ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Tuesday, August 31, 2010

ඇණ කැළල....



අද මං මේ දාන කතාවේ ඉන්න චරිත කවුද කියලා නම් හරියටම දන්නේ නැහැ. ඒත් මේක මම අහලා තියෙන මට හිතට දැණුනු කතාවක්....

එක්තරා දරුවෙක් හිටියා නිතරම කේන්තියෙන් ජීවිතේ ගත කරන. හැම මොහොතෙම මොකක් හෝ දේකට තරහා අරගත්ත ගමන්මයි ඔහු ජීවත් වුණේ.
ඒ තරහා නිසාම හැම මොහොතෙම කාට හෝ යමක් කියවා හිත රිද්දීමට ඔහු පෙළඹිලා තිබුණා.
මෙයින් දරුවාට හා සමාජයට වෙන ගැටළුව ගැන හිතලා මේ දරුවාගේ තාත්තා කළ යුතු පිළියම මොකක්ද කියලා කල්පනා කළා.

මෙහෙම හිතපු දරුවාගේ තාත්තා මේ දරුවාට දුන්නා ඇණ පිරුණු මල්ලකුයි මිටියකුයි....
දීලා කිව්වා... "මගේ පුතේ.. පුතාට කේන්ති යන හැම වෙලාවකම, එහෙම නැත්නම් පුතා කාට හෝ බැනපු.. හිත රිදෙන යමක් කියපු හැම වෙලාවකම මේ මල්ලෙන් එක ඇණයක් අරගෙන ගිහින් ගේ ඉස්සරහ තියෙන වැට දිගට තදට ගහන්න" කියලා...
හැබැයි ඒ තරහා යන හැම වාරයකම වරින් වර ඇණය බැගින් අරන් ගිහින් ගහලා එන්න ඕනේ...
ඉතින් පුතා මේ දේට එකඟ වුණා.
පළවෙනි දවස අවසානයේ මේ දරුවා ඇණ 37 ක් ගහලා තිබුණා..
ඇත්තටම එයාට හිතුණා මේ කරන වැඩේ හරිම කරදරයක් කියලා. ඒත් තාත්තා කියපු නිසා කරන්නත් වෙනවා.

හැබැයි ඊලඟ සති දෙක තුන වෙනකොට මේ ගහන ඇණ පුමාණය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙන්න පටන් ගත්තා. එයට හේතුව වුණේ 'මේ කරදරකාරී ඇණ ගැහිල්ල කරනවාට වඩා තමන්ගේ කේන්තිය පාලනය කරගන්න එක වඩාත්ම ලේසියි' කියලා මේ දරුවාට තේරුම් ගිය හින්දයි.
මෙහෙම කාලයක් යද්දී වැටට එක ඇණයක් වත් නොගැසිය යුතු දිනයක් උදා වුණා.
ඒ කියන්නේ මේ දරුවා ‍තමන්ගේ ජීවිතේ කේන්ති නොගෙන, කිසි කෙනෙකුට හිත නොරිදෙන සේ කතා කිරීමට පුරුදු වෙලා තිබුණු හින්දයි.
එදා මේ දරුවාට බොහොම සන්තෝසයි. මේ දේ දැක්ක තාත්තා මේ දරුවාට කිවුවා.....
"මගෙ හොඳ පුතා. දැන් ඔබ මේ වගේ කේන්ති නොගෙන ගෙවන හැම දවසකදිම වැටට ගහලා තියෙන එක ඇණය ගානේ ගලවන්න."
‍පුතා මේ අදහසටත් එකඟ වුණා.

මේ විදිහට ඇණ ගලවමින් ගිහිල්ලා අන්තිම ඇණයත් ගැලවූ දවසත් උදා වුණා....
එවිට මේ තාත්තා දරුවගේ අතින් අල්ලගෙන එක්කන් ගිහින් ඔහු ඇණ ගැලවූ තැන් පෙන්වා මෙසේ කීවා...
"පුතේ ඔයා බොහොම හොඳ වැඩක් කළේ මේ ඔක්කොම ඇණ ටික ගලවා ඉවත් කරපු එක. හැබැයි ඔයා මේ ඇණ ගලවාපු තැන් වල තියෙන කැලැල් නම් තවම එහෙමම තියෙනවා.",

