මෙයාට කොල්ලෙක් නැහැ... යෝජනා හොයනවා.. මට වඩා අවුරුදු 2 ක් බාලයි...’ ඔය ටික ඇතිනේ ඔය වෙලාවට..... ගෙදර යනකල් කෙල්ල දිහා බල බල හිටියා. මුකුත් ඇහුවෙත් නැහැ. කිව්වෙත් නැහැ.
          පහුවදා කෙලින්ම ගියා නැන්දලාගේ ගෙදර. නැන්දගෙන් ඇහුවා කෙල්ල ගැන. විස්තර ටික නම් ප්ලස්  (+).. ආයේ රට යන්ඩ තව දවස් දෙකයි. කල්පනා කළා මොකද කරන්නේ කියලා. පහුවදා බයිසිකළෙත් අරගෙන තනියම ම කෙලින්ම කෙල්ලගේ ගෙදර, කෙල්ල ගෙදර නැහැ. වැඩට ගිහින්. අම්මයි තාත්තයි ඉන්නවා. හිතට වීරිය අරගෙන (හාට් එක දඩ බඩ ගාලා ගැහෙනවා) කෙලින්ම ඇහුවා “තාත්තේ, මට ඔයාලගේ දුව ගැන අදහසක් තියෙනවා. මම කැමතියි එයාව බඳින්න. මොකද කියන්නේ..? කියලා ඉවර වෙලා හැලුවා මගේ පොඩි කාලේ මරඳ වැල්ලේ ඉඳලා, පෙම් කතා ඇතුළු ස්ටෝරි ඔක්කොම දෙන්න දෙමහල්ලෝ ඉස්සරහ. මගේ අමද්‍යප වැඩසටහනටත් 100% යි. මෙහෙම උත්තරයක් හම්බවුණා. “පුතේ ඔයා හෙට රට යන්ඩ ඉන්න හින්ඳා මේ ගැන වැඩිය කලබල වෙන්ඩ එපා. අපි ඔයාව දැක්කේ දවස් දෙකයි. ඔයා ගැන කිසි දෙයක් දන්නෙත් නැහැ. දුව මේකට මොනව කියයිද දන්නෙත් නැහැ. මොකද එයා රට ඉන්න අයට කැමති නැහැ. මොනව වුණත් ඔයා කෙලින්ම කාරණේට ආපු හින්දා අපි මේකට මුල් තැන දෙන්නම්. ඔයා නෙගටිව් නොවී යන ගමන පරිස්සමින් යන්න” කියලා. මමත් හොඳයි තාත්තේ කියලා කෙල්ලගේ මූනවත් බලාගන්න බැරිව පහුවෙනිදා ආයෙම රට ආවා.
          කතාවේ හොඳම හරිය තියෙන්නේ මම මුලින්ම එහේ යද්දි මගේ බයිසිකලේ සද්දේ ඇහුණු වෙලාවේ එයාට දැනිලා තියෙනවළු ‘මේ එන්නේ එයාට හිමි කෙනා’ කියලා (ඇයි දෙයියනේ ඕක මට ඒ වෙලේ කියන්ඩ තිබුණනේ. එහෙම වුණා නම් මගේ පපුවේ බිත්තර තැම්බෙන්නේ නැහැනේ.) මම එහේ යන්න කලින් එයා දෙමව්පියන්ට කියලා තියෙනවා ‘මම රට යන්ඩ මිනිත්තුවකට කලින් හරි ඇවිත් එයා ගැන යෝජනා කරනවා කියලා (මේ ගෑනුන්ට මාර ඉවක්නේ තියෙන්නේ).
          රට ඇවිත් හරියටම සුමානයක් ඇතුලත එයා‍ලා අර නැන්දත් එක්ක අපේ ගෙදර ගිහින් විස්තර හොයලා. ගෙදර මිනිස්සු පුදුම වෙලා මඟුල් එපා කිය කිය හිටපු මම කරපු මේ වැඩේ ගැන. බලද්දි මං අර හලපු ස්ටෝරි ඔක්කොම අපේ ගෙදරින් දීපු රිපෝට් එකත් එක්ක ටැලි වෙලා. වැඩේ ගොඩ ටෙලිෆෝක් කෝල් එකක් ආවා කෙල්ලගේ තාත්තගෙන් “ආ පුතේ.. මේ දුවත් එක්ක ටිකක් කතා කරන්ඩ”. හිතට ආපු සන්තෝසෙට කටට වචන ආවෙත් නැහැ. කාලේ ගත වුණා. දිගට හරහට දුරකතන ලව්. මාසෙකින් විතර තාත්තා ආයේ කතා කළා.
“පුතේ වෙඩින් එක දෙසැම්බර් ගත්තොත් මොකද..?”
“අතේ සල්ලි නම් නැහැ. කමක් නැහැ කරමු..”

