ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Saturday, July 16, 2011

අවුරුදු දෙකකට පෙර මතකයක්......



ඇත්තටම මේ පෝස්ට් එක දාන්න හිටියේ ඊයේ... ඒත් දුප්පත් පරිගණකයේ තාක්ෂණික දෝෂයක් හින්දා ඒ දේ කරන්න බැරි වුණා. කාලෙකට පස්සේ දාන එකක් වුණත් බොහොම වැදගත් මතකයක් කෙටියෙන් සටහන් කරන්නයි හදන්නේ.
දින වකවානු වලින් ගත්තොත්...... මීට අවුරුදු දෙකකට කලින්....:


2009 ජූලි 05 - ජීවිතයේ පළවෙනි වතාවට මගේ බිරිඳව ඇගේම නිවසේදී මුණ ගැසීම...... යන්තම් කතා කිරීම...... කිසිම අදහසක් නැතිව යම් විස්තර කිහිපයක් පමණක් දැන ගැනීම. (උදා: වයස, කිසිදින කොල්ලෙක් සමඟ යාළු වී නැති බව)


2009 ජූලි 06 - බලාපොරොත්තු නොවූ පරිදි නැවත වතාවක් ඇයට දැක ගැනීමට හැකිවීම සහ ඇය තුළ වූ මා නැවත දැකීමේ බලාපොරොත්තුව ඉටුවීම වගේම ඇය සමඟ දෙවන වරට කතා කිරීම. එදින රාත්‍රිය පුරාවටම ඇය ගැන සිතීම සහ ඇය පිළිබඳ වූ සිතුවිල්ල නිසා ඇයට මංගල යෝජනාවක් කිරීමට අදහසක් පහළ වීම.


2009 ජූලි 08 - ඇගේ නිවසට ගොස් මා කාගේ කවුදැයි කොහේදැයි නොදන්නා ඔවුන් මෙන්ම ඇයවත් නොදන්නා ඇගේ දෙමාපියන්ගෙන් ඇය හා විවාහ වීමට අවසර ඉල්ලා සිටීම.


2009 ජූලි 09 - ඇය හා කතා කිරීමටවත් නොමැතිව නිවාඩු කාලය අවසන් වීම හේතුවෙන් කටාර් හි දැවෙන ගිනියමට නැවත පැමිණීම.


2009 ජූලි 09 සිට 15 - ඇගේ දෙමාපියන් මගේ නිවසට යාම, මගේ මව කියූ දේවල් හා මා කියා ඇති දේවල් සන්සන්දනය කර තීරණයකට එළැඹීම.


2009 ජූලි 15 - පරිවාස කාලයකට යටත්ව සම්බන්ධතාවයක් ගොඩනඟාගැනීමට හෙවත් විවාහයට අවසර දීම සහ ඇයත් සමඟ ජීවිතයේ තුන්වැනි වරට කතා කිරීමට හැකි වීම.


2009 ජූලි 15 - විනාඩි කිහිපයක් ගතවෙන්නටත් පෙර පරිවාස කාලය අවසන් වීම......


                                       ඔන්න ඔය කාරණා ටික තමයි ජූලි මාසය තුළ මගේ ජීවිතයේ වුණු වැදගත්ම සිදුවීම්  කිහිපය. ඔය කරුණු ටික ඇතුලේ කිසිම කෙනෙකුට තේරුම් ගන්ඩ බැරි මහා ලොකු දෙයක් තියෙනවා. සමහරු ඒ දේ පිළිගන්ඩ පුළුවන්. තවත් සමහරු නැහැයි කියන්ඩ පුළුවන්. ඒත් මං ලබපු අත්දැකීම අනුව, මං අදහන කතෝලික ධර්මයට අනුව යාච්ඤාව කියන දේ ඒතැනදි ගොඩක් බලවත් වුණා. මොකද මට ඇයව මුණ ගැහුණෙත් ඇගේ නිවසේ තිබුණු යාච්ඤාවක් නිසා. ජා-ඇල ඉඳන් කිසිම දිනෙක ගිහින් නොතිබුණු පානදුරේ ඇගේ නිවසේ යාච්ඤාවට ගියේ වෙනත් කෙනෙකු කරපු බලවත්ම ඉල්ලීමක් අහක දාන්ඩ බැරි කමටයි. එහෙදි ඇයව දැකපු වෙලාවේ ඉඳන් මට දැනුනේ ඇය යාච්ඤාව සමඟ බැඳුණු කෙනෙක් විදිහටයි. කිසිම විදිහකින් දැන නොසිටි ඇය ගැන විවාහ යෝජනාවක් කරන්නට හේතු වුණේ ඒකයි.
                                        මේ සිද්ධියේ මටත් තේරුම් ගන්ඩ අමාරුම වුණ කොටස තමයි ඇය මා දකින්නට සතියකට පෙර ඇගේ පුද්ගලික යාච්ඤාවෙදි ඇයට දැනිලා තිබුණා මගේ හැඩ රුව ඇති කෙනෙක් ඇය ගැන යෝජනාවක් ගේන බව. මට ඇය ගැන අදහසක් පහළ වෙන්නටත් ඉස්සසෙල්ලා ඇය දෙමව්පියන්ට කියලා තිබුණා මම ඇවිත් ඇයට විවාහ යෝජනාවක් ගේන බව. ඒ නිසා මම යෝජනාවත් අරන් එහේ යන වෙලාවේ ඔවුන් මාව පිළිගන්නට සූදානමිනුයි ඉඳලා තියෙන්නේ.
                                        ඒත් ඒ හැම දෙයක්ම මට දැන ගන්නට හම්බවුණේ ඔය පරිවාස කාලයෙන් පස්සේ.... කාටද විස්වාස කරන්ඩ පුළුවන්.. දැකලා දවස් තුනක් ඇතුලත යෝජනා කරලා, ඉන් පස්සේ හරියටම සතියකින් යෝජනා ස්ථිර වෙලා... ඊට මාස 5 කුත් දවසකින් විවාහ වෙන්ඩ ලැබුණා කියලා...


අදට කතාව එච්චරයි... ආයේ ලියන්නේ ලියන්ඩ වෙලාවක් ලැබුණහම හෙවත් හිතුනහම....
Related Posts with Thumbnails