පුතා හොඳින් ඒ දෙස බැළුවා... තාත්තා මෙය තවත් පැහැදිලි කළා.....
"පුතේ ඔයාට පුළුවන් කාට හෝ තුවාල වෙන්න පිහියකින් අනින්න. ඒ තුවාලේ කවදා හෝ හොඳ වෙයි. ඒත් කවදාවත් ඒ තුවාල කැලල නම් නැතිවන්නේ නැහැ."
"කෙනෙක් පාවිච්චි කරන නරක වචනත් ඒ පිහි පහර තරම්ම දරුණුයි....."
"ඔයා කාට හෝ බැණලා.... නරක වචන පාවිච්චි කරලා.... පස්සේ  සමාව ගත්තත් ඒකෙන් ප්‍රතිඵලයක් නැහැ. ගහපු ඇණ ගැලෙව්වත් මේ වැටේ ඉතිරි වුණ ඇණ කැලැල් වගේ.... කියපු දේවල් වලට සමාව ගත්තට ඒකෙන් ඒ කෙනාගේ පෑරුණු හිතේ කැලැල යවන්ඩ කවදාවත් බැහැ."

එදා ඒ දරුවා තේරුම් ගත්තා තමන් කේන්ති අරන් තමන් කියූ වචන අනිත් අයගේ සිතට කොච්චර තදින් බලපානවද කියලා.
------------------------------------------------------------------------------------------------

මේ දේ ඔබට හරියටම තේරුණේ නැත්නම් කවුරු හෝ කෙනෙකුට කියන්න ඔබ කළ හෝ නොකළ වරදකට, ඔබේ හිත රිදෙන්න යමක් කියලා පසුව සමාව ඉල්ලන්න කියලා.....
එතකොට ඔබටත් තේරෙයි මේ කතාවේ නියම තේරුම.....

(මේ කතාවේ නිර්මාතෘ කවුද කියලා දන්නේ නැහැ. මේක මටත් විද්‍යුත් තැපෑලෙන් ආපු එකක්)

Monday, August 30, 2010

නුඹ දකින ඒ තරුව වෙමි මම......



මේක අද මම ලියන්න හිතන් උන්න කතාව නෙමේ... ඒත් ඈත අහසේ දකින තරුවට ආදරය කරන හිතවත් ෴ වත්  ගේ කවියකට නිදිමත බේරේන ඇස් වලින් බලාගෙන කොමෙන්ටුවක් දැම්මා. මට හිතුනත් ඒක ආයෙම මගේ බ්ලොගයේත් දාන්ඩ, ඒත් දැන් ඒකේ අයිතිකරු ෴ වත්  ම නේද කියලා හිතුනහම ඒක හොරකම් කරන එක නැවැත්තුවා.... ආයෙම සොඳුරු සිතුවිලි අතරට ගිය වෙලේ ෴ වත්  ගේ පිළිතුර දැකලා මට ඇත්තමට සතුටක් දැණුනා. 
'Jeew
ඔයා කවුරු වුනත් හරියට මගේ හිත කියවල වගේ. ඇත්තම කතාවත් තරුවට පොළවට එන්න බැරි කතාව තමයි... ඔබතුමා කැමති මේ කොමෙන්ටුව(ඔබ මට ලියූ කවිය) ඔබතුමාගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදිහට දකින්න මම කැමති.
ස්තූතියි මා සිත නිවුවට.'
ඇයට කරන ගෞරවයක් විදිහට තමයි මේ පද ටික මගේ බ්ලොගයට එන්නේ...
ස්තූතියි ෴ වත්  ඔබට....


--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--


"තරු වලට ආදරේ කෙරුවත් නොලැබෙන කොට දුක බව ඇත්ත... ඒත් නුඹේ පැත්තෙන් විතරක් බලලා තරුවට දෙස් තිබ්බම....? නුඹට තරුවේ පැත්තෙනුත් සිතන්නට පුළුවන් වුණා නම්.....