හැබැයි වෙඩින් එකට කලින් මම මගේ ජීවිතේ කරපු හැම දෙයක්ම, මගේ පෙම් පලහිලව්, ඒවායේ මට වැරදුනු තැන් හැම දෙයක්ම එයත් එක්ක කිවුවා. හොඳ වෙලාවට ඒ හැම දේම හොඳට තේරුම් ගන්න පුලුවන් බුද්ධියක් එයාට තිබුණා. එයා මට කිවුවේ 'ඔයාගේ අතීතේ මොනව වුණත් වර්තමානෙයි, අනාගතෙයි එයත් එක්ක හොඳින් ජීවත් වෙන්න පුළුවන් නම් අතීත කතා ප්‍රශ්නයක් නෙමෙයි' කියලා.   
          කොහොමෙන් හරි 2009 ජූලි 09 ඉඳලා දෙසැම්බර් 09 වෙනකල් මැරිලා වැඩ කරලා වෙඩින් එකට ලැහැස්ති වුණා. ‍මගේ ඇස්තමේන්තුව 550,000. නැන්දයි තව හිතවතෙකුයි 200,000 ක් දුන්නා පස්සේ ගෙවන්ඩ. ඉතුරු ටික මගෙන්. ඊට පස්සේ ජීවත් වෙන්ඩත් සල්ලි ඕනනේ.....දෙසැම්බර් 9 ලංකාවේ. 16 වෙනිදා ඉහළම විදිහට අපේ විවාහය සිද්ද වුණා. විශේෂම දේ දෙපැත්තෙන්ම ගත්ත උත්සව දෙකින් එකකටවත් අරක්කු, බියර් තියා වයින් වත් ගත්තේ නැහැ. කිසි කෙනෙකුගෙන් වචනයක්වත් නරකක් ඇහුවෙත් නැහැ. එදා මට හීනයක් වගේ. බලාපොරොත්තු නොවුණු ඉක්මනකට... ජීවිතේ එක දවසක් විතරක් දැක්ක කෙනෙක්ව.... මට තාමත් මේ සිදුවීම පුදුමයි.

