බටගම සීරිස් එකේ දාපු කතා වලට ආපු ප්‍රතිචාර වලින් කියවිලා තිබුණා මේ කතා තුම්පනේටත්, මතුගම පැත්තේ තවත් ගමකටත් සම්බන්ධවත් තියෙනවා කියලා. ඒ කතාව ඇත්ත. කොඩිගසේ කතාව හැර අනෙක් හැම කතාවක්ම ගොතපුවා. ඒත් බොහොම ආඩම්බරයෙන් කියනවා ‘කොඩිගහේ කතාව’ බටගමට පමණයි කියලා. ඒත් ඒ කතාව මට පලකරන්න බැරි අන්තිම පේලිය බ්ලොගයේ පල කළ කතාවක් මගේ බ්ලොගයේත් පල කිරීම සදාචාරසම්පන්න නැති බව දන්න හින්දයි. ඒ හින්දා ඒ කතාව අන්තිම පේලිය බ්ලොගයෙන් කියවල, ඒකට මං දාලා තියෙන ප්‍රතිචාරයත් කියෙව්වොත් කතාව සම්පූර්ණ වේවි. ඒ වගේම මේ කතා වලට මගේ සීයා සහ ජුවන් කියන චරිත සම්බන්ධ කළේ, වෙන කාගේ හරි නමක් සම්බන්ධ කරලා දැම්මොත් මට අම්බානකට කන්ඩ වෙයි කියන බයටයි... සීයා මැරිලා හින්දාත් ගමේ හිටපු ජුවන් කියන මනුස්සයෙක් ගැන මම නොදන්න නිසාත් මට ගුටි කෑමේ අවස්ථාවක් එන්නේ නෑනේ. ඒ කොහොම වෙතත් මේ හැම කතාවක්ම තම තමුන්ගේ ගම් වලට සම්බන්ධ කරගත්තට මගේවත්, මේ කතාවලට සම්බන්ධ ගම් වල වැසියන්ගේවත් කිසිම අමනාපයක් හෝ අකමැත්තක් නැති බව පාඨකයෝ කරුණාවෙන් සලකත්වා....
පරණ කතා තුන බැළුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
ඔය බයිල ගහ ගහ ඉඳලා තව පොඩ්ඩෙන් අද කතාවත් කියන්ඩ වෙලා මදි වෙනවා....
බටගම සීරිස් එකෙන් අද දෙන්ඩ යන්නේ හොරු ඇල්ලීමේ කතාවයි.
මම කලින් හඳට පොළු ගැසීමේ කතාවේ කිව්වනේ අපේ සීයයි, ජුවනුයි රෑ වරුවේ ගම වටේ ඇවිදින්න යනවා කියලා මුර සංචාරේ සහ දඩයමේ. සාමාන්‍යයෙන් ගම් වල තියෙන ප්‍රශ්නයක් තමයි ‘හොරු’ කියන කට්ටියගෙන් වෙන කරදර. ඒ කාලේ හොරු නං ඉතින් දැන් හොරු වාගේ ජරා විදිහට හොරකම් කරන්නේ නැහැ. ගෙදර මිනිස්සු නැත්නම් දොර කඩනවා. එහෙම නැත්නම් වහලෙන් පනිනවා. එහෙමත් නැත්නම් බිත්තිය හෝ අත්තිවාරම යටින් හාරනවා. ඕකට කියන්නේ ‘ගෙවල් බිඳිනවා’ කියලනේ.
ලොකු වලව්වක ඇරෙන්ඩ ඔය පොඩි පොඩි ගෙවල් වල අත්තිවාරම යටින හාරන එක එච්චර අමාරු කාරියක් නෙමෙයි. එහෙම කරලා හොරකම් කරන්නෙත් සල්ලි ටිකක්, රත්තරන් බඩු ටිකක් එහෙම තමයි. එහෙමත් නැත්නම් වත්තේ පිටියේ තියෙන කෙහෙල් කැනක්, එළවළු ටිකක්, බුලත් කොරටුවේ බුලත් ටිකක් එහෙමත් හොරකම් කරන වෙලාවල් එමටයි. මේ.. මේ.. මට එහෙම කිව්වා කියලා මට එහෙම ඔය පුරුදු නැහැ හොඳේ.
මේ සිද්ධිය වුණ දවසට දවස් දෙක තුනක් කලින් අපේ සීයලගේ ගෙදරට කිට්ටුව ගෙයක් හොරු බිඳලා. ගෙදර තිබුණු සකල සබ්බමනාවම උස්සගෙන ගිහින්. මේ හේතුව හින්දා අපේ ආච්චි බයේ ඉඳලා තියෙන්නේ කවදා හරි එයාලගේ ගෙදරටත් හොරු පනී කියලා. මොකද, සීයත් හැමදාම රෑ වරුවේ එළියේ මුර සංචාරෙනේ. අපේ ආච්චි මේ ගැන සීයට කංකෙඳිරි ගාපු වෙලාවේ සීයා ආච්චිට කිව්වළු “උඹට පිස්සුද මේරි නෝනේ... මං ගැන දන්න එකෙක් අපේ ගෙදර බිඳින්න එයිද? ආවොත් ඉතිං ඒ පිටින් ආපු එකෙක් තමයි. උඹ බය නැතුව හිටපන්” කියලා.