නුඹ දකින ඒ තරුව වෙමි මම
අඳුරු වූ හිස් අහසෙ පාවෙන
සිතන මුත් නුඹ මා නොතනි බව
මම් දනිම් මා විඳින පාළුව

නුඹ දකින්නේ තරු රැසක් මැද
සොඳුරු ලෙස හිනැහෙනා බවමය
නමුත් ඒ තරු රැසත් නුඹ ලෙස
මගෙන් ගව් ගණනක්ම ඈතය

නුඹ සිතූ මුත් මා දිලෙන බව
නුඹට නොහැ‍ඟෙයි මා දැවෙන බව
දැවෙන ගිනිදැල් මා වෙලාගෙන
ලොවට පෙන්වයි දිදුලනා බව

කැමති මුත් නුඹ වෙතට ඒමට
කරන්නේ මා කෙලෙස ඒ ලෙස
නුඹව සනසාලනු නොහැකි ලෙස
දහස් බැමි ඇති පුරා විශ්වය

පාත් වුවහොත් මා පොළොව වෙත
කුමක් වේවිද සිතිය හැකි වෙද
'මෙන්න තරුවක් ඇවිත් පොළොවට'
පිළිගනීවිද නුඹෙ ලොවේ අය

අහස් ගැබ කෙලවරට වී මා
පෙම් කරන්නෙමි නුඹේ සිත වෙත
නිවී යන තෙක් ම'ආලෝකය
නුඹේ දෙස් මැද විඳවමින් දුක

ආදරෙයි මා සදා නුඹ හට
නුඹ නොදන්නා තරම් කිසිවිට
එහෙත් නුඹේ හද අයිති වන්නට
නොහැකි මං මොන පවක් කෙරුවට..?

ලඟා වෙනු බැරි තරුවෙ කිම පල 
වෙන්වන්න ඔබ මගෙන් සදහට
සොයා පහනක් නිතර ලඟ ඇති
ලබා එහි උණුසුමත් එළියත්.....

..... ඔබේ දිවියට පහන් ආලෝකයක් පතන මා...,
දයාබර තරුව....."

Sunday, August 29, 2010

අද මෙතන ඉන්නේ මගේ පස්සෙන් ඇවිල්ලයි......


එකමක් එක කාලෙක....
කතන්දරයක් පටන් ගන්න විදිහ ඒක හන්දා මේකත් පොඩ්ඩක් ඒ කතන්දර බාසාවෙන්ම කියන්නම්...
.....ඔන්න දවසක් එක ප්‍රදේශයක ලොකු උත්සවයක් තිබුණා. මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙලා තිබුණේ ඒ පළාතට හිටපු ඇමති තුමා.
ඒ හින්දා ටිකක් වැඩිපුර ආරක්ෂක විධිවිධාන කියන එව්වා දාලත් තිබුණා. මේ හින්දා අවසර නැති අයට ඔය උත්සවේ තියෙන තැනට ඇතුල් වෙන්ඩ පුළුවන් වුණේ නැහැ.
කොහොම හරි උත්සවේ පටන් ගන්න තියෙන වෙලාව ලං වුණා. හැමෝම ඇමති පරක්කු වෙයි කිය කිය හිතං උන්නේ...
පුදුමෙකට වගේ වෙන ඇමති වරු වගේ නෙමේ... මේ ඇමති උත්සවේ පටන් ගන්ඩ තියෙන වෙලාවට හරියටම එතැනට ආවා.
කට්ටියට මාර සංතෝෂයි. ඒ හින්දා ඇමතිට පිං දිදී කට්ටියම උත්සවේට එන්ටර් වුණා.
මේ අතරේ තවත් එක්කෙනෙක් ඔය උත්සවේට හොට දාන්ඩ ආවා. සුදු සරමක්, කමිසයක් එහෙම ඇඳලා.
ඕකට ඇතුල් වෙන්ඩ පුළුවන් වුණේ අවසර තියෙන අයට විතරක් හින්දා මේ මනුස්සයට ඇතුල් වෙන්ඩ ආරක්ෂක ගොයියන්ගෙන් ඉඩක් ලැබුණේ නැහැ. මිනිහා ටිකක් මුරණ්ඩු වුණා. ඒ හින්දා ආරක්ෂකයෝ මිනිහා එක්ක ගේම ඉල්ලන්ඩ පටන් ගත්තා. මිනිහත් ඇරියේ නැහැ. ඔය අතරේ එකෙක‍් කිවුවළු "අපේ ඇමති තුමා ‍වගේ වැදගත් මනුස්සයෙක් සහභාගි වෙන තැනකට සරොම් ගහගෙන ඇවිත් සද්ද දාන්ඩ තමුසේ කවුද..?" කියලා.
ඉතිං මිනිහට ටිකක් කේන්ති ගියා. එහෙම කේන්ති ගිහිං කිව්ව (ළු) මෙන්න මෙහෙම...
"තමුසෙල දන්නවද මං කවුද කියලා..? තමුසෙලාගේ ඔය ඇමති තුමා අද මෙතන ඉන්නේ මං හින්දයි. අද මං හිටියේ නැත්නං තමුසෙලාගේ මහ ලොකු උත්සවේ පටන් ගන්න වෙලාවට ඇමති කෙනෙක් නැහැ."
කට්ටිය ටිකක් විතර බය වුණා. එතකොට මේ මනුස්සයා ආයේ කියාපි...
"අනික මතක තියා ගන්නවා ඇමති තුමා මගේ පස්සෙන් ආව කෙනෙක් කියලා.."
දැන් නම් ඉතිං කට්ටිය ෆුල් හොල්මන්. ඇයි ඉතිං පෙනෙන පරිදි මේ යකා හෙන පොරක් වගේනේ....
කට්ටිය සැලෙන්ඩර් වෙලා ෂේප් එකේ කතා කළා...
"හරි හරි... අපි මහත්තයාට ඇතුළට යන්න දෙන්නම්.... ඒත් අපිට කියන්ඩකො ඇමති තුමාත් එක්ක මහත්තයගේ තියෙන සම්බන්දේ මොකක්ද කියලා..."