හැබැයි එදා ඉඳන් තමයි මගේ ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු ඉටු වුණේ.
මාස දෙකක නිවාඩුවකින් පස්සේ (මම වැඩ කරන ආයතනය මට තමයි පලමු වතාවට මාස තුනක නිවාඩුවක් ඉවර වෙලා ඊලඟ මාස 5 න් පස්සේ තවත් මාස 2 ක නිවාඩුවක් දීලා තියෙන්නේ)
මගේ ඉවසීමක් නැති දඩබ්බරකම් වලටයි... හේතුවක් ඇතිව හරි නැතිව හරි කටින් පිටවෙන තද වචන වලට ඇස් දෙක රතු කර ගන්නවා ඇරෙන්න තිස්ස අයියගේ ලිපියේ හැම ගුණයක්ම මගේ බිරිඳ තුළින් දකිනවා. මාස දෙකකින් එයාව ලංකාවේ තනිකරලා ආවේ මෙහෙටම ගෙන්නා ගන්නයි. (උත්සහය තාම හරිගියේ නැහැ.)
          මම රට ඇවිත් හතරවෙනි අවුරුද්ද සම්පූර්ණ වෙනකොට ඒ අවුරුදු හතරටම මට කරගන්න බැරිවුණ දේ, එයාගේ  වියදමින් වටින රත්තරන් මාලයක් හදලා මට එව්වා. ජීවිතේ කවදා හරි සැබෑ කර ගන්නවා කියලා හිතුණත් කවදාවත් මට ලං කරගන්න බැරිව මගන් ඈත්ව යමින් තිබුණු පොඩි ලස්සන කාර් එකක හීනේ සැබෑ වීම තමයි අර උඩින් තියෙන ෆොටෝ ටිකේ තියෙන්නේ.
ලංකාවේ ඉද්දී වගේම මෙහෙදිත් ගිනි අව්වේ පැය ගණන් පයින් ඇවිදින කොට මාව පහු කරන් ඉගිලෙන වාහන දිහා බලලා හූල්ලලා 'අනේ මට කවදා මේකක් ලබා ගන්ඩ පුළුවන් වෙයිද' කියලා හිතුණු වාර අනන්තයි.. අප්‍රමාණයි. මම ඒ චේවල් ඇයත් එක්ක නිතරම කියලා තිබුණා.
බිරිඳ මට කාර් එකක් ගැන කියන හැම වෙලේම මගේ උත්තරේ වුණේ ‘පස්සේ බලමු’ කියලයි. මම කල්පනා කළේ අතේ සල්ලි නැතිව මෙහෙම දෙයක් කරන්නේ කොහොමද කියලයි. තවම බැඳලා අවුරුද්දක්වත් වෙලා නැහැ. ඒත් ඇයගේ වුවමනාව හින්දම මට මේක ගන්ඩ සිද්ද වුණා. “බබී ඔයත් දැන් කාර් එකක අයිතිකාරයෙක්” කියලා මේක ගෙනාපු වෙලාවේ බිරිඳ මට දුරකතනයෙන් කියපු වෙලාවේ මට දැණුන සන්තෝසේ කියලා නිම කරන්ඩ බැහැ.
          ලබන දෙසැම්බරයේ මම පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් ලංකාවට එනවා. එතකොට මම ඇයත් එක්ක මේකේ නැඟලා රස්තියාදුවේ යන හැටි මැවිලා පේනවා. මේකට තව අවුරුදු 4 ක් ගෙවන්ඩ තියෙනවා. ඒත් මගේ මුදල් පරිපාලනේ ඇයට දීලා තියෙන හින්දා ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අද සැප්තැම්බර් 8. ඇ‍යගේ උපන් දිනය. 12.00 ට කතා කරලා සුබ උපන් දිනයක් පැතුවා. තාම වැටුප් ලැබුණේ නැති හින්දා මුකුත් යවන්න වුණේ නැහැ. මගේ ලඟ තිබුණු E71 ෆෝන් එක ලංකාවට ගිය කෙනෙක් අතේ යැව්වා. ( දැනට මට මගේ පරණ එක තියෙනවා). ඒක හම්බවෙලා. ඇය මට කතා කරලා කියනවා “බබී ඇයි ඔයා මට ඔය ෆෝන් එක එව්වේ. ඒක ඔයා ආසම කරන ෆෝන් එක. දැන් ඔයාට ෆෝන් එකක් නැතිව ඇති. මට හරි දුකයි” කියලා. හැබැයි එතකොට දුක හිතුණේ මට. එයාට අළුත් ෆෝන් එකක් යවන්ඩ බැරි වීම ගැන.
මට කතා කරන හැම වෙලාවකම කියන්නේ “බබී ඔයා ඔහෙට වෙලා දුක් විඳිනවා. ලංකාවට එන්ඩ. අපි පුළුවන් විදිහට ජීවත් වෙමු” කියලා. මම හිතන්නේ ඇයගේ ඒ ඉල්ලීම මට බොහොමත්ම ලඟදි ඉටු කරන්ඩ වෙයි...”
(හැබැයි දැන් ඉතින් පිස්සා වගේ පිස්සු නටපු එව්ව නම් ඉවරයි)