ඒ වුණාට ආච්චිගේ හිතේ තිබුණු බය ගිහින් නැහැ. ඒ හින්දා ආච්චි ජුවන්ට කියලා “අනේ ජුවන්.. මේකට මොනව හරි කරපන්. මේ හොරු හින්දා මට බයේ බැහැ” කියලා. පහුවදා ජුවන් හැමෝටම හොරෙන් හොරු අල්ලන්ඩ ඕනේ කරන කළමනා ටික ගෙදරින් ගෙනත් තියලා. කරන දෙයක් කරන්ඩ ඕනෙත් සීයට හොරෙන් නේ. නැත්නම් විනාසයි.
එදා රෑ ජුවනුත් මොකද කළේ, සීයව ඉස්සෙල්ලා පිටත් කොරලා, ආච්චිටත් ගේ ඇතුලට වෙලා හොඳට දොර වහගන්ඩ කියලා, අර දවල් ගෙනත් තියාපු දේවල් නියම විදිහට ලැහැස්ති කරලා ගේ වටේටම දැම්මා. කට්ටියට හිතාගන්ඩ පුළුවන්ද මොනවද මේ දැම්මේ කියලා....
‘පපඩම්.... හොඳට බැදපු පපඩම්’...
දාලා ඉවර වෙලා කිව්වළු “නෝනේ... හදිසියේ හරි ‘සර.. සර..’ ගාලා සද්දයක් ඇහුණොත් හයියෙන් කෑ ගහන්ඩ ‘හොරු එනවෝ කියලා’..”.මෙහෙම කියලා සුපුරුදු විදිහට අර ගොරක පොල්ලත් අරගෙන සීයාගේ පිටිපස්සෙන් සංචාරේ ගියාළු. කොහොමෙන් හරි දෙන්නත් එක්ක මුර සංචාරේ ඉවර වෙලා ඇවිත් බලනකොට ගෙදර අමුත්තක් පේන්ඩ තියෙනවළු. ගෙයි දොර ඇරලා දාලා.... ගේ ඇතුලෙන් කෙඳිරිගාන සද්දයක් ඇහුණළු. සීයත් ඉක්මනට ඇතුලට දුවලා බලලා මොකද වෙලා තියෙන්නේ කියලා.
කිරි අප්පේ... ආච්චිව කිටි කිටියේ බැඳලා දාලා, ගෙදර තිබුණු රත්තරන් බඩු, සල්ලි සේරම හොරු උස්සන් ගිහින්...
මදෑ ජුවන්ගේ හොරු ඇල්ලිල්ලේ හපන්කම්....
(මේ පින්තූරේ පපඩම් ටික දාලා තියෙද්දි ගත්ත එකක්. අපේ සීයත් ඔය ඉදන් ඉන්නේ)
හිතාගන්ඩ පුළුවන්ද මොකද වෙලා තියෙන්නේ කියලා.
ජුවන් හොඳට බැදලා දාපු පපඩම් ටික රෑ පින්නට පෙඟිලා. පෙඟුණු පපඩම් වලින් ‘සර.. සර..’ තියා මොන සදද්යක්වත් ඒවියෑ.....
පස්සේ ඔය හොරු ටික වෙන ගෙයක් බිඳින වෙලාවක අපේ සීයට පින් සිද්ද වෙන්ඩ අල්ලගෙන, අර ජුවන්ගේ ගොරක පොල්ලේ ඇඹුල් රහ දැනෙනකම් කාලා තිබුණා. උන් කියපු විස්තරේ හැටියට එදා හොරු ඇවිත් තියෙන්නේ සීයගේ ගෙදරට අල්ලපු ගෙදර බිඳින්ඩ. සීයගේ ගේ වටේ පපඩම් තියෙනකොට දැනගෙන තියෙනවා ගෙදර කවුරුත් නැති හින්දා මේක මේ හොරුන්ව රවටන්ඩ කරපු උපායක් කියලා. අන්තිමේ පපඩමුත් නැහැ.. ගෙදර තිබුණු සල්ලියි, රත්තරන් බඩු ටිකයි ත් නැහැ..
ප.ලි. අවවාදයයි : පින්න ඇති කාලයේදී හොරු ඇල්ලීම සඳහා පපඩම් දැමීමෙන් වලකින්න.
- ඊලඟ දවස් ටිකට බටගම සීරිස් එක ටිකක් නවත්තලා මගේ හිතට දැනුණු අත්දැකීම් ටිකක් ලියන්ඩ හිතන් ඉන්නේ.... –