"මෝඩයෝ.. මම ඇමති තුමාගේ අළුත් ඩ්‍රයිවර්......"

ප.ලි.  අළුත් ඩ්‍රයිවර් හින්දා ඇමති වෙලාවට උත්සවේට ඇවිල්ලා තියෙන්නේ.... මිනිහගේ කතාව ඇත්තනේ... ඇමති එ‍න්නේ මිනිහගේ පස්සෙනේ (ඩ්‍රයිවර් ඉස්සරහ.... ඇමති පිටිපස්සේ...)

Friday, August 27, 2010

මරණය එන තෙක් මඟ බලා සිටීම....


වැඩිය ලිවීමේ කටයුතු ගැන දන්නේ නැති නිසා ලිපියකට අදහසක් හොයමින් ඉඳපු වෙලාවේ අහිංසක සිතුවිලි ලියන නිරහංකාරිය ගේ අළුත්ම ලිපිය දැක්කහම මටත් පොඩි කරුණක් මතක් වුණා.
මම මේ දාලා තියෙන පින්තූරේ අරගත්තේ ගිය අවුරුද්දේ ‍ඔක්තෝබර් විතර.
ඒ වෙද්දි රාමදාන් එක (මුස්ලිම් අයගේ නෝම්බි ඇල්ලීමේ කාලය) ඉවර වෙලා තිබුණේ.
හැබැයි රාමදාන් පටන් ගන්න කලින් ඔය පසුබිමින් පෙනෙන ඉසව්ව පින්තූරේ ඉන්න කට්ටියගෙන් පිරිලා තිබුණේ. මම හිතන විදිහට තුන් හාරදාහකට විතර වැඩියි.....

ඒත් රාමදාන් එකයි ඊද් එකයි ඉවර වෙද්දි ඉතුරු වෙලා ඉන්න කට්ටිය කොච්චරද කියලා පේනවා නේද..?
අනිත් ඈයො ඔක්කොම  රස බොජුන් වෙලා සීත මාළිගා වල ඉන්න අයගේ වගේම අපි වගේ පොඩි මිනිස්සුනගෙත් රස නහර පිනවලා ඉවරයි.

හොඳට බැළුවොත් පෙනේවි මේ අයගේ ඉස්සරහ කකුල් දෙකට ලණුවක් දාලයි තියෙන්නේ.
සාමාන්‍යයෙන් මේ අය බිම දිගා වෙලා ඉඳලා නැඟිටනකොට කකුල් තරමක් ඈත් කරලයි නැඟිටින්නේ. ඒත් මේ දාලා තියෙන ලණුව හින්ඳා මෙයාලට නැඟිටින්නත්, ඇවිදින්නත් අමාරුයි...

කොහොමද අපෙත් කකුල් ඔහොම ගැටගහලා තිබුණා නම්..