දැන් තේරෙනවා නේද හෙඩින් එකෙයි... ෆොටෝ අතරයි තියෙන සම්බන්ධය.... අපි තවම ජීවිතේ පටන් ගත්ත විතරයි.. තව ගොඩක් දුර යන්ඩ තියෙනවා.. මන් දන්නවා ඒ කාලයේදී මගේ බලාපොරොත්තු හැම එකක්ම ඉටු කර ගන්ඩ මගේ බිරිඳ පිටිපස්සේ ඉඳන් නෙමෙයි.. ඉස්සරහා ඉඳන් මාවත් ඇදගෙන යයි කියලා...
ජීවිතේ කඩලා දාලා.. කබාසීනියා කරලා.. නැතිම කරලා දාන කෙල්ලෝ අතරින් (මගේ බ්ලොග් එකේ යෙහෙළියනේ... ඔයාලා නෙමෙයි...) මගේ බිරිඳ වගේ ආදරේ කරන්න දන්න, ගුණ යහපත්, මිනිහෙකුට දියුණු වෙන්න උදව් දෙන, දුකේදිත් සැපතේදිත් හැම මොහොතකම ලඟ ඉන්න බිරිඳක් හොයා ගන්න ලැබෙන කොල්ලෝ වාසනාවන්තයි කියලා මගේ මේ කෙටි සටහන නවත්වන්නම්....
(අපේ තනිකඩ කොල්ලෝ හැමෝටම යම් දවසක මෙවැනි බිරිඳක්ම ලැබේවා කියලා පතනවා..)

ප.ලි./ ‍දිග වුණත් කොටස් වශයෙන් දැම්මොත් මේකේ නියම වටිනාකමට හානියක් වෙන හින්දා සම්පුර්ණම දැම්මේ. අමාරුවෙන් හරි මේක කියෝපු ඔයාලා හැමෝටම .... බොහොම ස්තූතියි .......

Saturday, September 4, 2010

කරන පින් මිස, මරණින් මතු ගෙන යාමට දෙයක් නොමැත....

මේක මට මගේ මිතුරෙකු එවා තිබූ විද්‍යුත් ලිපියකින් පිටපත් කළ එකක්....ඇත්තටම මම නම් මේ දේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මම බෞද්ධයෙක් නොවුණත් මෙහෙම දෙයක් දැක්කහම යම් දෙයක් කිරීම මගේ යුතුකමක් කියලා හිතුණා. ඒ හින්දා මම මගේ ‍බ්ලොගය ප්‍රයෝජනයට අරගෙන මේ ගැන පුළුවන් අයට දැනුම් දෙන්න උත්සහා කරනවා. ලංකාවෙන් පිට ඉන්න හින්දා හරි විස්තරයක් හොයාගන්න අමාරුයි. ඒ හින්දා ලංකාවේ ඉන්න අපේ සහෝදර සහෝදරියෝ මේ සම්බන්ධයෙන් හොයලා බලලා වීමට අවශය කුමක්ද කියලා අවශ්‍ය නම් ජාලේ අයව දැනුවත් කරයි කියලා හිතනවා. 
---------------------------------------------------------------------------------------------------------------------
Dear All, 
Please spread the word among all the religious people (may it be a Buddhist or non Buddhist ) whom you may think be able to give some kind of a donation to support the noble service done by the head priest of this temple. 
May the blessings of the noble triple gem with you! Thank U 












May you be well and happy,
Ven. Bodhicitta. 


Dear friends,
 
Two weeks I visited a 150 year old temple in a village named Wallawe in Polgahawela. The chief incumbant of this temple is Ven. Amilasiri who is doing a noble, unique service to the sasana in silence. He is accomadating 12 old debilitated destitute priests who have been abandoned as there is no one to care for them in their old age.Ven Amilasiri gets very little help from the village due to poverty, and he depends on the occasional donations he gets.
 
The very ill priests are housed in a separate building. The beds in this building
 
are in a very dilapidated condition.
 
The matresses are all very dirty and some dont even have bed sheets. Some priests cannot walk to the toilets and urinate on the bed it self .
 
In addition there are 23 samanera monks. All of whom are children who have been abandoned by their parents for various reasons. When they reach the correct age they are sent to pirivenas for their education'
 
Ven. Amilasiri has been attending to washing and cleaning the sick priests and their soiled clothes personally. He never allowed the young samaneras to get involved lest they get disgusted of the monastic life. He wakes up at 3am to cooks all by them the dane for the rest of the priests
After visiting and seeing the challenging work done by Ven. Amilasiri we as buddhists realised that we need to support him to carry on with his noble work.
 
On inquiring we learnt that he needs to cook 8 kgs of rice per day . On sundays he goes on pindapathe with 3 other samanera monks and collects the rations for the.
 
So let us get together to help Ven. Amilasiri to do this noble work. If you wish to visit his temple it is situated in a village called Wallawe which is 4 1/2 km from Polgahawela junction on kurunegala road. There are 2 approaches one is a road on the right side after the 18th km post soon after you pass the petrol filling station and a bridge. The other is after the 19th km post, the first turn to the right If you take the first turn always keep to the right, and if you take the 2nd turn always keep to the left. You drive about 2 1/2 km down to come to the name board Sri Bodhirukkarama temple on the right. Turn here and drive down the path which ends in the temple.
 
Some useful items to take if you visit would be, Rice Dhal milk powder tea sugar bedsheets, mackintoshes books for the samaner monks. etc.
 
If you need further information please contact me on 0718436954, Residence 0112864519, surgery 0112873160 or Ven. Amilasiri on 0779853518 or 0716269713
 
Some pictures are attached.
 

With metta,
 
Shriyani.


Thursday, September 2, 2010

උණ කතාව....

      හැමෝම බලයි මොකක්ද මේකා මේ ගමන දාන්ඩ හදන්නේ මේ උණයක් ගැන කියලා. කලබල වෙන්ඩ එපා. මේක මේ මී උණ’, ‘ඩෙංගු උණවගේ නම ඇහෙනකොටත් බය වෙන උණයක් නෙමෙයි. අපි හැමෝම හොඳට දන්න, ඒත් ඒ ගැන වැඩිය නොහිතන, අපේ ජීවිතයට ගොඩක් ආදර්ශයක් වෙන උණ ගහ ගැන පොඩි දෙයක් ලියන්ඩයි හදන්නේ.....


      උණ ගහේ විද්‍යාත්මක පැත්ත ගැන මම කිසි දෙයක් දන්නේ නැහැ. මට මතකයි ටික දවසකට කලින් බ්ලොක් ගඩොල් ඒකේ පුරුපුරු ලියල තිබුණ මී හරක් කතාවෙත් උණ බට කේස් එකක් තිබුණා.
අපි පොඩි දවස් වලත් උණ බට වලින් වැඩ ගොඩක් ගත්තා. (දැන් නම් වෙලාවත් මදි.. උණ බට හොයා ගන්නත් අමාරුයි..)
      වෙසක් කාලෙට කූඩු හදන්න, අවුරුදු කාලෙට වෙඩි පත්තු කරන්ඩ, රොබින් හුඩ් කරන කොට රොබින්ගේ කඩුව හදන්ඩ, ටාසන් කරද්දි ගස් උඩ අට්ටාල ගහන්ඩ, ගං වතුර කාලෙට කෙහෙල් කොට වලින් තෙප්පම් හදද්දි ආධාරක විදිහට බඳින්ඩ, ඒ තෙප්පම් වල රිටි ගහන්ඩ.... මතක් වෙද්දි ආයෙත් ඒ කාලෙට යන්ඩ හිතෙනවා.