මම එදා ගොඩක් වෙලා මේ අය දිහා බලාගෙන හිටියා මේ ගොල්ලෝ ඔය කූඩුව ඇතුලේ ගත කරන ජීවිතය කොහොමද කියලා දැකගන්න.
ඒත් ඒ වෙලාවේ දැකපු දෙයින් නම් මගේ හිතත් ටිකක් සසල වුණා.
මම මෙයාලා දිහා බලන් ඉන්න විදිහටම මෙයාලත් මං දිහා බලන් උන්නා..

ඒත් විශේෂත්වය වුණේ මගේ ඇස්වල නැතත් මෙයාලගේ ඇස්වල කඳුළු බේරෙමින් තිබුණා.
"අනේ අපිව මරන්න දෙන්න එපා...අපිව බේරගන්න.." වගේ අදහසක් තමයි ඒ මුහුණු වල තිබුණේ.

මොකද මේ ගොල්ලෝ හොඳට මොලේ තියෙන කට්ටියක්.
එයාලා දන්නවා මෙතන ඉන්න අයට ඊලඟ ඉරණම මරණය කියලා.

ඇත්තටම ටික වෙලාවක් ඒ දිහා බලන් ඉද්දි මටත් ලොකු දුකක් ඇතිවුණා.... ඒත් ඉතිං මටයි කියලත් කරන්න දෙයක් තිබුණේ නැහැ....

මේ අවුරුද්දෙත් ඔය පැත්තේ යන්න හිටියට තාම ඉඩක් ලැබුණේ නැහැ.

හා හා පුරා කියලා ලියපු ලිපිය මරණේ ගැන ලිව්වා කියලා කවුරුත් කලබල වෙන්ඩ එපා.
මරණය කියන දේ මම නිතරම කල්පනා කරන දෙයක්.

ඒ කියන්නේ "අනේ මාව මැරිලා පලයං" කියලා නෙමේ.
ජීවිතේ අනිත්‍ය ගැන කල්පනා කෙරුවොත් ජීවත් වෙන එක ලේසියි. කරදර අඩුයි....

ඔය වැඩක් පලක් නැති වෙලාවක කට්ටියම තම තමුංගේ ජීවිතේ ගැනත්, කෙරුවාවල් ගැනත් පොඩ්ඩක් කල්පනා කරන්නකෝ....


(කට්ටියගෙන් වැඩිපුර අඬපු කෙනාගේ පින්තූරෙකුත් තියෙනවා... කො‍හෙද.. මේකෙ 'අප්ඩේට් ෆේල්ඩ්' කියලා වැටෙනවානේ)

Wednesday, August 25, 2010

ආරම්භයක්......

කතන්දරගේ බ්ලොගය කියවපු දවසේ ඉඳලා බ්ලොග් එකක් හදන්ඩ බොහොම ආසාවෙන් උන්නේ...
ඒත් මොන හේතුවකටද මන්දා වැඩේ පටන්ගන්ඩ හිතුනෙම නැහැ... අපේ පිස්සාගේ පලාමල්ලේ ඊයේ පෙරේදා දාපු කොමෙන්ටුවක උත්තරයක් විදිහට අහලා තිබුණා බ්ලොගයක් ලියන්නේ නැත්තේ ඇයි කියලා... ඇත්තටම එතකොටයි මට හිතුනේ වැඩේ පටන් ගන්න ඕන කියලා... සුබ නැකතක් නම් බලන්ඩ හම්බවුණේ නැහැ... මේ පාන්දර නිදි මරණ වෙලාවක තමයි ආරම්භය සටහන් කරන්ඩ වෙලා තියෙන්නේ... මේ යන ගමනේ දී වැරදි අඩුපාඩු එහෙම සිද්දවුණොත් පෙන්නල දීල, තරහා මරහා වෙන්නේ නැතුව, ගහ මරා ගන්නේ නැතුව ඉදිරියටම යන්න ඔයගොල්ලො හැමෝගෙම සහයෝගය වගේම උදව්, උපදෙස් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා.....

මම හිතනවා හැමෝම මාත් එක්ක මේ ගමන තුළ ඉඳී කියලා...
‍හැමෝටම ස්තූතියි...
(තවම බ්ලොගය හදලා ඉවර නැහැ.. තාම අධ්‍යනය කරනවා..)
Related Posts with Thumbnails