      එහෙනම් ඉතින් පරණ කතා දැනට පැත්තකින් තියලා පටන් ගත්ත කතාව ලියන්නම්කෝ....
ඇත්තටම මේ උණ කියන්නේ ස්වභාව ධර්මය අපිට දායාද කරපු අපේ ජීවිත වලට පාඩම් ගොඩක් ගන්න පුළුවන් දෙයක්
      මේ අතරින් මම දෙක තුනක් ගැන විතරක් සඳහන් කරන්නම්. කවුරුත් දැකලා තියෙනවද උණ ගස් තනි තනිව හැදිලා තියෙනවා....? මම නම් කවදාවත්ම දැකලා නැහැ. උණ ගස් වැවෙන්නේ පඳුරු විදිහට. ඒ හැම එකක්ම ශක්තිමත් විදිහට එකින් එකට බැඳිලා තියෙනවා. ඒ හින්දා උණ ගහක් තනිව වෙන් කරලා කපා ගන්න එක ටිකක් අමාරු වැඩක් (පුරුපුරු එහෙම දන්නවා ඇති ඒක හොඳටම)
ඒ වගේම තමයි මොන තද හුලඟක් ආවත් උණ පඳුරක් ලේසියෙන් බිම දාන්ඩ බැහැ. උණ ගස් වලට වඩා සවි ශක්තිය වැඩි විශාල ගස් තද හුලඟට පෙරලෙනකොට උණ ගහ හුළං අතට නැමිලා නොවැටී ඉන්නවා.
අපි.. අපි ගැනම කල්පනා කරලා බැලුවොත්..... අපිට පුළුවන්ද මේ උණ පඳුරු එකට බද්ධ වෙලා තියෙනවා වගේ අපි එකිනෙකා ට බද්ධ වෙලා ඉන්න...?
      අපි හැමෝම එකට ඉන්නකොට එක්කෙනෙක්ට කරදරයක් වෙන්න තියෙන හැකියාව ඉතාම අඩුයි.. ඒ වගේම ඕනෑම ප්‍රශ්නයකට අපි එක්ව ඉඳන් මුහණ දෙනවා නම් බොහොම නම්‍යශීලී විදිහට ඒ ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීලා නොවැටී කෙලින් ඉන්න අපිට පුලුවන් වෙනවා.

      ඒ වගේම උණ ගහ කියන්නේ ගොඩක් උස යන ගහක්. මේ උණ ගස් කොච්චර උස ගියත් ඒ තරමටම පොළොවට බර වෙනවා. නැඹුරු වෙනවා.තමන්ව හැදෙන්න පෝෂණය දෙන මිහි තලයට කරන ගෞරවයක් වගේ පොළව දිහාට තව තවත් පහත් වෙනවා.
      ඔය දේ අපේ ජීවිතයට අරගෙන බැළුවොත් අපි ඉහළ යන තරමට අපිට බැහැපත් වෙන්න පුළුවන්ද කියන කාරණේ ගැන ආයෙම අමුතුවෙන් හිතන්නට වෙනවා. මම ඉහළට යන තරමට මගේ වටේ ඉන්න අයට, මට උදව් උපකාර කරන අයට, මගේ ජීවිතේ ගැන හිතන අයට, මං ඉන්න සමාජයට බැහැපත් වෙනවද...? එහෙම නැත්නං හිස උදුම්මවගෙන අනිත් අය නොපෙණෙන විදිහට ඉන්නවද..?
      මං අඩියක් ඉහළට යන කොට මට පහළ ඉන්න කෙනාව පේන්නෙ නැත්නං මං වගේ ආත්මාර්ථකාමී මෝඩයෙක් මේ ලෝකේ තවත් නැති වෙනවා. අර කෙළින් ඉහළට ගිහිල්ලා තනිවෙච්ච ලොකු ගස් හුළඟට පෙරළෙනවා වාගේ මාවත් වැටෙන දවස වැඩි ඈත නෙමෙයි.
      එහෙම නැතුව මටත් පුළුවන් වෙනවා නම් උණ ගහ පහත් වෙනවා වගේ බැහැපත් වෙන්ඩ, මං කවදාවත් වැටෙන එකක් නැහැ.මං එහෙම කරනවා නම් මං තරම් නුවණක්කාරයෙකුත් මේ ලෝකේ නැති බව නිකම්ම ඔප්පු වේවි......
(මේ බැහැපත්කම ගැන පුද්ගල චරිතයක් එක්ක කතාවකුත් තියෙනවා. ඒක ලඟදි වෙන පෝස්ට් එකක් විදිහට දාන්නම්...)

      උණ ගසේ මේ කතාව නවත්වන්න කලින් උණ ගසේ එල්ලපු ලන්තෑරුම ගැන පොඩි කතාවකුත් කියලා ඉවර කළොත් හොඳයි කියලා හිතුණා.
      බොහොම ඉස්සර අපේ ගමක හිටපු කට්ටියක් කුඹුරු වපුරලා, ගොයම් පැහෙන කාලේ ආවම ගොයම් කපලා, කමතට දාලා තිබ්බළු රෑ වරුවේ ගොයම් පාගන්න හිතාගෙන. රෑ වෙද්දි කට්ටිය මෙතෙන්ට එකතු වුණාළු වැඩේ පටන් ගන්න කියලා. රෑ අන්දකාර හින්දා ලන්තෑරුමකුත් පත්තු කරන් ආපු අපේ ගොයියෙක් ඒක එල්ලන්න කියලා, කමත අයිනේ තිබුණු උණ ගහක් අමාරුවෙන් ඇදලා පහත් කරන් උණ ගහේ කෙළවරේ එල්ලල උණ ගහ අත ඇරියළු.
      හිතා ගන්න පුළුවන්නේ වෙච්ච දේ. රූං... ගාලා සද්දයක් ආවා විතරළු, ලන්තෑරුම ගිය දිහාවක් හොයාගන්න නැතිලු. මොනව කරන්නද..? කළුවරේ වැඩකරන්ඩ පුළුවනෑ... කට්ටිය ලන්තෑරුම හොයන විදි ගැන කතා කරනවළු. මෙන්න එතකොට එකෙක් කියනව...
      “අපි ඒ උණ ගහ ආයෙම පාත් කරලා ලන්තෑරුමේ බරට සමාන බරක් තියෙන ගලක් එල්ලලා කලින් වගේම අතඅරිමු. අනිවාර්යයෙන්ම ඒ ගල හිහින් වැටෙන තැන ලන්තෑරුම තියෙන්ඩ ඕනෑ” කියලා.
      අපේ කට්ටියත් ඒ කියපු විදිහටම ගලක් එල්ලලා අතඇරලා. කතාව ඇත්ත. ක්‍රමේ තිතටම වැඩ කරලා...

‘ස්ලාං.....’ ගාලා හොඳ සද්දයක් එහෙමත් ආවළු...

(ප.ලි.  මගේ ලිවීමේ භාෂා හැසිරවීම ටිකක් දුර්වලයි. ව්‍යාකරණ වැරදි, පද නොගැලපීම්, කරුණු එකිනෙකට බද්ධ කරලා තියෙන විදිහේ අඩුපාඩු එහෙම තිබුණොත් හදාගෙන බලන්ඩ... දකින වැරදි ඔක්කොමත් පහත ලියන්ඩ හො‍‍‍‍ඳේ...)
යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails